Breaking News

රනිල් ජනතාව ඉදිරියට යන්න බයයි – වසන්ත මුදලිගේ

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී ව්‍යවස්ථාවේ අඩුපාඩුවක් මතු කර ජනමත විචාරණයට යාමට උත්සහා දරමින් රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටන බවට ජන අරගල සන්ධානය චෝදනා කරයි.

“රනිල් වික්‍රමසිංහ කිසි ලෙසකින්වත් මහජන ඡන්දයෙන් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් වුණ කෙනෙක් නෙවෙයි. ඔහු ව්‍යවස්ථාවේ හිල් භාවිතා කර පොහොට්ටු ආනුභාවයෙන් ජනපති වුණා. මෙයා ජනතාවට බයයි. මැතිවරණයට බයයි. ජනතාව ඉදිරියට යන්න බයයි. ඒ නිසා හැම විටකම කල්පනා කරන්නේ මැතිවරණය කල් දාන්න පුළුවන් විදියක් ගැන. ඒ නිසා තමයි පත් වුණ අලුත හැමෝම එකතු වෙලා ජාතික ආණ්ඩු හදමු කිව්වේ. පස්සේ ලේනෙක්ව දාලා ජනාධිපතිගේ දූර කාලය වසර 6යි කියලා තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගන්න හැදුවා. ඒ සේරම බැරි තැන දැන් කැබිනට් අනුමැතිය අරගෙන ව්‍යාවස්ථාව නිරවුල් කිරීම කියන අදහස පෙන්නලා ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය සංශෝධනය කරන්න යනවා.”

ජන අරගල සන්ධානයේ වසන්ත මුදලිගේ ඊයේ (11) කොළඹ 07 සිංහ සමාජ ශාලාවට මාධ්‍ය කැඳවා ඒ බව කියා සිටියේය.

2019 වසරේ දී ව්‍යවස්ථාවේ 83 වැනි වගන්ති සංශෝධනය නොකළේ ජනමත විචාරණයක් පැවැත්වීමට සිදුවන නිසාවෙන් බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ධූර කාලය අඩු කරන බවට පෙන්වීමට උත්සාහ කළ ද ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ යටි අරමුණ ජනාධිපතිවරයා කල් දමා ගැනීම බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

“මේ ව්‍යවස්ථා සංශෝධනය හරියට බුදු සරණයි කියලා ලොරියේ ඉස්සරහ ගහගෙන පිටි පස්සෙන් හොර හරක් පටවගෙන එන ලොරියක් වගේ.” යැයි වසන්ත මුදලිගේ තවදුරටත් පැවසීය.

leave a reply