සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (International Convenant on Civil and Political Rights – ICCPR) මෙරටට හඳුන්වා දීමේ අරමුණින් බැහැරව අද වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද (05) විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය විසින් කරන ලද ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීමක් සිදුකරන ප්‍රකාශයක් ලෙස සැලකිය නොහැකි බව ද මෙහිදී විනිසුරුවරයා සඳහන් කළේය. එම නිසා නතාෂා එදිරිසූරියට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත මගින් එල්ල කර ඇති චෝදනාවට ඇප ලබාදීමට විනිසුරුවරයා තීරණය කළේය.
මෙම පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට තහවුරු කරගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටුව මගින් හඳුන්වා දී ඇති ‘රබාත් ක්‍රියාකාරී සැලැස්ම’ යොදාගැනීම සුදුසු බව ද මෙහිදී විනිසුරුවරයා පැවසීය.
මහේස්ත්‍රාත් වගකීම
කෙසේ වෙතත් නතාෂා එදිරිසූරියට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සහ ඇප පනත යටතේ දක්වා ඇති කරුණු දැක්වීම් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඇත්තේ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේට ය. එම චෝදනා සම්බන්ධයෙන් ඇප ලබාදීම තීරණය කරනු ලබන්නේ මහේස්ත්‍රාත්වරයා විසින් ය.
1997 අංක 30 දරන ඇප පනතේ 14 වැනි වගන්තිය යටතේ ඇප දිය හැකි වරදක් සම්බන්ධයෙන් වුවද, විශේෂිත කරුණු මත ඇප ලබා නොදීමේ බලය මහේස්ත්‍රාත්වරයා සතු වේ. රත්නායක එදිරිව උප පොලිස් පරීක්ෂක – දූනගහ (49 NLR 119) නඩුවේදී අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති.
දින 36ක් !
බෞද්ධ ආගමට අපහාසයක් කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය මගින් ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය පසුගිය මැයි 28දා අත්අඩංගුවට ගන්නා ලදි. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඇය දිගින්-දිගටම රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. දින 36කට පසුව ය, ඇයට එල්ල කරන ලද ICCPR චෝදනාවට කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබුණේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ඇය අත්අඩංගුවට ගත් මොහොතේ මාධ්‍ය වෙත සඳහන් කළේ නතාෂාට එරෙහිව පැමිණිලි 08ක් ලැබී ඇති බවයි. මීට අමතරව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ද පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.
ජෙරම් ප්‍රනාන්දු සහ නතාෂා ?
නතාෂා අත්අඩංගුවට ගැනුණේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ද මෙවැනි චෝදනාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයක් පැවැත්වෙන අතරතුරදී ය. දේවගැතිවරයා විදෙස්ගත වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද ලබාගෙන තිබිණි.
ඇප නියෝගයේදී සඳහන් කළ රබාත් ක්‍රියාකාරී සැලැස්ම යනු කුමක්ද ?
2012 වසරේ ඔක්තෝබර් 05 දින මොරොක්කෝවේ රබාත් නගරයේදී සම්මත කරන ලද රබාත් ක්‍රියාකාරී සැලැස්ම අදහස් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.
එහි සඳහන් වන්නේ යම් ප්‍රකාශයක් ICCPR හි 20 යටතේ සාපරාධී වරදක් ලෙස සැලකීම සඳහා නිශ්චිත කරුණු 6ක් සම්පූර්ණ විය යුතු බවයි.
- සන්දර්භය : නිශ්චිත ප්‍රකාශයන් හරහා ඉලක්කගත කණ්ඩායමකට එරෙහිව වෙනස්කම් කිරීම්, සතුරුකම් හෝ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකිද යන්න තක්සේරු කිරීමේදී සන්දර්භය ඉතා වැදගත් වන අතර, එය අභිප්‍රාය හා හේතුව යන දෙක සමග සෘජු ව සම්බන්ධ විය හැකිය.
- කථිකයා : කථිකයාට සමාජයේ තිබෙන තත්ත්වය හෝ තැන, විශේෂයෙන් කතාව යොමුකෙරෙන ලද ප්‍රේක්ෂකයාගේ සන්දර්භය තුළ පුද්ගලයාගේ හෝ සංවිධානයේ ස්ථාවරය සැලකීමට භාජනය කළ යුතුය.
- අභිප්‍රාය : ICCPR හි 20 වගන්තිය යටතේ යම් ක්‍රියාවක් වරදක් ලෙස නම් කිරීමට නම් නොසැලකිල්ල සහ නොසැලකිලිමත්කම පමණක් ප්‍රමාණවත් නොවේ. මෙම වගන්තිය හුදෙක් ද්‍රව්‍යමය බෙදාහැරීම හෝ සංසරණයට එහා ගිය පෙනීසිටීම හා පෙළඹවීමක් සඳහන් කරයි.
- අන්තර්ගතය සහ ස්වරූපය : කතාවක අන්තර්ගතය අධිකරණ විශ්ලේෂණයන්හිදී ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන අතර, එය පෙළඹවීමකදී ද තීරණාත්මක අංගයකි.
- කථන පනතෙහි පරිමාණය : කථන පනතෙහි පැතිරීම, එහි පොදු ස්වභාවය, එහි විශාලත්වය සහ ප්‍රේක්ෂක ප්‍රමාණය වැනි ඇඟ පරිමාණයට ඇතුළත් වේ.
- සමීපස්ථය ඇතුළු ව සම්භාවිතාව : නිර්වචනයානුකූල ව පෙළඹවීම අසම්පූර්ණ අපරාධයකි. ඒ අනුව පෙළඹවීමේ කතාවක් මගින් යම් ක්‍රියාවක් ප්‍රවර්ධනය කරන විට එය අපරාධයක් ලෙස නම් කිරීමට එම ක්‍රියාව නියත වශයෙන් සිදුවීම අත්‍යවශ්‍ය නොවේ. කෙසේ වුවද එමගින් තරමක හානියක් වීමේ අවදානම හඳුනාගත යුතුය. එයින් ගම්‍ය වන්නේ ඉලක්කගත කණ්ඩායමට එරෙහිව සත්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම කතාව සමත් වනු ඇති බවට සාධාරණ සම්භාවිතාවක් ඇති බව අධිකරණය විසින් තීරණය කළ යුතු අතර, එවැනි හේතු සෘජු විය යුතු බව ද පිළිගැනීමයි.