Breaking News

මුලතිව් සමූහ මිනී වලේ කැණීම් මාස කිහිපයකට නවතියි

මුලතිව්, කොක්කුතොඩුවායි ප්‍රදේශයෙන් හය මසකට ඉහත දී අහඹු ලෙස හමුවු සමුහ සුසානය කෝකිලායි, මුලතිව් ප්‍රධාන මාර්ගය හරහාද
ව්‍යාප්ත වී ඇති බව අනාවරණය වීමත් සමග එහි කැනීම් කටයුතු ඊයේ (29) දිනයේ සිට තාවකාලිකව නවතා දැමීමට තිරණය කර තිබේ.

මෙතෙක් අනාවරණය කරගත් කරුණු පිළිබඳ අතුරු වාර්තාවක් මාසයක් ඇතුලත අධිකරණයට ලබා දීමටද නියමිතය.

මුලතිව් අධිකරණයේදී නොවැම්බර් 29 වැනි බදාදා පැවැති සාකච්ඡාවකින් අනතුරුව සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් හා කියා සිටියේ සමුහ සුසානය සම්පුර්ණයෙන්ම කැනීමට තිරණය වී ඇති බැවින් නවතා දැමෙන කැනීම් කටයුතු ලබන වසරේ මාර්තු 1 වැනිදා සිට යළි ආරම්භ කරන බවයි.

“ මිනී වල කෝකිලායි මුලතිව් ප්‍රධාන මාර්ගයේ, මාර්ගය දෙසට මීටර් 1.7 ව්‍යාප්ත වෙලා තියනවා කියලා ස්කෑන් පරීක්‍ෂණවලින් අනාවරණය වෙලා තිබෙනවා. මේ මිනි වල සම්පුර්ණයෙන්ම පරීක්ෂණ කරන්න ඕන කියන ස්ථාවරයේ තමයි හැමෝම ඉන්නේ. ඒ නිසා ලබන වසරේ මාර්තු 01 වැනිදා සිට මාසයක කාලයක් කැණීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.“

කැනීම් කටයුතු වල ඉදිරි පියවර ක්‍රමානුකුලව සිදු කිරීම වෙනුවෙන් අධිකරණය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද වෛද්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ කරුණු අනාවරණය කළේය.

“මෙම කැණීම් පහසු කිරීමට සහ සැලසුම් සකස් කිරීමට නිලධාරියකු පත් කරන්න යනවා. මේක ගැන නියෝගයක් දිස්ත්‍රික් ලේකම්ට මහේස්ත්‍රාත් දීලා තියනවා. විශ්ලේෂණ දෙසැම්බර් මාසයේ සිට පටන් ගන්න නියමිතයි. මහාචාර්ය රාජ් සෝමදේව තමන්ගේ අතුරු වාර්තාව මාසයකින් ඉදිරිපත් කරනවා. “

සමූහ මිනීවලේ තෙවැනි අදියරේ කැනීම් නමවැනි දිනටත් ඊයේ දිනයේ සිදු කිරීමෙන් අනතුරුව දහවල් කාලයේ නතර කරන විට කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් අවම වශයෙන් පුද්ගලයන් 40 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුනි. ඒ සිරුරු එල්.ටී.ටී.ඊ සාමාජිකාවන්ගේ බවට සැක කෙරෙන සාක්ෂි කිහිපයක් ද වේ.

කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සමුහ සුසානය සමීපයේ සිට සදහන් කළේ දැනට සිදු කර තිබෙන වැඩ කටයුතු සම්බන්ධයෙන් මුලික වාර්තාවක් දෙසැම්බර් 31 වැනිදා වනවිට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

“සම්පුර්ණයෙන්ම දවස් 20 ක් මේ වෙන කොට මේ කැනීම් කරලා තියනවා. ඉතින් ඒ කාලය තුළ අපි ඇට සැකිලි 40 ට ආසන්න ප්‍රමාණයක් දැන් ඉවත් කරලා අවසන්. තව ඇට සැකිලි කිපයක් තියනවා ඉවත් කරන්න. අපිට ඒක කරන්න අමාරුයි කාලය මදිකම නිසා සහ එහෙම කරන්නනම් මේ ප්‍රධාන පාර කොටසක් කඩලා ඉවත් කරන්න ඕන. ඒකට අපිට ගරු අධිකරණයේත් අවසරයක් අවශ්‍යයි. ඒ වගේම මේ පාර අයිති දෙපාර්තමේන්තුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසරයක් අවශ්‍යයි. ඉතින් ඒ අවසරය ලබා ගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති අටක පමණ කාලය ඇතුලත ඉතුරු කොටසත් විවෘත කරලා එහි තිබෙන සමස්ත ඇට සැකිලි ඉවත් කරන්න. ඒ අතරතුර දැනට කරලා තියන වැඩ සම්බන්ධයෙන් මුලික වාර්තාවක් අපි ගරු අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි දෙසැම්බර් 31 වැනිදා වෙනකොට.“

මේ වන විට කැනීම් කටයුතු සිදු කර තිබෙන භුමියේ ප්‍රමාණය මෙන්ම ඉදිරි කැනිම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන භුමියේ ප්‍රමාණය සම්බන්ධයෙන්ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයා එහිදී විස්තර කළේය.

“අපි දැනට හාරලා තියනවා මීටර් 3 ක් පළල, මීටර් 14 ක් දිග අගලක්. එසේ දිග පළල උනේ අපි මෙතෙන්ට එනකොටත් බර යන්ත්‍ර වලින් ඒක හාරලා තිබුන නිසා. ඉතින් අපි මේ ඇට සැකිලි 40 ක් ඉවත් කරාට පස්සේ තව අවම වශයෙන් මිටර් දෙකක් ඉදිරියට අපිට හාරන්න තියනවා. මීටර් 3 යි මීටර් 2 යි කියපුවාම වර්ග මීටර් ගත්තොත් එහෙම දිග 2 යි, පළල 3 යි, ගැඹුර මීටර් එක හමාරක් පමණ තියනවා. අපේ ඇස්තමේන්තුව කියුබ්ක් මීටර 6.63 ක ප්‍රමාණයක් පස් ඉවත් කරන්න තියනවා තව ඉතුරු ඇටසැකිලි මතුකරගැනීම සදහා.“

කොක්කුතොඩුවායි සමුහ සුසානයේ ප්‍රමාණය තිරණය කිරීම සදහා රේඩාර් උපකරණ භාවිතයෙන් සිදු කෙරෙන පරික්ෂණ කටයුතු පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දින දෙක තුලදී සිදු කර තිබුනි. එහි ප්‍රතිපල හා කැනීම් කටයුතුවල ඉදිරිය සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේදී මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාව සදහා මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව, වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, නීතිඥයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

leave a reply