Breaking News

හෙද දිනයේදී ලෝකයේ බහුතරයක් හෙද හෙදියන්ට දෑත් සේදීමේ පහසුකම් නැහැ

ලොවපුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවලින් හයෙන් එකකට සෞඛ්‍යාරක්ෂිත අත්සේදීමේ පහසුකම් සහ ප්‍රමාණවත් හෙද හෙදියන් නැතැයි ‘වෝටර්ඒඩ්’ ජාත්‍යන්තර සංවිධානය සඳහන් කරයි.

ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය එම තොරතුරු අනාවරණය කර ඇත.

‘නව කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව ගෙන යන සටනේ ඉදිරිපෙළ සටන්කරුවන් වන හෙදියන්ට ඔවුන්ගේ දෑත් සෝදා ගැනීමට පහසුකම් පවා නැතැයි එම සංවිධානය අනතුරු අඟවයි.

මේ තත්ත්වය හේතුවෙන් හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලවල ආරක්ෂාව සුරක්ෂිත කරන්නැයි ද ජාත්‍යන්තර සංවිධාන ආණ්ඩුවලින් අද (12) ඉල්ලා සිටියේය.

පිරිසදු ජලය නොමැති ප්‍රදේශවල ජීවත්වන ලොවපුරා බිලියනයකට ආසන්න පිරිසක් තම සෞඛ්‍යාරක්ෂාව සපයාගැනීමේ දැඩි අරගලයක නිරත වී සිටින මොහොතක මෙම නව වාර්තාව නිකුත්ව තිබේ.

ලෝක හෙද දිනය අද (12) ට යෙදී ඇත. ලොව දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවා සපයන ස්ථානවලින් අඩකට ආසන්න සංඛ්‍යාවකට පිරිසුදු ජලය නැතැයි ‘වෝටර්ඒඩ්’ සංවිධානය පෙන්වාදෙයි.

වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු ලොවපුරා සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වනවිට මිනිසුන් කොරෝනා වසංගතයෙන් බේරාගැනීම සඳහා දැඩි අරගලයක නිරත වී සිටිති. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් අද (12) පස්වරු 5 වනවිට ලොවපුරා 287,600කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබිණි.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් තිබිණි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ලොවපුරා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සොඛ්‍ය කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් රැසකට ද ජීවිත අහිමි වී ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරන්තරයෙන් දෑත් සේදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. කිවිසුම් යෑමේදී, කහින විටදී මුඛ ආවරණය කරගන්නැයි ද කායික දුරස්ථභාවය පවත්වා ගන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අවධාරණය කළේය.

‘‘සංවර්ධනය වෙමින් පවතින රටවල් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් දහස් ගණනකට දෑත් සෝදා ගැනීමට පිරිසුදු ජලය හෝ සබන් හෝ නැහැ’ යැයි ‘වෝටර්ඒඩ්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් වේයින්රයිට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

‘‘සනීපාරක්ෂාව පවත්වාගැනීමට නොහැකි වීම රෝහල්වල වයිරසය ව්‍යාප්ත වෙන කේන්ද්‍රස්ථාන බවට පත්වෙලා. ලොවපුරා රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරිලා ගිහිල්ලා.

මේ තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ විතරක් නෙවෙයි රෝගීන්ගේ ද ජීවිත අවදානමට පත්වෙලා’’ යැයි ද හෙතෙම කීය.

වෛද්‍ය කාර්යමණ්ඩලවලට ප්‍රමාණවත් පරිදි පෞද්ගලික උපකරණ කට්ට්ල, මුඛ ආවරණ, මුහුණ ආවරණ, අත් ආවරණ සහ ඇස් ආවරණ සැපීමට අසමත් හා අපොහොසත් වීම හේතුවෙන් ලොවපුරා ආණ්ඩුවලට දැඩි විවේචනයක් එල්ල වී ඇත.
උපුටා ගැනීම – ලංකාදීප

leave a reply