Breaking News

කන්නගොඩට එරෙහි චෝදනා – අධිකරණය අතුරුදහන් කළවුන්ගේ දෙමව්පියන්ගේ හඬට කන් නොදෙයි

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම තරුණයින්ගේ දෙමව්පියන් ගොනු කල රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද ( 10) තීන්දු කර තිබේ.

ඒ අනුව පෙත්සමෙහි වගඋත්තරකරුවන් ට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කරන ලදි.

අදාළ නියෝගය නිකුත් කිරීම සඳහා පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණි.

පුද්ගලයකු ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමේ හෝ නොකිරීමේ අභිමතානුසාරී බලය නීතිපතිවරයා සතුවන බැවින් අධිකරණය ඊට මැදිහත් නොවන බව එහිදී නියෝගය ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සඳහන් කර තිබේ.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි අධිචෝදනා පවත්වාගෙන නොයාමට හේතු වූ කරුණු ඇතුළත්ව නීතිපතිවරයා ඉදිරිපත් කල රහසිගත වාර්තා දෙකක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහුට එරෙහිව අපරාධ චෝදනා පවත්වාගෙන යාමට තරම් සාධාරණ හේතු නැති බව එහි සදහන් වන බව අධිකරණය පවසා තිබේ.

සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල් වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම පෙත්සම් කරුවෝ වෙති.

නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් එම තීරණය අසාධාරණ, අත්තනෝමතික නීතිවිරෝධී තීරණයක් වන බැවින් එය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ සහ නීතීඥ අචලා සෙනෙවිරත්න පෙනී සිටියහ.

වගඋත්තරකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතා ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා සහ නීතීඥ සුගත් කලදේරා පෙනී සිටියහ.

leave a reply