Breaking News

කසුන් සමරතුංග හදවත සිදුරු කළ තැනින් උපන් තීරු ලිපි එකතුව “මධුසරය”

හිල්මි සුපුන් 

අද අපි කතා කරන්න යන්නේ මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටියගේ තීරු ලිපි එකතුව පිළිබඳව. ඔහු පුවත්පත් තීරු ලිපි රචකයෙක්. ඊටත් ප්‍රථම ඔහු කවියෙක්. කවි පොත් දෙකක් ජනගත කර කතාබහට ලක්වෙච්ච මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය තව නොබෝ දිනකින් ‘රැස’ පුවත්පතට ලියූ තීරු ලිපි එකතුවක් “මධුසරය” නමින් ජනගත කරන්න සූදානමින් සිටිනවා.

අපි කතාව පටන් ගන්නෙ ළඟම ප්‍රශ්නේන් . කවදද? කොහොමද? “මධුසරය” පාඨකයා අතට එන්නේ?

සැප්තැම්බරය කියන්නෙම සාහිත්‍ය සඳහා වෙන්කළ මාසය. ඉතිං මේ මාසෙ කෙරෙන කලා කටයුතු බොහෝමයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ විවිධ අභිනව කෘති එළිදැක්වීම් කටයුතු ඒ අතර සුවිශේෂී යි. එම කටයුතුවලට සමගාමීව “මධුසරය” තීරු ලිපි සංග්‍රහයත් පාඨක දෝතට ගෙන එන්න අවශ්‍යය කටයුතු මේ දිනවල සංවිධානය කරගෙන යනවා.

 ඔබව සමාජය හඳුනාගෙන හිටියේ කවියෙක් හැටියට. පසුකාලීනව ඔබ තීරුලිපි රචකයෙක් හැටියට කලඑළි බහිනවා. ඒ සඳහා අඩිතාලම නිර්මාණය වෙන්නෙ කොහොමද?

මට තීරු ලිපි ලියන්න ආසාවක් ඇතිවුණේ අහම්බෙන් කිව්වොත් නිවැරදියි. හරියටම ඒ 2017 අවුරුද්දෙ. මා විසින් ජනගත කළ පළමු කවි පොත ‘එකසිය තිස් අට’ වෙනුවෙන් කසුන් සමරතුංග සහෝදරයා ඇත්ත පත්තරේට විචාරයක් ලියලා තිබුණා. ඒකෙ හෙඩිම මට මතක විදියට ‘තාරුණ්‍යයේ අපේක්ෂා භංගත්වය හෙවත් 138’. ඇත්තටම ඒක කියෙව්වාට පස්සෙ තමයි මට තීරු ලිපි ලියන්න ආසාවක් ඇතිවුණේ. ඒකේ හෙඩිමේ ඉඳලා තිබුණු හැම අකුරකටම මගේ හිත ගියා. ඒත් එක්කම මගේ අතට පත්වුණා කසුන් සමරතුංග සහෝදරයාගේ ‘නොසන්සුන් මොහොතක හීනයක්’ කවි පොත. ඒකෙ තිබුණු බොහෝ කවි මට දැනෙන්න ගත්තා. නොදැනුවත්වම වගේ මගේ අතින් එම පොත වෙනුවෙන් ලිපියක් ලියැවුණා. ඒකේ හෙඩින් එක විදියට මම යෙදුවෙ ‘සන්සුන් මනසක නොසන්සුන් මොහොතක හීනයක්’ කියලා. ඊට පස්සෙ මම ලිව්ව ලිපිය ඒ දවස්වල තිබුණු රැස පත්තරේ සංස්කාරකවරයෙක් විදියට කටයුතු කරපු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහත්මයාට යැව්වා. එතුමා එය තෝරාගෙන 2018 ඔක්තෝබර් මාසේ 05 දින නිකුත්වුණු රැස පත්තරේ පලකළා. ඒක තමයි මම ලියපු පළමුවෙනි තීරු ලිපිය. එතැනින් ආරම්භ කළ පත්තර චාරිකාව තුළ තීරු ලිපි හතලිහකට අධික ප්‍රමාණයක් මාතින් රැස පත්තරේට ලියැවුණා. ඒත් එක්කම බොහෝම අවාසනාවන්ත විදියට 2019 අවුරුද්දෙ අග භාගයේ රැස පත්තරේ වැහිලා ගියා. ලියන්න අවස්ථාවක් නැතිව ඉන්නකොට මව්බිම පත්තරේ සුසිල් සුරවීර මහත්මයා මව්බිමට ලියන්න මට ආරාධනා කළා. දැන් ‘මධුසරය’ යන නමින් ඉරිදා මව්බිම පත්තරේට සුපුරුදු පරිදි තීරු ලිපිය සම්පාදනය කරගෙන යනවා. රට තුළ පැවතුණු කොවිඩ් තත්වයත් එක්ක ටිකක් ලිපි පලකිරීම අඩාල වෙලා තිබුණා පසු ගිය කාලයේ. ඉදිරියට එම තත්වය සාමාන්‍යකරණය වේවි.

 ‘කවිය සහ තීරු ලිපිය’ මේ දෙක අතර වෙනස කොහොමද හඳුනාගත්තේ?

මම මේ කලා මාධ්‍ය දෙක අතර වෙනස මට අනුව පැහැදිලි කරන්නම්. ඇත්තටම මගේ මුල් ප්‍රකාශන මාධ්‍යය වුණේ කවිය. කවියට මං බොහෝම ආදරෙයි. මොකද කවිය කියන්නේ මා තුළ නිරුත්සාහයෙන්ම ගොඩනැගෙන දෙයක්. මම කවිය පිළිබඳව අධ්‍යනයේ යෙදුනත්, කවි ලියන්න ඉතාමත් අපහසු ප්‍රයත්නයක් දරන්නේ නැහැ. මා නොදැනුවත්වම පැළයක් දලු, කොළ ලා වැඩෙන්නාක් මෙන් කවිය මා තුළ ගොඩනැගෙනවා. තීරු ලිපි ලියද්දි එහෙම නෙවෙයි. ඒකට සුවිශේෂී ප්‍රයත්නයක් දරන්න වෙනවා. අපි ලියන විශය සම්බන්ධයෙන් විවිධ මාර්ගයන්ගෙන් විශ්වාසදායක තොරතුරු සොයා යන්න අපිට සිද්ධවෙනවා. පොත පත, ලිපි ලේඛන, වෙබ් අඩවි වැනි මූලාශ්‍රයන්ගෙන් පමණක් නොවෙයි ඒ හා සබැඳි පුද්ගලයින්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීමට පවා ඇතැම් විට රචකයාට සිද්ධවෙනවා. තවදුරටත් විග්‍රහ කළොත් ප්‍රාථමික, ද්වීතියික කියන දෙඅංශයේම තොරතුරු භාවිතා කරන්න සිද්ධවෙනවා තීරු ලිපි රචනයේදී. ඒ වගේම කවිය තුළින් තම පරිකල්පන ශක්තිය උපයෝගීකරගනිමින් පුළුල් අත්දැකීම් වපසරියක් සමාජය වෙත නිරාවරණය කරද්දි තීරු ලිපිය තුළින් ඊටවඩා පටු අත්දැකීම් වපසරියක් වුණත් ශක්තිමත් ලෙස නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා ඇතැම් අවස්ථාවල හිතෙනවා. කොහොම වුණත් කවිය, තීරු ලිපිය කියන කලා මාධ්‍ය දෙකම ඉතාමත් වටිනා කාර්යයභාරයක් කළහැකි ප්‍රවේශ දෙකක් කියලා මම තරයේ විශ්වාස කරනවා.

 

මිනිස්සුන්ට ළං වෙන්න වඩාත්ම හොඳ මාධ්‍ය ලෙස තෝරා ගැනීමක් තියෙනවද? වෙන්කර ගැනීමත් තියෙනවද?

මා තුළ සුවිශේෂී තෝරාගැනීමක් නැහැ. කවිය, තීරු ලිපිය කියන කලා මාධ්‍ය ද්විත්වය තුළ ම සමබර ලෙස යෙදෙන්න මම උත්සාහ ගන්නවා. නමුත් මෑත කාලීනව කවිය තුළ සෙසු කලා මාධ්‍ය තුළ සිදු වූ වර්ධනයට වඩා වැඩි වර්ධනයක් සිදු වුණා කියලා කියන්න පුළුවන්. කවිය සහ කවියා පිළිබඳව වැඩි වශයෙන් ජනතාව අතර කතාබහට ලක්වුණා. කවිය කේන්ද්‍රකොටගනිමින් ‘ඉලන්දාරි හැන්දෑව’ වැනි ටෙලිනාට්‍ය නිර්මාණය වුණා. ඇතැම් ටෙලිනාට්‍ය තුළ නවක කවියන්ගේ කවි භාවිතා වුණා. ජාතික රූපවාහිනියෙ ‘සිහිනයකි රෑ’ වැනි වැඩසටහන් තුළ කවියාට සහ කවියට වැඩි ඉඩක් වෙන්වුණා. ඇතැම් විවේචනයන්ට ලක්වන රේඩියෝ වැඩසටහන් තුළ පවා ෆේස්බුක් හි ලියැවෙන කවි ප්‍රචාරය වුණා. ඉතිං මේ සියලු දේවල් වලින් පෙනෙන්නට තිබෙන්නේ කවියෙහි වූ නැගීම. ඒ වගේම තීරු ලිපිය සම්බන්ධයෙනුත් මෑත කාලීනව යම් තරුණ ලේඛක සහභාගීත්වයක් දකින්න පුළුවන්. ළහිරු කිතලගම, කසුන් සමරතුංග වැනි දක්ෂ තරුණ තීරු කරුවන්ගේ ආගමනය ඒ තුළ සුවිශේෂීයි.

 කවිය පුවත්පත් කලාව තුළ ඔබ ඇවිද යද්දී  හමුවෙච්ච පරමාදර්ශී චරිත තියනවද?

අනිවාර්යයෙන්ම. මම ආධුනික ලේඛකයෙක්. මා වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලේඛන දිවියේ ඉදිරිපැවැත්ම උදෙසා වචනයකින් හෝ සහයෝගයක් දුන් අය පරමාදර්ශී චරිත විදියට මා හඳුන්වන්න කැමතියි. ඒ වචනය සාර්ථක තැන් පෙන්වාදීමක් හෝ අඩුපාඩු පෙන්වාදීමක් වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් ප්‍රවීන හෝ නවක භේදයකින් තොරව හඳුනාගත් පුද්ගලයින් කිහිපදෙනෙක් ම ඉන්නවා. ඒ අතරින් පුවත්පත් කලාවට ම සම්බන්ධ වටිනා පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් මගේ හිතේ සුවිශේෂී ස්ථානයක රැඳී තියෙනවා. එක්කෙනෙක් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර. අනිත් පුද්ගලයා මව්බිම උප සංස්කාරක සුසිල් සුරවීර මහතා. මොකද තිඹිරියාගම බණ්ඩාර මහත්මයා කියන්නේ පරිධියේ සාහිත්‍යය කරුවන්ට නිරන්තරයෙන් අත හිත දෙන්නෙක්. සුසිල් සුරවීර මහත්මයා කියන්නේ පත්තරයක් වැහිලා එවැනි රචකයෙක් නිහඬ වෙන්න යද්දි තමන් වැඩකළ මව්බිම පත්තරේට කතාකරලා නව බිමක් නිර්මාණය කරදුන්නු වටිනා පුද්ගලයෙක්. එම නිසා ඔවුන් දෙදෙනා මට ඉතාමත් සුවිශේෂී යි.

මං දන්න හැටියට ඔබ දේශපාලන තීරු ලිපි රචකයෙක් නෙවෙයි. කලින් කලට පවතින දේශපාලන බලාධිකාරිය විසින් මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල කරනවා. ඒක මේ මොහොතෙත් වෙනවා. සමහර මාධ්‍යවේදීන් ස්වයංව මේ බලපෑමට යටත්ව දේශපාලන බලාධිකාරියට හානි නොවන ආකාරයෙන් තමන්ගේ පෑන් අසුරනවා. සමහරු ඊට අභියෝග කරමින් පවතින යථාර්ථය ජනගත කරනවා . ඔබ අත්දැකීම් ටිකක් එකතු කරගත්තු සැලකිය යුතු කාලයක් ලියන කෙනෙක්. තරුණ මාධ්‍යවේදියෙක් හැටියට දේශපාලනික මාධ්‍ය මර්දනය කොතැනින්ද විග්‍රහ කරගන්නේ.

දේශපාලනික මාධ්‍ය මර්දනය ගැන කතා කරද්දි බොහෝ දෙනා තලුමරන්නේ රිචඩ් ද සොයිසා ඝාතනයේ ඉඳලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම දක්වා වූ කාල පරාසය තුළ අත්දැකපු, අත්විඳපු සිදුවීම් සමුදාය. නමුත් වර්ථමානයේ ඉන් එහා ගිය මාධ්‍ය මර්දනයක් අපට නොදැනුවත්වම සිදුවෙනවා. අපි දේශපාලන මාධ්‍ය මර්දනය කියන දේ විග්‍රහ කරගන්න ඕන එක සිදුවීමක්, දෙකක් දිහා බලලා බොහෝම ක්ෂුද්‍ර විදියට නොවෙයි. මොකද වක්‍රාකාරයෙන් දැවැන්ත මාධ්‍ය මර්දනයක් අපගේ ඇස්පනාපිටම සිදුවෙනබව පෙනෙන්නට තිබෙන නිසා. විවිධ දේශපාලන පක්ෂවල මථවාද ඔලුව උඩ තබාගත් රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, පුවත්පත්, යූ ටියුබ් නාලිකා බොහෝ ප්‍රමාණයක් අද බිහිවෙලා තියෙනවා. මේ මාධ්‍ය ආයතනවල වැඩකරන මාධ්‍යවේදීන්ට නියම ජනමාධ්‍ය පිරිවිතරයන්ට අනුව වැඩකරන්න අවශ්‍ය කරන නිදහස තියෙනවාද කියන එක ගැටළුවක්. විශ්වවිද්‍යාල තුළින් ජනසන්නිවේදනය හදාරා පිටතට පැමිණෙන පුහුණු වෘත්තිකයින්ට ස්වාධීනත්වයෙන් වැඩකරන්න අවශ්‍යකරන වාතාවරණයක් මෙම මාධ්‍ය ආයතන තුළ නැහැ. ඒ වගෙම විවිධ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව වැඩකිරීම විනා සැබෑ ජනතා ප්‍රශ්න කෙරෙහි සවිඥානික වෙන්න අවස්ථාවක් ලැබෙනවාද කියන එක ගැටළුවක්. මෙම මාධ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ගත්තත් ඒ ඒ දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම්වලට අනුව කටයුතු කරනවා විනා සැබෑ සේවක ගැටළු කෙරෙහි අවදානය යොමුකරනවාද යන්න පිළිබඳව දෙවරක් සිතාබලන්න සිදුවෙනවා. ඒ නිසා අපි මේ විශයෙදි රට තුළ සිදුවුණ එක් සුවිශේෂී සිදුවීමක්, දෙකක් පස්සෙ ම නොයා මේ විදියට පුළුල් ඇසකින් ගැටළුව දෙස බැලීම තුළින් පිළිතුරු සොයාගැනීම වඩාත් හොඳ හෙට දිනක් නිර්මාණය කිරීමේදි වැදගත් වේවි කියලා හිතනවා.

 “මධුසරයෙන් ”  පසු

මධුසරයෙන් පසු කුමක් සිදුවේද කියලා තවම සැලසුම් කරලා නැහැ. එදිනෙදා සාහිත්‍ය කටයුතු ටික ඒ විදියටම කරගෙන යනවා. කවිය සහ තීරු ලිපිය කෙරෙහි සමබර අවදානයක් යොමුකරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මා ලියන එක් අකුරකින් හෝ පවත්නා ජන සමාජය අංශු මාත්‍රයකින් හෝ ඉදිරියට ගෙන ඒමට හැකිනම්, එය මා ලබන මහත් වූ වරප්‍රසාදයක් විදියට සලකනවා.

හිල්මි සුපුන්

leave a reply