Breaking News

අපිට ‘අමතක’ ධම්මික පෙරේරා

බැසිල් වෙනුවට ධම්මික පෙරේරා පත්කිරීමට යන බව කියන කතාව සම්බන්ධයෙන් මේවනවිට විශේෂ කතා බහක් ඇතිව තිබේ. අද වාර්තා වූ පරිදි ධම්මික පෙරේරා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබාගෙන ඇත.

ඔහු ඊයේ (09) දිනයේදී එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අතින් මෙසේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

ධම්මික පෙරේරාගේ නම පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යෝජනා කොට මැතිවරණ කොමිසමට ද ලබාදී ඇත.

ධම්මික පෙරේරාගේ නම මුලින්ම ජනප්‍රිය වන්නේ ‘කැසිනෝ’ ධම්මික ලෙස වුවත් ආසන්න වසර කිහිපය තුළ ඔහු ධම්මික පෙරේරා විය. දුක දිනා ජයගැනීම, ව්‍යාපාරික ඥානය, නිර්මාණශීලි අදහස් සහිත යන විශේෂණ පද ධම්මික පෙරේරාගේ නම සමඟ ගැට ගැසීම ආරම්භ වූවේ ඔහු ලංකාවේ ලොකුම පෝසතා බව තහවුරු වීමෙන් පසුවයි. ඉන් පසු කැසිනෝ ධම්මික යන නම සියල්ලන්ට අමතක විය.

ඉන්පසු ධම්මික පෙරේරා දුක දිනා ජයගන්නා හැටි, ලංකාව දියුණු කිරීම වෙනුවෙන් අලුත් තාක්ෂණය යොදාගන්නා හැටි ගැන දේශන පැවැත්වීම ආරම්භ කරන ලදී. විශේෂයෙන් ලංකාවේ තරුණ පරපුර අතර රට හැදීමේ විශේෂ හැකියාවක් ධම්මික පෙරේරා සතුව ඇති බවට මතයක් පැතිරීම වෙනුවෙන් ධම්මික පෙරේරා විශේෂයෙන් මැදිහත්විය. එසේම රතුපස්වලදී පිරිසිඳු වතුර ඉල්ලූ ජනතාවට ගෝඨාභය රාජපක්ෂලා වෙඩි තැබුවේ ධම්මික පෙරේරාගේ සමාගම ආරක්ෂා කිරීමට බව ලොකුවට කරළියට පැමිණියේ නැත.

මේ තත්ත්වය යම් තරමකට හෝ පළුදු වී ගියේ ධම්මික පෙරේරාට අයත් හේලීස් සමූහයට අයත් සමාගමක් සායනික අපද්‍රවය ඇතුළු අපද්‍රවය කන්ටේනර් ගණනක් මෙරටට ගෙනැවිත් ඇති බව හෙළිවීමෙන් අනතුරුවයි. ඉන් පසු ධම්මික පෙරේරාට ‘කුණු ධම්මික’ නමින් නමක් පටබැඳුනි.

එසේම පසුගිය කාලයේ ධම්මික පෙරේරා පාලකයන් සමඟ ඩීල් දමා පිටරටින් ටයිල් ගෙන ඒම සීමා කර තමන්ගේ ව්‍යාපාර හරහා කෝටි ගණන් ලාභ ලැබූ බව රහසක් නොවේ. ඔහුගේ අලුත්ම සෙල්ලම වූවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා විශාල ප්‍රාග්ධනයක් යෙදවීමයි. පසුගිය කොවිඩ් සමයේ ඒ බව පැහැදිලිව පෙනුණි.

මෑතක දී ඔහු ජනාධිපතිවරයා සමඟ හමුවකට එක්වෙමින් රට වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩගැනීමට ඩොලර් ගෙන හැටි ගැන ‘ටෝක්ස්’ දෙනු ප්‍රධාන මාධ්‍ය සියල්ලක් වාර්තා කර තිබුණි.

ඊයේ(09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද ධම්මික පෙරේරා ගැන ‘හොඳ’ කතා ටිකක් පවසන ලදී. ඔහු සඳහන් කළේ බැසිල් වෙනුවට ධම්මික පෙරේරා පත්කිරීම කොමිස් හොරා වෙනුවට බදු හොරෙක් පත්කිරීමක් බවයි. ධම්මික පෙරේරාගේ මල්ලිගේ නම යටතේ තිබෙන බේලිස් කැසිනෝ ආයතනය රුපියල් මිලියන 570ක් බදු පැහැර හැර තිබෙන බව මීට දින කිහිපයකට පෙර පුබුදු ජයගොඩ විසින් කරුණු සහිත පෙන්වා දී තිබුණි. ඔහු එහිදී පැවසුවේ මෙම ආයතනයේ මල්ලිගේ නමින් තිබුණත් ඇත්ත අයිතිකරුව ධම්මික පෙරේරා බවයි. එසේම මෙම කැසිනෝ එක විදේශිකයන් සඳහා පමණක් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාගෙන තිබුනත් නීති විරෝධී ලෙස දේශීය පුද්ගලයන් සඳහා ද විවෘත බව පුබුදු ජයගොඩ පවසයි. ධම්මික පෙරේරාගේ කැසිනෝ නිසා විනාශ වූ ලංකාවේ ව්‍යාපාරිකයන් සහ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම් ද පුබුදු ජයගොඩ විසින් මෙහිදී හෙළිකරනු ලැබිණි.සක්විති රණසිංහ, CIFL මූල්‍ය සමාගමේ දීප්ති පෙරේරා, වැට් බදු වංචාවට අසුවූ හිටපු ආදායම් බදු කොමසාරිස් ජයතිලක, හිටපු ආණ්ඩුකාර මුසම්මිල්, ප්‍රීති විරාජ් වීරරත්න, සුනිල් ටී ප්‍රනාන්දු, වෝර්ඩ් ප්ලේස් සුනන්ද ඒ අතර සිටියි. මහජන මුදල් හොරකම් කර ඒ මුදල් ටික කැසිනෝ හරහා ධම්මික පෙරේරාට පූජා කර ඇති බව ඔහු පවසයි. ආර්ථිකය විනාශ කර ඇති පුද්ගලයෙකුට ආර්ථිකය බාරදිය හැකිද යන්න පුබුදු ජයගොඩ මෙහිදී ප්‍රශ්න කරනු ලැබිණි. මෙහිදී පුබුදු ජයගොඩ සඳහන් කළ විශේෂ කරුණක් වූවේ ධම්මික පෙරාරා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස වසර ගණනක් කටයුතු කරද්ද නොගෙනෙන ලද ඩොලර් දැන් ගේන්නේ කෙසේද යන්නයි.

 

leave a reply