අපේ රටේ මිනිස්සු ගේ කාලයට තඹ සතේක වටිනාකමක් නොදීම මහා ඛේදවාචකයක ආරම්භයක් නේද?.
සියලූම වැඩ පැත්තකට දාලා තෙල් පෝලිමේ ඉන්න එක තමයි ප්‍රමුඛතා ලැයිස්තුවේ මුලින් ම තියෙන්නේ. “රාජකාරිය දේව කාරිය” කියන කියමනට අද කිසිම වලංගුතාවක් නෑ. ඉන්ධන නැත්නම් මේ එකක්වත් දේව කාරියක් වෙන්නේ නෑ.
අසනීපයකට, හදිස්සියකට, එදිනෙදා වැඩවලට යන්න පහසුවක් වුණ සිහින රථය අව්වට, වැස්සට , දූවිල්ලට භාජනය වෙනවා විතරක් නෙවී කොටස් පිනට ගලවා ගෙන යාමේ අවදානමටත් ලක් වෙලා. වාහනයේ යතුර සාක්කුවේ දාගෙන පරිස්සම් කරපු අපි ඒ යතුර තවත් කෙනෙකුගේ සාක්කුවේ රඳවන්න තරමට අසරණ වෙලා. අපි වගේ මධ්‍යම පංතියේ මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ ඉතිරි කරගෙන , බැංකු වලට අපේ පඩි පත උකස් කරවලා, ජීවිතයේ සැඳෑ සමයේ නිදහසේ එහෙ මෙහේ යන්න ගත්ත වාහනය දවස් ගාණක් තිස්සේ ඇහැ මානෙක වත් නැතුව අපේ වැඩ වලට පයින් යනවා. නැත්නම් හිරවෙලා, පොඩි පට්ටම් වෙලා පොදු සේවාවක පාපුවරැවේ එල්ලෙනවා. එහෙමත් නැතිනම් මලකඩ කාපු බයිසිකල් වල පිහිට පතනවා.
දැන්වත් අපි, පරණ අපිම වෙලා කියලා සමහරු උදම් අනනවා. සමහර කාරණා වලට එකඟ වෙන්න පුළුවන්. ඒත්..අපි හිතට එකඟව කතා කළොත් මේ වෙන්නේ විදවීමක් මිස විදීමක් නෙවී නේද?
අපේ ජීවිත වල ගොඩක් කාලයක් ගෙවිලා ඉවරයි.
ඒත්..අපේ දරුවෝ විතරක් නෙවී දරුවන් ගේ දරුවෝත් දුක් විඳින්න පටන් ගන්නවා. උන්ගේ ලස්සන හීන තවත් ඈතට යනවා. මහන්සි වෙලා ඉගෙන ගෙන රස්සාවක් කරන්න, වහලක් තනා ගන්න, විවාහයක් කර ගන්න, පිටරටකට යන්න, උන්ගේ ජීවිත වල ලස්සන උරගා බලන්න, ආදරය කරන්න, ආදරය ලබන්න, අත් අල්ලන් පෙම් සුව විඳින්න ඕන ජීවිතේ ලස්සනම කාලය තෙල් පෝලිමක නැත්නම් උන්ගේ ඉරණම තීරණය කර ගන්න දඟලන නිරත අරගලයක නියැලෙනවා.
වෙනදාට අත් අල්ලගෙන , හිනා වෙවී මල්වත්ත පැත්තට ඇදෙන ආදර ගඟ අද හිඳිලා ගිහින්. පංති කට් කරන එක මගේ මාතෘකාවට ඈතින් ඇදෙන්නේ. ඒ නිසා ඒක ගැන මම කතා කරන්නේ නෑ. අපි ආදරය රස වින්දා වගේම ඔවුන්ටත් එය අයිතියි. ඔවුනුත් එය අත් දැකිය යුතුයි.
පාසල් යන දරුවන්ට නිදහස් මනසකින් ඉගෙන ගන්න පරිසරයක් නෑ. පාසල් වහලා අවුරුද්දෙන් බොහෝ කාලයක්. පටන් ගත්තත් හරි හැටි ප්‍රවාහන සේවා නෑ. උන් ගේ මොළ ගෙඩි වල ඉගෙන ගන්න සංජානනය වෙන ස්නායු ඇකිලිලා. ඔන්ලයින් කියලා ඉගැන්නුවට බොහොමයකට ඒ පහසුකම් නෑ. ඔන්ලයින් වලට සහභාගි වෙන දරුවන් වුණත් බහුතරය ඉගෙන ගන්නේ නෑ. පංති කාමරයක් ඇතුළේ ගුරුවරුන්ගේ ඇල්ම බැල්ම විතරක් ම නෙවී ඇනුමට බැනුමට ලක් වෙලා යහපත් පෞරුෂයක් ගොඩ නගන්න, ගොඩ නගා ගන්න, යහලු යෙහෙළියන් එක්ක රණ්ඩු වෙන්න, සෙල්ලම් කරන්න, මහ හයියෙන් හිනා වෙන්න අද අපේ පැටවුන්ට ඒ වගේ අවස්ථාවක් නෑ. මහා විශාල අනාගත ව්‍යසනයක ලකුණු මතූ වෙලා ඉවරයි. අධ්‍යාපනය මහා විශාල ඉරි තැලුමකට ලක් වෙලා.
විවාහක යුවලකට දරුවෙකු හදා ගැනීම අවුරුදු කීපයකට කල් දාන්න තරම් පසුගාමි මානසිකත්වයක් ඇති වෙලා. වෛද්‍ය පහසුකම්, බෙහෙත් හේත් හිඟකම විතරක් ම නෙවී ඇද හැලුණු ආර්ථිකයත් ඔවුන් වටා හොල්මන් කරනවා. අසනීප කාරයෙක් ගෙදරක ඉන්නවා කියන්නේ හිත ඇතුළේ මහා ගින්නක් වගේ.
සමාජයේ සෑම පරාසයකට ම විහිදිලා ගිය රත් වුණු මුගුරු සහිත මුල් වලින් අපි හැමෝම බැට කනවා. පාරට බැස්සම සතුටු මුහුණක් දකින්න නෑ.
මේ අතරේ පෝලිම් සංස්කෘතිය අපව භීෂණයට, නොදියුණු, නොහික්මුණු, ලැජ්ජා, බය නැති, තක්කඩි මිනිසුන් ජාතක කරන , මත්පැන් වගේම අනීතික ක්‍රියාවලින්ට උඩ ගෙඩි දෙන මහා ප්‍රපාතයකට ඇද දමමින් සිටිනවා.
මතක තබා ගන්න. මෙවන් අඥාන සමාජයක් බිහි වූ විට එහි අග්‍ර ඵලය නෙලා ගන්නේ හැමදාම අපව රැවටු , කපටි, ජනතා ද්‍රෝහී පාලකයන් බව.
ඉතින්…අපිට ඇස් ඇරීමට කාලයයි මේ. විශ්වයේ බිහිවූ මිහිරි ම ඵලයන් ගෙන් හා ස්වභාවික සම්පත් වලින් අනූන, මහා සුන්දරත්වයකින් අපට හිමි කර දුන් මේ ලක් දෙරණ අපේ අනාගත දරුවන් ද භුක්ති විඳිය යුතු බවත් එය අප විසින් ඔවුන්ට ලබා දිය යුතු වටිනා ම දායාදය බවත් අප සිහි තබාගෙන ඒ සඳහා අනලස්ව වැඩ කටයුතු කළ යුතු බවත් අවබෝධ කර ගනිමු.