Breaking News

මසුන් විදීමේ ක්‍රීඩාවට අවසර ලබාදීම මෙරටට ආවේනික ජලජ ජීවීන්ගේ පැවැත්ම වැනසීමක් – Voice for Climate Change කියයි

සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමේ අරමුණින් යයි පවසමින් මසුන් විඳීම (Spearfishing) ක්‍රීඩාව නැවතත් ආරම්භ කිරීම සඳහා අවසර ලබාදීම හරහා වඳවී යාමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින මත්ස්‍යයින් ඇතුලු ජලජ ජීවයට තර්ජනයක් එල්ල විය හැකි බව දේශගුණික විපර්යාස උදෙසා හඬ නම් සංවිධානය (Voice for Climate Change) පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ 2017 වසරේදී නිකුත් කළ අංක 2008/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මෙම ක්‍රීඩාව මෙරට තුළ තහනම් කරනු ලැබුවේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින මත්ස්‍යයින් ඇතුලු ජලජ ජීවය සුරැකීම හුදු විනෝදාස්වාදයට වඩා වටිනා දෙයක් වීම නිසයි. ලංකාවට අමතරව ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තයන් සහ ටැන්සානියාව ඇතුළුව බොහෝ යුරෝපා රටවල් මෙම ක්‍රීඩාවට විරුද්ධව විවිධ රෙගුලාසි පනවා ඇත්තේ එම හේතුව නිසා බව දේශගුණික විපර්යාස උදෙසා හඬ සංවිධානය පෙන්වා දෙයි.

සංචාරක ව්‍යාපාරය නගා සිටිවීමේ අරමුණින් යැයි පවසමින් මසුන් විඳීම (Spearfishing) ක්‍රීඩාව නැවතත් ආරම්භ කිරීම සඳහා අවසර ඉල්ලීමක් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජිනය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා විසින් සිදු කර ඇතැයි පුවත්පත් මෙන්ම අනෙකුත් ජනමාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබේ.

දේශගුණික විපර්යාස උදෙසා හඬ වැඩිදුරටත් සඳහන් කරන්නේ,
මසුන් විඳීමේ ක්‍රීඩාව ධීවර සහ ජලජ සම්පත් ආඥාපනතට අනුව 2017 වසරේදී නිකුත් කළ අංක 2008/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් මෙරට තුළ තහනම් කෙරිණි. එහි සඳහන් ආකාරයට උල්කූරු භාවිතා කරමින් ධීවර ක්‍රියාකාරකම් වල නිරත වීම නීති විරෝධී වන අතර ස්පියර් (Spear Gun) හෙවත් විඳීමේ තුවක්කු සන්තකයේ තබා ගැනීම සහ භාවිතා කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මෙම අතිවිශේෂ ගැසට් පත්‍ර සදහා පාදක වූයේ 2013 වසරේදී විඳීමේ (Spearfishing) ආකාරයට උණවටුන ප්‍රදේශයේදී ඝාතනය කරන ලද අතිශ්‍ය වඳ වීමේ තර්ජනයට ලක්වූ Napoleon Wrasse (Chelilinus Undulatus) මත්ස්‍යයෙකුගේ චායාරූපයක් අන්තර්ජාලය තුර සැරිසැරීම හේතුවෙන් හටගත් සමාජ කතිකාව හේතුවෙනි. නමුත් එළෙස තහනම් කරන ලද මෙම ක්‍රීඩාව නැවතත් ගෙන ඒමට යෝජනා ඉදිරිපත් වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.

ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්තයන් සහ ටැන්සානියාව වැනි රටවල් බොහෝමයක් මෙම ක්‍රීඩාව තහනම් කර ඇති අතර එක්සත් රාජධානිය සහ ඇමරිකාව මෙන්ම බොහෝ යුරෝපා රටවල් ද මෙම ක්‍රීඩාවට බොහෝ නීති රෙගුලාසි පනවා තිබේ. යුරෝපයේ රටවල් බොහෝමයක මිරිදියේ මෙම මසුන් විඳීමේ ක්‍රීඩාව සපුරා තහනම් කර ඇත. එම නීතිමය රෙගුලාසි තුළ සහ තහනම් කිරීම තුළින් එම බොහෝ රටවල් සහ ප්‍රාන්ත ආණ්ඩු පෙන්වා දී ඇත්තේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින මත්ස්‍යයින් ඇතුලු ජලජ ජීවය සුරැකීම හුදු විනෝදාස්වාදයට වඩා වටිනා බවයි.

මෙළෙස ලොව පුරා බොහෝ ස්ථාන වල මේ ආකාරයට මසුන් විදීම තහනම් කිරීමට හේතු රාශියක් ඇත. ඉන් එකක් නම් එහිදී සුවිශේෂී මත්ස්‍යය හෝ ජලජ ජීවී විශේෂයක විශාලතම සහ ආකර්ෂණීයම ජීවීන් ඉලක්කයට ලක්වීමයි. බොහෝවිට එහිදී එම මත්ස්‍ය ගහණයේ විශාලතම සහ හොඳම ලිංගික පරිණතභාවයක් සහිත සතුන් දඩයම්කරුවන්ගේ ඇසට හසුවන අතර දඩයම්කරුවන් ද මෙවැනි වඩාත් විශාල සහ ආකාර්ශණීය සතුන් වෙතම තමන්ගේ ඉලක්කය එල්ල කරනු ලබයි. නමුත් මෙවැනි සත්වයින් ප්‍රජනනය සදහා එම පරිසරයේ ඉතිරි කළ යුතු අතර එය එම විශේෂයන් වඩාත් ශක්තිමත්ව ඉදිරි පරම්පරාවන් කරා යාමට හේතුවේ. නමුත් මසුන් විදීමේදී ආකර්ෂණයෙන් සහ ප්‍රමාණයෙන් වැඩි සතුන් දඩයමට ලක්වන අතර දුර්වල සහ ආකර්ෂණයෙන් අඩු සතුන් ඉතිරි වී එම සතුන්ගේ ශක්තිමත් බවින් අඩු ජාන අනාගත පරම්පරාවන් කරා ගොස් එම මත්ස්‍ය විශේෂය ගැටලුකාරී තත්වයකට මුහුණ දේ.
එමෙන්ම මෙම මසුන් විදිමේ ක්‍රීඩාව කොරල්පර කෙරෙහිද අහිතකර ලෙස බලපාන බව පර්යේෂණ මඟින් පැහැදිලි කර තිබේ. ගිරා මාළුන් වැනි මත්ස්‍ය විශේෂයන් කොරල්පර පරිසර පද්ධතීන් තුළ අනිවාර්යෙන් සිටිය යුතු මත්ස්‍යයෙක් වී ඇත්තේ ඔවුන් එම පරිසර පද්ධතියේ වර්ධනය වන ඇල්ගී ආහාරයට ගැනීමට පුරුදුව සිටින නිසාය. නමුත් කනගාටුදායක ලෙස මොවුන්ගේ පවතින ආකර්ෂණීය ශරීර වර්ණයන් හේතුවෙන් බොහෝ මසුන් විදින්නන් මෙම මසුන් ඝාතනය කිරීමට පෙළඹෙයි. ඒ හේතුවෙන් කොරල්පර පද්ධතීන් බිද වැටීමට ලක්වන අතර සමහර විටෙම එම පද්ධතියේ ඇති ක්ෂුද්‍ර පරමාණු ස්ථීර ලෙස වෙනස් කිරීමකට තුඩු දේ. එමෙන්ම ඒ හරහා ඉහළ යන මුහුද ජල මට්ටමට ඔරොත්තු දීමේ හැකියාව කොරල් පර වලට අහිමිව යන අතර සමුද්‍ර ඛාදනය ද ඉහළ යනු ඇත. එය ඉදිරි වසර වලදී ලෝකය වෙලා ගන්නා දේශගුණික විපර්යාස වලට අපට මුහුණදීම ඉතා අපහසු කරවන්නකි.
මේ එක් උදාහරණයක් පමණි. නමුත් අප මුහුදු තීරයට මෙන්ම මිරිදියටද ආවේණික ජලජ ජීවය අපගේ අනාගත ඉරණම ලිවීමට තරම් බලගතුය. විනෝදාස්වාදය උදෙසා එම ජීවය වැනසීම සාගර ජීවයේ සමබරතාවය බිදීමකට තුඩු දෙනු ඇඝි අතර එය අපගේ අනාගතය ඉතා කටුක එකක් බවට පත් කරනු ඇත. එම නිසා මසුන් විඳීමේ ක්‍රීඩාව සදහා අවසර ඉල්ලීම රජය විසින් ද මහජනතාව විසින්ද ප්‍රතික්ෂේප කළ යුතුව ඇත. එමෙන්ම සංචාරක කර්මාන්තයට ද මෙවැනි ක්‍රියාකාරකම් වලට වඩා මූල්‍යමය ප්‍රාග්ධනයක් උපයාගත හැකි වෙනත් මාර්ගයක් පවතින බව මෙරට සුන්දරත්වයම ඔප්පු කර සිටියි. එම නිසා මෙම මසුන් විඳීමේ ක්‍රීඩාව තවදුරටත් මෙරට තුළ තහනම් කර පැවතීම වඩාත් යෝග්‍ය වනු ඇත.

leave a reply