Breaking News

“බොන්සායි නුග තුරක යටි සිත”

හිල්මි සුපුන් 

මාලන් බණ්ඩාර කපුවත්ත ගේ ” නිමවූ සෘතුවක ශේෂපත්‍ර ” කාව්‍ය සංග්‍රහයේ පීඩීඑෆ් පිටපත ලැබුනේ ඊයේ. මාලන්ගෙයි මගෙයි සම්බන්ධතාවය ගොඩ නඟන්න මධුරංගගේ ලිපිය ඉවහල් වුණා. ” නිමවූ සෘතුවක ශේෂපත්‍ර ” කාව්‍ය සංග්‍රහය පිළිබඳව ලක්ෂාන් මධුරංග මුහුණු පොතේ තබා තිබුණු සටහනක් විවර වෙබ් අඩවියේ පළකිරීමෙන් පසුව ලින්ක් එක මාලන්ට යැවීමෙන් තමයි මේ සම්බන්ධය හැදෙන්නේ. මාලන්ගේ පොතේ කවි 41 ක් තිබුනත් කියවූ කවි කිහිපය අතරින් පළමු කවිය මට සුවිශේෂී බලපෑමක් කලා කියන හැඟීම මා තුළ තියෙනවා.

මාලන් පළමු කවිය නම් කරලා තියෙන්නේ “බොන්සායි නුග තුරක යටි සිත” කියලා. ලක්ෂාන් මධුරංග තබා තිබුණු සටහන කියෙව්ව මා ඔහුගේ කාව්‍ය සංග්‍රහය පළමු කවිය සහ තවත් කවි කීපයක් පමණයි කියෙව්වේ. “බොන්සායි නුග තුරක යටි සිත” කවියට වඩා හොඳ කවි තව තියෙනවා ඇති මේ පොත ඇතුළෙ නමුත් ඒ හොඳම කවි හොයාගෙන යනවට වඩා මේ කවිය ලඟ හිත ඇත්තටම නතර වුණා. යමක් නොලියා ඒ හිත වෙන තැනකට අරන් යන්න බැරි නිසා මේ සටහන ලියන්න ම සිද්ධ වුණා. ඇත්තටම මෙතනදි සිදුවුණේ කුමක්ද කියන එක හරි වැටහීමක් නැතත් සමහර විට කවිය මම වුණා මම කවිය වුණා විය හැකියි.

ඔය බඩ විසල් වදුලක
මවූ තුර පාමුලම
සුරතල් සිනා පෑ
සිඟිති නුග පැලයක් මි

මවූ නෙතින් වෑහෙන
කඳුළු නාදුනන මිනිසුන්
තියුණු හවුලින් උදුරා රැගෙන
සිර කළා මා
හිරු කිරණ අවුරන
අවට තුරු අතු පත්
හෙළන කෙඳුරුම් නෑසෙන
සිව්මහල් මැදුරක
කුඩා බඳුනක

කුඹුක් ඔය ගයන ගීතය
අළු කොබෙයි කූජන අසනෙමි
සීතල සඳ කිරණ
රෑ සීනෙන් දකිමි
වැලපෙමි

මේ මා අවට
රාමු කළ මුහුණු පමණකි
විසල් ලොවකට ඇරෙන 
මහත් දොර කවුළු ය
අගුලු ගෙන ඇති

සිරකරු වුවද අද මෙහි
මතු යම් දිනෙක
බඳුන පුපුරා වැඩි
විදා අතු පතර ඔයබඩ වෙත
සෙවණැලි පාන පැතුමකි
යටි සිතෙහි

මාලන් සමග කළ පුංචි පිළිසඳරේදී දැනගන්න ලැබුණා ඔහු විදෙස්ගත ශ්‍රී ලාංකිකක් කියලා . මා හිතනවා මා වගේම ඔහු විදෙස්ගත ශ්‍රමිකයෙක් . බොන්සායි කලාව පිළිබඳව අපි දන්නවා. විශාල වෘක්ෂ කුඩාවට ලස්සනට හැඩට වැඩට වවන කලාවක්. බොන්සායි කලාවේදී දැවැන්ත වෘක්ෂයන් වල ජානමය ලක්ෂණයන් උරුමයන් අහිමි කරනු ලබනවා. විප්‍රවාසී ජීවිත ගතකරන අපිත් මේ බොන්සායි ගස් වගේ මිනිසුන් යැයි මට සිතෙන නිසා වෙන්න ඇති මේ කවිය ලග මගේ සිත නවතින්නේ.

අපේ නිදහස බොන්සායි, අපේ සංස්කෘතිය බොන්සායි, අපේ සිතුවිලි සීමාවන් බොන්සායි, ඇත්තටම අපේ ජීවිත එක්තරා විදිහකට පුංචි බඳුනක පැල කරනු ලැබූ විසල් අතු රිකිලි ඇතිමුත් වැඩෙන්නට ඉඩ කඩ නොමැති සීමිත පරිසරයකට කොටු වෙච්ච මුල් සහිත ගස් බඳුයි.

කෙනෙකු ප්‍රශ්න නගන්නට පුළුවන් උඹලව බලහත්කාරයෙන් රටින් පිටමං කළේ නෑනෙ උඹලා කැමැත්තෙන්ම ගියානෙ කියලා බැලූ බැල්මට එය ඇත්තය , අදටත් කැමැත්තෙන් රටෙන් පිට වෙන්නට උත්සාහ කරන තරුණ තරුණියන් බොහොමයි.

මව් නෙතින් වෑහෙන
කඳුළු නාදුනන මිනිසුන්
තියුණු යවුලින් උදුරා රැගෙන
සිරකලා මා
හිරු කිරණ අවුරන
අවට තුරු අතු පත්
හෙළන කෙඳුරුම් නෑසෙන
සිව්මහල් මැදුරක
කුඩා බඳුනක

මව්වරුන් නෙත කඳුළු රැදෙද්දී අපව උදුරා අරන් ගිය තියුණු යවුල උනේ ආර්ථිකය. අදටත් මේ දියුණු යවුල මව් ඇකයෙන් පැල ගලවා ඈතට විසිකරනවා.

කුඹුක් ඔය ගයන ගීතය
අළු කොබෙයි කූජන අසනෙමි
සීතල සඳ කිරණ
රෑ සීනෙන් දකිමි
වැලපෙමි

මිල මුදල් හරිහම්බ කළත්, උපන් බිමකින්, උපන් සංස්කෘතියකින්, නෑදෑයන් උරුමකම් කියන මිනිස්සුන්ගෙන්, ඈත් වී ජීවත් වීම මොන තරම් දුෂ්කර ද යන්න ඒ අත්දැකීම ලද මිනිසකු පමණකි ඒය නිවැරදිව ම වටහා ගන්නේ . ඒ අත්දැකීම මාලන්ට විප්‍රවාසී ජීවියේදී අත්විඳින අහිමිවීම් පිළිබඳ වේදනාව “බොන්සායි නුග තුරක යටි සිත” කවිය තුලින් කියන්නට හැකි වුණා කියන අදහස මට තියෙනවා.

මේ මා අවට
රාමු කළ මුහුණු පමණකි
විසල් ලොවකට
ඇරෙන මහත් දොර කවුළු ය
අගුලු ගෙන ඇති

නිදහසේ වැඩෙන නුග රුකක වපසරිය කොයිතරම් විශාල ද, එවගේම තමයි උපන් දේශයක, උපන් ගමක, දන්නා අදුරන පරිසරයක, දන්නා සංස්කෘතියක, ජීවත් වෙන මිනිහෙක්ගේ වපසරියක් පුළුල්, නමුත් දැන් අපට හමුවන්නේ සීමා සහිත පිරිසක් පමණයි. අප මුහුවන්නේ සීමාසහිත සීමාවක පමණයි. සමහර විට මේ සීමාවන් අප විසින්ම නිර්මාණය කරගත් සීමාවන් . විසල් ලෝකයකට ඇරගෙන යන්න දොර කවුළු තිබුණත් එහි යතුර තිබුණත් අප පාවිච්චි කරන්නේ නැහැ. මෙතනදී ඒකත් මතක් කිරීම ඉතා වැදගත් වෙනවා. සමහර සීමාසහිත කම් හැදෙන්නේ අපි අතින් .

සිරකරු වුවද අද මෙහි
මතු යම් දිනෙක
බඳුන පුපුරා වැඩි
විදා අතුපතර ඔයබඩ වෙත
සෙවණැලි පාන පැතුමකි
යටි සිතෙහි

අපි හැමෝටම මේ ජීවිතයෙන් නිදහස් වීමේ ආශාව තියෙනවා. නමුත් ඒ නිදහසේ දොරටුව කොතන දැයි හරිහැටි නොදනී.

හිල්මි සුපුන්

leave a reply