Breaking News

උතුරු නැගෙනහිර දරුවන් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරමක් හෙළිවේ

ලංකාව, මැලේසියාව සහ එක්සත් රාජධානිය අතර ක්‍රියාත්මක ළමා ජාවාරමක් පිළිබඳ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව වාර්තාවේ.

මැලේසියානු ආගමන විගමන බලධාරීන් විසින් ශ්‍රී ලාංකික දරුවන් එක්සත් රාජධානියට විකුණන කණ්ඩායමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසු 16 හැවිරිදි දරුවෙකු නැවත කොළඹට පිටුවහල් කිරීමත් සමඟ ලංකාවේ ආගමන හා විගමන බලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා තිබේ.

එසේම මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම සඳහා ශ්‍රී ලාංකික දරුවෙකු සමඟ පැමිණි මැලේසියානු ජාතික යුවළක් ක්වාලාලම්පූර් ආගමන කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය මේ වසරේ අප්‍රේල් මාසයේදී වාර්තා කර තිබුණි. බාලවයස්කාර දරුවන් සිටින දිළිඳු මැලේසියානු පවුල්වල දෙමාපියන්ට මුදල් ගෙවා ඔවුන්ගේ දරුවන්ගේ උප්පැන්න සහතික තොරතුරු ලබාගනිමින් ලාංකික දරුවන්ට මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කර ඇති බව මැලේසියානු බලධාරීන්ගේ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සමත් වූ ලාංකික දරුවන් යුරෝපයට සහ එක්සත් රාජධානියට යවා ඇති අතර මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයකින් යුරෝපයට යවන සෑම ශ්‍රී ලාංකික දරුවෙකු සඳහාම යුරෝ 30,000 සිට 50,000 දක්වා මුදලක් මෙම ජාවාරම්කරුවන්ට ලැබී ඇත.

මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නැවත කොළඹට පිටුවහල් කළ දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ. යාපනය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම දරුවා ජාත්‍යන්තර ළමා ජාවාරම්කරුවෙකු බවට සැක කෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් දරුවාගේ දෙමව්පියන්ට රුපියල් ලක්ෂ 75ක මුදලක් ගෙවා රැගෙන ගොස් ඇති බව හෙළිව තිබේ.

2022 දෙසැම්බර් සිට 2023 අප්‍රේල් දක්වා ළමුන් මෙරට සිට මැලේසියාවට පිටත්වීම් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් පසු ඉන් ළමුන් 13 දෙනෙකු මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර සමඟ එක්සත් රාජධානියට සහ ප්‍රංශයට යවා ඇති බවට විශ්වාස කිරීමට සැලකිය යුතු සාක්ෂි ඇති බවත් ජ්‍යෙෂ්ඨ ආගමන විගමන පරීක්ෂකවරයා පවසා ඇත.

“දරුවන් 13 දෙනාගේ පසුබිම් තොරතුරු සොයා ගැනීමෙන් පසු ඔවුන්ගේ දෙමාපියන් සහ උතුරු නැගෙනහිර පළාත්වල ලිපිනයන් සොයා ගැනීමට අපට හැකි වුණා. අපි පසුව මෙම ප්‍රදේශවලට ගොස් ළමයින් එම රටවලට යවා ඇති බවට සහතික විය, ”ඔහු පැවසීය.

ඒ අනුව ආගමන විගමන විමර්ශනවලට අනුව අනාවරණය වී ඇත්තේ මෙම ළමුන් සියලු දෙනාම දෙමළ ජාතිකයන් වන අතර ඔවුන්ගෙන් අට දෙනෙකු යාපනයේ සහ පස් දෙනෙකු මඩකලපුවේ පදිංචිකරුවන් බවයි. වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් 11 දෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු ඔවුන් අතර සිට ඇත. මෙයින් ළමුන් 11 දෙනෙකු එක්සත් රාජධානියට ගොස් ඇති අතර දෙදෙනෙකු ප්‍රංශයට ගොස් ඇති බවට සැක කෙරේ.
මූලික පරීක්ෂණ වලදී මෙම දරුවන්ගේ දෙමාපියන් පවසා ඇත්තේ යුරෝපයේ සිටින තම ඥාතීන් රුපියල් මිලියන කිහිපයක් ගෙවා තම දරුවන් එවැනි රටවලට යැවීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

මාස පහක දීර්ඝ ශ්‍රී ලංකා ආගමන දෙපාර්තමේන්තු මූලික විමර්ශනය අවසන් වූ පසු 2023 අගෝස්තු මාසයේදී සම්පූර්ණ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබා දී තිබේ.

ඩේලි මිරර් ඇසුරුණි

 

leave a reply