Breaking News

වනගහණය 30% ක් කරන්න ආපු ආණ්ඩුව තියෙන ටිකත් අඩු කිරීමේ සැලසුමක

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ පැවති සියලුම රජයට අයිති වනාන්තර ඉඩම් වන රක්ෂණ ආඥා පනතේ 20වන වගන්තියේ පාලනයට යටත් කළ 5 – 2001 නම් චක්‍රලේඛය සම්පූර්ණයෙන් ඉවත්කිරීමේ ක්‍රියාවලියක් පවතින බව වාර්තා වේ. පරිසරවේදී සජීව චාමිකර පැවසුවේ වර්තමාන රජයේ අවශ්‍යතාවය මත වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් දෙපාර්තමේන්තුව පාලනය යටතින් ඉවත් කිරීමේ සැලසුමක් ඇති බවයි.

පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරත් පැවසුවේ,

“වන රක්ෂණ දෙපර්තම්නේතුව ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය සියයට 29 වනාන්තර ආවරණයක් පවතින බව පැවසුවත් එය වැරදි සංඛ්‍යා ලේඛණයක්. 2009 සංඛ්‍යාලේඛනයට අනුව ලංකාවේ වන ගහනය සියයට 17 දක්වා පහළ බැස ඇති බව අනාවරණය කරගෙන තියෙනවා. එසේ තිබියදී තමයි වන රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම් නැවත ඉවත් කරන්න සැලසුම් කරන්නෙ. ක්‍රියාවලිය සිදුවන්නේ වර්තමාන රජයේ අවශ්‍යතාවය මතයි.

චක්‍රලේඛය ඉවත් කිරීමත් එක්ක මහා පරිමාණ පස් කැනීමේ කටයුතු කළු ගල් කැඩීම සඳහා වගේම විවිධ සංවර්ධන කටයුතු, ඉඩම් බෙදාදීමේ කටයුතු සිදුවෙන්න නියමිතයි. මෙම චක්‍රලේඛය නිසා රක්‍ෂිතයන් නොවන වනාන්තර ඉඩම් සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට බාධාවක් ඇති බව හුවා දක්වනවා. මොහොතේ උමා ඔය ව්‍යාපෘතියෙන් අවතැන් වෙච්ච් ජනතාවට ඉඩම් ලබාදෙන්න යයි පවසමින් විවිධ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් නිදහස් කිරීමේ ව්‍යපෘතියක් පවතිනවා. නමුත් 5-2001 කියන චක්‍රලේඛය නිසා මෙම ඉඩම් ලබාදීම තරමක් දුරට මන්දගාමී වෙලා තියෙනවා. පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ ඉඩම් පුළුල් කිරීම සඳහා ඉල්ලීම් තිබෙනවා. වනරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන හම්බන්තොට අලි කළමණාකාර රක්ෂිතයට අයත් ඉඩම් විවිධාකාරයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉල්ලුම් කර තියෙනවා. නමුත් 5-2001 කියන චක්‍රලේඛය නිසා ඒ කටයුතු මන්දගාමී වෙලා තියෙනවා. මේ චක්‍රලේඛය ඉවත් කිරීමෙන් සිදුවන වඩාත්ම හානිදායක දෙය වන්නේ රක්ෂිතවලින් පරිභාහිරව තිබෙන ජල පෝෂක ප්‍රදේශ සම්පුර්නයෙන් අහිමිවීමක් සිද්ධ වෙනවා. රක්ෂිතවලින් පිටත පිහිටා තිබෙන අලි ඇතුන්ගේ විශාල වාසස්ථාන ප්‍රමාණයක් මේ හරහා අහිමි වෙනවා. මේ හරහා ජාල අර්බුද, කාලගුණික දේශගුණික විපර්යාස, අලි මිනිස් ගැටුම වර්ධනය වී, වගා බිම්වලට ජල අර්බුද ඇතිවීම, වගාබිම්වලට සත්ව හානි වැඩිවීම වැනි අහිතකර ප්‍රථිපල රැසක් ඇතිවෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ජනාධිපතිවරණ පොරොන්දු මාලාවේ ලංකාවේ වන ගහනය සියයට 30 දක්වා වැඩිකරන බව සඳහන් කර තිබුණා. නමුත් දැන් ක්‍රියාත්මක වෙන්නේ වන ගහනය තවදුරටත් අඩු කිරීමේ ක්‍රියාවලියක්. මෙය වහාම නැවත්වීම සඳහා කටයුතු කළ යුතුයි. “

leave a reply