මනෝරම්‍ය වෙද නළාව

මනෝහරන් තාත්තාගෙ
වෙද නලාව ගොළු වුණාද
පුතුගෙ පපුවෙ ගැහෙන සුසුම
සැළෙන හදට නො ඇසුණාද
මනෝරම්‍ය රටක නො ඉඳ
කඳුළු රැගෙන පියැඹුවාට
මනෝහරන් තාත්තාගෙ
වෙද නළාව ගොළුව යාද?

පස්වහන් දහසකට බුදුවෙන්නට
අවසර සුවාමිනේ
පස් මහ බැලූම් පාවෙයි
තිරුකෝණමලෙයි උඩු ගුවනේ
පස් දෙනාට පස්වරුවේ
උණ්ඩ පහ බැගිනි ලැබුණේ
පන්සිල් ගන්න පන්සල් යන
අවියද මග මුණ ගැසුණේ

ගාන්ධි පිළිරුව පාමුල
කාන්සියට ඇලවුණාද
මහන්සි වී සෙල්ලම්කර
රාත‍්‍රියට ගුලිවුණාද
බෝම්බ වෙඩි උණ්ඩ වලට
ශාන්තියකි වෙද නළාව
තාත්තකුට මෝචරියෙදි
පුතුගෙ කඳුළ හමුවුණාද

බුද්ධදාස රජුට වුණත්
ලැජ්ජ හිතෙන රටකි මේක
ඇද්දා ලණුව දැම්මා කොඩිය
සද්දෙ ඔබට ඇසෙනවාද
වන්නි වනපෙතට ඉහළින්
නැද්ද ඉරක මඳ හිනාව
නින්ද බිඳ දමන අවියකි
සද්දෙ ඇහෙන වෙද නළාව

2013 ජනවාරි 06
[සටහන: වසර 2006 ජනවාරි මස දෙවැනිදා තිරුකෝණමලෙයි ඕලන්ද බොක්ක වෙරළ ඉමේ පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව කෙන්ද්‍ර කරගත් වටරවුම මන්සන්ධියේදී කෲර ලෙස ඝාතනයට ලක් වූ දෙමළ ශිෂ්‍යයින් පස් දෙනාගෙන් අයෙකු වූ මනෝහරන් රජීහර්ගේ පියාණන් වන වෛද්‍ය කාසිපිල්ලෙයි මනෝහරන් විසින් තම පුත‍්‍රයා සහ ඔහුගේ මිත‍්‍රයන්ගේ මරණයන්ට සාධාරණ විනිශ්චයක් ලබා ගැනීම වෙනුවෙන් කරනු ලබන අඛණ්ඩ අරගලයට උපහාර වනු පිණිස ය.]

“නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුලක”
– මංජුල වෙඩිවර්ධන –

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...