ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් තමන්ගේ ඡන්දදායකයෙකු විසින් සිදුකළ එකක් බව ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි. එසේම ඔහු පවසා ඇත්තේ තමන් මෙම ස්ථානයට ගොස් පරික්ෂා කළ බවත් කිසිදු පරිසර හානියක් සිදුව නොමැති බවයි.
“ඊයේ උදේ ජනාධිපතිවරයා මට කථා කරලා කිව්වා. සමාජ ජාලවල යන ආනවිලුන්දාවේ පළහිලවට ඔයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? කියලා. මම ජනාධිපතිවරයාට දුන් උත්තර මගේ කිසි සම්බන්ධයක් නැහැ. මගේ වචනෙකින් හරි සම්බන්ධ නම් දඬුවමට සූදානම්. මෙය මා විසින් හෝ මගේ කෙනෙකු කළ දෙයක් නොවෙයි. හැබැයි මගේ ඡන්දදායකයෙක්, ගම්වැසියෙක් කරපු දෙයක්. මේ සිදුවෙලා තියෙන කාරනය සම්බන්ධයෙන් මම ස්ථානීය පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් ම මම දැක්කා. මෙහි කිසිදු පරිසර හානියක්වෙලා නැහැ,” යනුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා ඇත.
ගැටලුව ඇත්තේ දේශපාලනඥයන් පරිසරය ගැන මෙවැනි නිගමන එළඹෙන්නේ කෙසේද යන්නයි. ආනවිලුන්දාව යනු අභය භූමියකි. එවැනි ස්ථානයක කිසිදු අවසරයකින් තොරව සිදුවන පස් කැපීමකින් අනිවාර්ය ලෙස එම විශේෂ පරිසර පද්ධතියට හානියක් සිදුවන බව අමුතුවෙන් පැවසිය යුතු දෙයක් නොවේ. කොපමණ පරිසර හානියක් සිදුව ඇද්ද එය සිදුවූවේ කෙසේද යන්න තක්සේරු කිරීමට පරිසරය සම්බන්ධ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සිටියි. නැතහොත් පරිසර කරණා පිළිබඳ දැනුමක් සහිත පරිසරවේදීන් සිටියි. පරිසර සංවේදී කලාපයක සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා නියමිත ක්‍රමවේදයක් පවතියි. නමුත් පසුගිය සමයේ මතුවූ කිසිදු පරිසර ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන මැදිහත්වෙනු දැකිය නොහැකි විය. ඊට වෙනස්ව සිදුවූවේ දේශපාලනඥයන් ඒ සඳහා මැදිහත් වී එය නැවත්වීම හෝ තත්ත්වය සමහන් කොට එම විනාශය සිදුකරගෙන යාමට මග පෑදීමයි.
සිංහරාජ මාර්ගය පුළුල් කිරීම සම්බන්ධ ප්‍රශ්නයේදී ද සිදුවූවේ එයයි. නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වනයට යාබද වන කලාපයට හානිවන බව අනාවරණයකර තිබියදී එම මාර්ග ඉදිකිරීම දින 90ක් තුළ අවසන් කරන්නට ජනාධිපතිවරයා නියෝගකර තිබුණි. මෙවැනි මාර්ගයක් ඉදිකරන්නට වනසංරක්ෂණ හෝ පරිසර අමාත්‍යංශ අවසරයක් ගෙන නැතිවා පමණක් නොව, සිදුවන්නට නියමිත පාරිසරික හානි පිළිබඳ නිසි ඇගයුමක්ද සිදුකර නැත. මේ තත්වය සම්බන්ධ කිසිදු විභාග කිරිමකින් තොරව මාර්ග ඉදිකිරීම භාරදී තිබුණේ යුද හමුදා භටයන්ටය. ජනාධිපතිවරයා සමග අද (29) ලංකාගම ගිය රජයේ නිලධාරින් අමතා මාර්ග ඉදිකිරීම් කටයුත්ත දිගටම සිදුකරන්නට උපදෙස් දී ඇත. එහෙත් විනාශයට ගවෙීමක් කරන්නට මෙන් වන රක්ෂිතයට එක් නිවසකින් පැල 03 බැගින් පැල 2100 සිටුවන්නට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
මේවා මෙසේ සිදුවෙන විට දැනට සිදුව ඇති විනාශයට වගකියන්නේ කවුරුන්ද? නීතියේ ඇති පරිදි පරිසර වාර්තා ලබා නොගැනීම වරදක් නම් එම වගකීම ගන්නේ කවුරුන්ද? එසේම මින් ඉදිරියට විනාශයක් සිදුවිය හැකි බවට නිගමනය කරන්නේ කෙසේද? අවසාන වශයෙන් දේශපාලනඥයන්ට පරිසරය ගැන හිතුමතේ තීන්දු තීරණ ගැනීමට හැකි නම් පරිසරය සම්බන්ධ නිලධාරීන් එම ආයතන සහ පරිසර නීති කුමකටද?