Breaking News

විදෙස් ශ්‍රමිකයන් එවන ඩොලරයකට රුපියල් 20ක විශේෂ දිරි දීමනාවක් ගැන පොරොන්දුවක්

එතෙර රැකියාවන් හි නිරත විදේශ ශ්‍රමිකයින් දිරි ගැන්වීමට අවධානය යොමු කරමින් රජය විසින් එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විගමන ප්‍රේෂණ සඳහා ලබා දෙන දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබේ.

ඒ් අනුව විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු එසේ පරිවර්තනය කරන ලද අමෙරිකානු ඩොලරයකට රුපියල් 20ක දිරි දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බවට මුදල් අමාත්‍යාංශය පැවසීය.

මෙමගින් විදේශ ශ්‍රමිකයින්ට තම ප්‍රේෂණ සඳහා සුරක්ෂිතතාවට අමතරව ඉහළ ප්‍රතිලාභයක් ද ලබා ගැනීමේ අවස්ථාව උදාවන බව මුදල් අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර ඇති බව බීබීසී වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ අතර මාර්තු 7 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විදෙස් ශ්‍රමිකයින් මෙරටට ප්‍රේෂණය කරන සෑම ඩොලරයකටම ගෙවන රුපියල් 10යේ දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ දැමීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට රජය අඟහරුවාදා පැවසිය.

විදේශගත ශ්‍රමිකයින් මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය රුපියල් බවට පරිවර්තනය කිරීමෙන් පසු ඇමරිකානු ඩොලර් ඒකට තවත් රුපියල් 20ක දිරි දීමනාවක් ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ එම පසුබිම තුළයි.

ඒ අනුව, විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන ඩොලරයට රුපියල් 38ක සහ රුපියල් 20 දිරිදීමනා දෙකම ගෙවන්නේ දැයි මෙතෙක් පැහැදිලි නැත.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා කේෂත්‍රය මගින් වාර්ෂිකව ඩොලර් බිලියන 7-8කට ආසන්න විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කරනු ලබයි එහෙත් විදිමත් මුල්‍ය පද්ධතිය හරහා ප්‍රේෂණය කරන විදේශ විනිමය සඳහා නියම අගයක් නොලැබීම හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය විශාල ලෙස පහළ බැස ඇතැයි මුදල් අමාත්‍යංශය පවසා තිබේ.

මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය එළඹෙන අවුරුදු සමයේ දී මෙරට විදිමත් මුල්‍ය පද්ධතිය හරහා ප්‍රේෂණය කිරීම දිරිමත් කිරීම උදෙසා මෙම දිරි දීමනාව ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙන බවට රජය පවසයි.

2021 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 22 කින් පහත වැටී ඇති බවට මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි. ඒ අනුව 2020 වසරේ ඩොලර් බිලියන 7.1ක් වැ පැවති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 වසරේදී ඩොලර් බිලියන 5.5ක් දක්වා අඩුවී ඇත, ආර්ථික විශ්ලේශකයින් පවසන්නේ ඒ විදේශ සේවා නියුක්තිකයන් තම ප්‍රේෂණ උණ්ඩියල් වැනි අවිදිමත් ක්‍රම හරහා වැඩි මිලකට මෙරටට එවීම තුළින් එය විදිමත් බැංකු පද්ධතියට අහිමිවී ගිය බවයි.

ආර්ථීක විශ්ලේශකයින් පැවසුවේ රුපියල සියයට 15 වැඩි අගයකින් අවප්‍රමාණය කිරීමට ගත් තීරණය ඉතාමත් කාලෝචිත බවත් එමගින් රටේ විනිමය අනුපාතිකයට නිසි අගයක් ලැබෙන බවයි. එහෙත් ඩොලරයට රුපියල් 230ක අගය නිසි අගයද යන්න ඔවුන් ප්‍රශ්නකර සිටියි.

ඔවුන් පවසන්නේ විදේශ විනිමය අර්බුදයට හේතුවූ මුලික කාරනා වලට පිළියම් නොයොදා මෙම අවප්‍රමාණය කිරීමෙන් පමණක් රටේ පවතින අර්බුදයට විසදුමක් නොවන බවයි.

leave a reply