Breaking News

අසත්‍ය පුවත් පළ කළ වෙබ් අඩවියට එරෙහිව විමල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

මාධ්‍ය වේදියෙකු, ලේඛකයෙකු සහ දේශපාලන ක්‍රියාධරයෙකු වන විමල් කැටපෙආරච්චිගේ අනන්‍යතාවයට  හානිවෙන ආකාරයෙන් ඊයේ දිනයේදී වෙබ් අඩවිය පුවතක් පලකර තිබුණි. ‘සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ’ යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතට අදාළව විමල් කැටපේආරච්චිගේ ඡායාරූපයක් ද එහි පළ කර තිබුණි.එම පුවතේ අඩංගු කරුණු අසත්‍ය බවත් ඔහුගේ නමින් ලියාපදිංචි වුණා යැයි කියන රථය පිළිබඳව දක්වා තිබෙන කරුණු නිවැරදි නොවන බවත් පවසා අද විමල් කැටපෙආරච්චි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ,පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පහත පළ වන්නේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පැමිණිල්ලයි .

අධ්‍යක්ෂ ,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,
කොළඹ .
වෙබ් අඩවියකින් කරන ලද අපහාසයක් සම්බන්ධයෙන්.
mawubima.com නමැති සිංහල පුවත් වෙබ් අඩවියක් 2021 ජනවාරි 03 වැනිදා ‘සමාජ මාධ්‍ය තුල සංසරණය වන අසභ්‍ය වීඩියෝ පටයට අදාල රථයේ හිමි කරු හඳුනා ගැනේ’ යන මාතෘකාව යටතේ පළ කරන ලද පුවතක ඡායාරූපය ලෙස වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන විමල් කැටිපෙආරච්චි වන මාගේ ඡායාරූපයක් අවභාවිත කර ඇත.

ඊට අමතරව මාගේ අනන්‍යතාව යැයි හැඟී යන පරිදි කිසියම් තොරතුරු ප්‍රමාණයක් ද පුවතට ඇතුළත් කර ඇත. මාගේ කිසිදු අවසරයකින් තොරව මා හට මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ නැති පුවතකට මාගේ ඡායාරූපය පළ කිරීමෙන් මාගේ පෞද්ගලික , වෘත්තීය , සමාජ හා දේශපාලන කීර්ති නාමයට බරපතළ අගතියක් සිදු වී ඇත. එම පුවතේ සඳහන් වාහනය හෝ එම වාහන අංක සමග හෝ පුවතට අනුව සිදු වී යැයි කියන සිද්ධිය සමග හෝ මොනයම් ආකාරයකින්වත් අදාළතාවක්, සම්බන්ධයක් මා හට නැත. මෙම ද්වේශසහගත , පදනම් විරහිත සාවද්‍ය පුවත පළ කළ වෙබ් අඩවියේ ඩොමේනය හිමිකරු වන ප්‍රණීත් කරුණාරත්න නමැත්තාගේ තොරතුරු සහ අදාළ වෙබ් පුවතේ මුද්‍රිත පිටපතක් ද මේ සමග ඉදිරිපත් කරමි. එම නීති විරෝධී හා අපහාසාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර මාගේ පුරවැසි අයිතිය ආරක්ෂා කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එමෙන් ම අදාළ සාවද්‍ය පුවතේ සඳහන් වන ආකාරයට එකී වාහනය මට අයත් එකක් බව පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය යැයි සඳහන් කර තිබීම එම ආයතන නිල නාමය ද අවභාවිත කිරීමක් බව ඔබගේ විශේෂ අවධානයට ලක් වනු ඇතැයි අපේක්ෂා කරමි.
මෙයට විශ්වාසී
විමල් කැටිපෙආරච්චි


leave a reply