Breaking News

රනිල් හදිසි නීතිය පනවා ගන්නේ තමන්ගේ බලය ජනතාව ඉවත් කරයි කියන බියට.

සමන්සිරි හේරත්

 

රනිල් වික්‍රමසිංහ දැවැන්ත මර්දනයක් රටේ ජනතාවට මුදා හරින්නට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරමින් සිටිනවා. රනිල්ගේ හෘද සාක්ෂියට අනුව දන්නවා තමන්ට ලැබී ඇති බලය ජනතා බලයක් නොව කූට උපක්‍රමයක් මගින් රාජපක්ෂලාගේ ආරක්ෂාව වෙනුවෙන් රාජපක්ෂලා විසින් නිර්මාණය කර දීපු බලයක් බව. පාර්ලිමේන්තුවේ ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරන්නේ රාජපක්ෂලාගේ බලාපොරොත්තුව සාක්ෂාත් කරන්නටත්, තමන්ට පිනට ලැබුණු බලය දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කර ගන්නයි.

ජූලි මාසේ 18 වෙනිදා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස සිටි මොහොතේ රනිල් වික්‍රමසිංහ හදිසි නීති රෙගුලාසි ගැසට් කරනු ලැබුවා.හදිසි නීති ගැසට් ගැසට්ටුව දින 14ක් ඇතුලත පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්දයෙන් සම්මත කරගත්තේ නැතිනම් එය නීත්‍යානුකූල භාවයෙන් මිදෙනවා. එනිසා අද රනිල් රාජපක්ෂලාගේ පාර්ලිමේන්තුවේ බත්බැලයන් වත් එකතු කරගෙන මේ ගැසට් එක සම්මත නීතියක් බවට පරිවර්තනය කර ගත්තා.

රටේ සාමය හා නීතිය පවත්වාගෙන යෑමට පවතින නීතිය ප්‍රමාණවත් නැතිද ?

නැතිනම් රට තුළ දැවැන්ත ත්‍රස්තවාදී කල කෝලාහල ඇති වෙන ස්වභාවයක් නිර්මාණයවී තියෙනවද?

රට තුළ පවතින සාමාන්‍ය නීතියට උඩින් හදිසි නීතිය දමා පාලනය කරන්න තරම් නොසන්සුන්තාවයක්, ජන නැගිටීමක්, ජන කෝලාහලයක්, එසේත් නැත්නම් සාමය නීතිය කඩ වෙන ස්වභාවයක් දකින්නට නැහැ. වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා හටගත් පෝලින් නිසා නිර්මාණය වෙච්ච ජනතා පීඩනය මිස වෙන කිසිවක් රටේ ජනතාව පෙරමුණ ගෙන සිදුකරමින් නැහැ.වැඩ බැරි රාජපක්ෂලාව සහ ඔවුන්ගේ ආණ්ඩුව පලවා හැරියේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරමින් මිස මැර බලයක් පාවිච්චි කරමින් නෙමෙයි.

එහෙයින් මේ මොහොත කිසිසේත්ම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන තත්ත්වයක පවතින මොහොතක් නෙවෙයි.

එහෙමනං නැවතත් ඉහත පැනයම යොමු කළොත් රනිල් රාජපක්ෂට හදිසි නීතිය වුවමනා වන්නේ කුමක් සඳහාද?

ඇත්තටම රනිල් වික්‍රමසිංහ හදිසි නීතිය ක්‍රියාවට නගන්නේ වෙන කිසිවක් නිසා නොව තිබෙන බිය නිසා. මෙම අප්‍රේල් මසින් පසු උදාවූ  සෑම 9 වෙනිදා ලංකාවේ දේශපාලනය තුළ ඉතිහාසගත වෙන සිදුවීමක් වෙලා තිබෙනවා.
මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ සහ ආණ්ඩුව පලවා හැරීම
ජුනි 9 වනදා මුදල් ඇමතිව සිටි මොල හතේ කපුටා නොහොත් බැසිල් රාජපක්ෂව නෙරපා හැරීම.
ජූලි 9 වනදා ජනාධිපති මන්දිරය ජනතාව විසින් අත්පත් කරගෙන විධායක ජනාධිපතිවරයා වූ හැට නම ලක්ෂයේ පම්පෝරි කාරයා වන  ගෝඨාභය රාජපක්ෂට රටත් ලෝකයත් නැති වෙන තැනට ජනතාව පත් කිරීම.

ඒ අනුව ගත් කල  ජන වරමක් නැති ඉතාම නින්දිත විදිහට බලය තහවුරු කරගත් රනිල් වික්‍රමසිංහට බියක් තිබෙනවා. රටේ ජනතාව දැවැන්ත වශයෙන් මැදිහත් වී පලවා හරියි කියලා.

රනිල් වික්‍රමසිංහ බටහිර රටවල් වල තිබෙන හිතවත්කම් පාවිච්චි කරමින් ආර්ථික අර්බුදය විසඳනවා කියලා විපක්ෂයේ ඉන්න විට පම්පෝරි ගැසුවත් ඔහු බලයට පැමිණි පසුව අගමැති වූ පසුව ඔහුට ඒ සඳහා කිසිදු පියවරක් අනුගමනය කරන්න බැරි වුණා.රට ආර්ථික ප්‍රශ්න රනිල්ගේ පැමිණීමෙන් පසුව තවදුරටත් උත්සන්න වුණා.

ආර්ථික පීඩනයත් , රනිල් වංචනික ලෙස බලය ලබාගැනීමට එරෙහිව නැගෙන ජනතා විරෝධයත් හේතුවෙන් රනිල් ඉතා බියට පත්ව සිටිනවා තමන්ගේ බලය ඉතාමත් ඉක්මනින් ජනතාව විසින් ඉවත් කර දමාවි කියා. රනිල් හදිසි නීතිය සම්මත කර ගන්නේ මේ බිය වැඩිකම නිසාම ය.

රනිල් මේ සූදානම් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරු තක්කඩි ටිකක් ඒකරාශී කරගෙන මහින්ද රාජපක්ෂලාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටේ බහුතර ජනතාවගේ කැමැත්තට ඉඩ නොදී මර්දනයෙන් තමන්ගේ බලය රඳවා ගැනීමටයි.

රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ ලවා අරගලයේ ප්‍රධාන පෙළ සටන් සගයන්ව බලහත්කාරයෙන් පැහැර ගැනීමට ලක් කරමින්,  වැරදි පටවමින්, විවිධ අණපනත් වලට අනුව නඩු නිර්මාණය කරමින්, හිරගෙට දක්කන්නට හදන්නේ ඉදිරියේදී සිදුවීමට නියමිත රනිල්ව පලවා හැරීමේ ජන නැගිටීම කඩාකප්පල් කර දැමීමටයි.

රනිල් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අවතක්සේරු කරමින් ඉන්නෙ  ලංකාවේ විධායක ජනාධිපති වරයෙකු සහ බහුතර බලයක් සහිතව වැජඹෙමින් තමන්ට කැමති දේ කරමින් සිටී  ආණ්ඩුවක් පලවා හැර වූ ජනතාවක්  බව.

ජනතාව අරගලය සමග කොයිතරම් බද්ධ වී තිබෙනවාද කියා රනිල්ට දැනගැනීමට අවශ්‍ය නම්  රගලයේ ක්‍රියාකාරිකයෙකු වූ දානිෂ් අලිව පැහැර ගන්නා අවස්ථාවේ දී  ජනතාවගේ මැදිහත්වීම විමසිල්ලෙන් විමර්ශනය කර බලන්න කියා අපි ඉල්ලනවා.

leave a reply