නීතිඥවරුන් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීම නිසා කස්සප හිමි ඇතුළු පිරිසට මාසයකට අධික කාලයක් බන්ධනාගාරයේ සිටීමට සිදු වූ බව මහාධිකරණයේදී හෙළි විය.
ඒ අනුව බෞද්ධ හිමිවරුන් බන්ධනාගාරගත කෙරෙන ආකාරයේ කුමන්ත්‍රණයක් නිර්මාණය කොට ආණ්ඩුවට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් කිරීමේ උත්සාහයක්දැයි මේ පිළිබද සැකයක් මතු වේ. මීට පෙර කුමන්ත්‍රණකාරීව කස්සප හිමි ඇතුළු පිරිසට එරෙහිව වෙරළාරක්ෂක පනත යටතේ ඇති චෝදනා ඉවත් කොට ආණ්ඩුව පදනම් විරහිත අත්අඩංගුවට ගැනීමක් සිදු කළ බව හුවා දැක්වීමට උත්සාහ කලද එය ව්‍යවර්ථ විය. දැන් මහාධිකරණයේදී හෙළි වූ කරුණු අනුව පෙනී යන්නේ බෞද්ධ හිමිවරුන් රජය විසින් නිකරුණේ සිරගත කොට තබන බවට මතයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කස්සප හිමි ඇතුළු පිරිසට නිසියාකාරව ඇප ලබා නොගෙන සිරගත කොට තැබීමේ උත්සාහයක් පවතින බවයි.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂූන් වහන්සේලා සිව්නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට එරෙහි නීති කෘත්‍යය පෙබරවාරි 09 වැනිදා ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණයේදී යළි සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු හෙළි විය.
එදින පෙරවරුවේ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර හිමිවරුන් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ස්වාමින් වහන්සේලා දෙනමක් රක්ෂිත බන්ධනාගාරගත කරමින් ලබාදී තිබූ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇති බවයි.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදී ඉල්ලා සිටියේ තම සේවාදායකයන් සම්බන්ධයෙන් මහාධිකරණයේ ගොනු කළ ඇප අයදුම්පත් එදිනම සලකා බැලීමට නියමිත බැවින්, එතෙක් මහේස්ත්‍රාත් අධිකරණයේ නීති කෘත්‍යය කල් තබන ලෙසයි.
පසුව මහාධිකරණය හමුවේ ඇප අයදුම්පත් සලකා බැලූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය එම ඇප අයදුම්පත් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා දින දෙකක කාලයක් ඉල්ලා සිටියාය. ඊට විරෝධය පළ කළ විත්තියේ නීතිඥවරුන් පෙන්වා දුන්නේ සැකකරුවන් මේ වන විටත් මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඔවුන්ගේ ඇප අයදුම්පත් කඩිනමින් සලකා බලන ලෙසයි.
මෙහිදී මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මහතා විවෘත අධිකරණයේදී දැඩි ප්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කළේය:
“සැකකරුවන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා අනුව ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැත. එබැවින් මීට පෙර මෙම අධිකරණය හමුවේ ඇප අයදුම්පත් සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවස්ථාව තිබිණි. එසේ කළේ නම් මා කිසිසේත්ම මෙම පනත යටතේ සැකකරුවන් මෙතරම් කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන්නේ නැත. උගත් නීතිඥවරුන් නිවැරදි නෛතික ක්‍රියාපටිපාටිය අනුගමනය නොකළ නිසා සැකකරුවන්ට මෙතරම් කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදු වී ඇත.”
ඊට ප්‍රතිචාර දැක්වූ විත්තියේ නීතිඥවරුන් ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය මගින් ඇප ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවයි. එහිදී විනිසුරුවරයා අවධාරණය කළේ අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් පවත්වාගෙන යාම යනු වෙනම නෛතික ක්‍රියාපටිපාටියක් බවත්, ඇප ලබාදීමේ බලය ඇත්තේ මහාධිකරණයට බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබූ බවත්ය.
අනතුරුව, රජයේ නීතිඥවරියගේ ඉල්ලීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා, ඇප අයදුම්පත් සම්බන්ධයෙන් මූලික විරෝධතා වෙතොත් ඒවා එළඹෙන 11 වැනිදා ඉදිරිපත් කරන ලෙස දන්වමින් නඩුව කල් තැබීය.
මහාධිකරණයේ මෙම තීරණය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් පසු, විත්තියේ නීතිඥවරුන් තවත් ඉල්ලීමක් කරමින් කියා සිටියේ බුද්ධ නීතියට අනුව ස්වාමින් වහන්සේලා දහවල් 12ට පෙර දානය වැළඳිය යුතු බැවින් බන්ධනාගාරය තුළදී ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙසයි. එහෙත් ත්‍රිකුණාමලය බන්ධනාගාර නිලධාරියා අධිකරණයට දන්වා සිටියේ සියලු රැඳවියන්ට ආහාර ලබා දෙන්නේ දහවල් 1.30ට බැවින් විශේෂාකාරයෙන් ආහාර ලබා දීමට නොහැකි බවයි.
මෙහිදී විත්ති කූඩුවේ සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ තමන් බැලීමට අමුත්තන් පැමිණි අවස්ථාවලදී සහ පෝය දින සිල් සමාදන් වීමේදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් බාධා එල්ල වූ බවයි. එහෙත් විත්ති කූඩුවේ සිටි අනෙක් ස්වාමින් වහන්සේ නමක් විවෘත අධිකරණය හමුවේ පවසා සිටියේ තමන් වහන්සේලාට බන්ධනාගාර නිලධාරීන් ඉතා හොඳින් සලකන බවයි.
සියලු කරුණු සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා, අදාළ සිදුවීමේදී සැකකරුවන්ට පොලිස් නිලධාරීන් පහර දුන් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. එසේම අභියාචනාධිකරණය රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීම තුළින් තමන් ලබා දුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිවැරදි බව තහවුරු වන බවත්, මින් ඉදිරියට සැකකරුවන්ට ඇප ලබා ගැනීමේ බලය ඇත්තේ මහාධිකරණය සතුව පමණක් බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
උපුටා ගැනීම – වට් නිවුස්






