Breaking News

අතුරුදහන්වූවන්ගේ සිදුවීම්වලින් පෙන්වන්නේ අපරාධකාරී රාජ්‍යයේ ස්වභාවය – පුබුදු ජයගොඩ

අතුරුදහන්වූවන්ගේ සිදුවීම් වලින් පෙනවන්නේ අප ජීවත්වන අපරාධකාරී රාජ්‍යයේ ස්වභාවය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද කොළඹදි පැවති අතුරුදහන්වූවන් ත යුක්තිය ඉටුකරනු යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බැව් පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

” පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් – කුගන් සහෝදරවරු පැහැරගෙන ගිහින් අතුරුදන් කරලා දහතුන් වසරක් සැපිරෙන මොහොතක තමයි අපි අද මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ. ලෝක මානව හිමිකම් දිනය සමරනව කියල කිව්වට අද ඇත්තටම අපි ජීවත් වෙන්නේ මානව හිමිකම් අහිමි කළ සමාජයක. අද අපි සංකේත විදිහට මුහුණු කිහිපයක් ගත්තත් දේශපාලන වශයෙන් අසාධාරණයට ලක් වුණු පීඩාවට ලක් වුණු දහස් ගණනක් අපිට සිහිපත් කරන්න පුලුවන්. ලලිත් කුමාර් වීරරාජු, කුගන් මුරුගානන්දන්, දිලාන් ජමාල්ඩීන්, මොහොමඩ් හකීම් කියන්නේ සංකේත. උතුරු නැගෙනහිර කොළඹ මේ හැමතැනම මේ විදිහේ අතුරුදන් කිරීම් ගණනාවක් වාර්තා වුනා.

 

මේ අත්දැකීම් අපිට කියන්නේ මේ ජීවත්වෙන අපරාධකාරී රාජ්‍යයේ ස්වභාවය. සමහරු පැහැරගෙන ගිහින් මරාදැමුවා. සමහරු අදටත් අතුරුදහන්, කිසිදු ඡෝදනාවක් පවා නැතුව අවුරුදු 20 – 30 සිරගතව කරපු ජීවිත තිබුණා. මේ නැවත වටයකින් තිරගත වෙන්නේ යවෙස්ලූ මිනිසා චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ තියෙන්නේ කිසිදු ඡෝදනාවක් නැතුව බලකොටුවක වසර ගණනක් සිරගත කළ මිනිසෙක් ගැන කතාවක්. ඒ අතීතය තමයි නැවත වටයකින් මේ දර්ශනය වෙන්නේ.

 

කොවිඩ් වසංගතය වෙලාවේ මහර බන්ධනාගාරය ඇතුලේ රැඳවියන්ට වුණු දේ අපි දැක්කා. හමුදාව පොලීසිය සහ පාලකයෝ කියන හැමෝම එකතුවෙලා තමයි අහිංසක මිනිස්සුන්ට විරුද්ධව මේ මර්දන යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන්නේ. මහර රැඳවියෝ ඉල්ලුවේ වසංගතය වෙලාවේ සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳ සිටීමේ අයිතිය. එන්නත් ලබාගැනීමේ අයිතිය. ඒ අයිතිය වෙනුවට ඔවුන්ට හම්බවුනේ වෙඩි උණ්ඩ. අන්තිමට නීතිපති දෙපාර්තමේන්තුව මොකක් ද කලේ නඩුව ඉල්ලා අස්කරගත්තා. ඒ මහා අපරාධයට අදටත් යුක්තිය නෑ.

 

2010 මැක්සෙල් පරණගම කොමිෂමේ වාර්තාව කියන විදිහට 2008 – 2012 අතර 25000ක් අතුරුදන් වෙලා. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්තාව කියන විදිහට 2010 ඉදන් මෑත කාලය වෙනකල් 32000ක් අතුරුදන් වෙලා. අපි මේ කතාකරමින් ඉන්නේ ඉතාම මෑත කාලයේ අතුරුදහන් කිරීම් ගැන. හැබැයි දශක ගණනාවක් තිස්සේ මේ අපරාධය දිගින් දිගටම වුණා. මේ අතුරුදහන් කිරීම් බහුතරයකට වගකියන්න ඕන මේ රාජ්‍යය.

 

අදටත් ලංකාවේ නීතියට ඇතුලත් කරල නැති අයිතීන් ගොඩක් තියනවා. අදටත් අපේ ව්‍යවස්ථාවේ ජීවත් වීමේ අයිතිය ගැන ලියවිලා නෑ. ඒ අයිතිය නීතියෙන් පිළිඅරගෙන නෑ. අතුරුදන් කිරීම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුති පනත ගේන වෙලාවේ අතුරුදන් නොවී සිටීමට මිනිස්සුන්ට අයිතියක් තියනවා. කිසිවෙක් අතුරුදන් කිරීම මනුෂ්‍යත්වයට එරෙහී අපරාධයක් කියන කාරණයවත් ලියවුනේ නෑ. හැබැයි මර්දන නීති නම් මේ රාජ්‍ය සම්මත කරගෙන ක්‍රියාත්මක කරනවා. ත්‍රස්තවාදය වැලක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත, කලාකරුවන් විශාල ප්‍රමාණයක් මර්දනය කරවන්න පාවිච්චි කරපු සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත මේවා කිසිදු බාදාවක් නැතුව ක්‍රියාත්මක වෙනවා. ICCPR පනතෙන් තමයි කෙටිකතාවක් ලිව්වා කියලා ශක්තික සත්කුමාර අත් අඩංගුවට ගත්තේ. ගුවන් විදුලි නාට්‍යයක් කරපු මාලක දේවප්‍රියට නඩු පැවරුවේ මේ පනතෙන්. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා සම්මත කලාට ICCPR පනත පාවිච්චි වුනේම කලාකරුවන්ගේ දේශපාලන අයිතිය උල්ලංඝනය කරන්න.

 

ජාත්‍යන්තර මානවහිමිකම් දිනය වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කරන්න ගිය 2011 – 12 – 10 වෙනිදා ලලිත් සහ කුගන් අතුරුදන් කලා.

මේ රාජ්‍යය මිනිසුන් අතුරුදන් කළා. ඒ අතුරුදන් කිරීම් වලට එරෙහිව හඬ නගපු අය අතුරුදන් කලා. ඒ අතුරුදන් කිරීම් වලට එරෙහිව තිබුණු සාක්ෂි අතුරුදන් කලා. අන්තිමට ඒ අතුරුදන් කිරීම් වලට එරෙහිව ගොණු කළ නඩු පවා අතුරුදන් කලා. එහෙම තත්වයක් ඇතුලේ තමයි අදටත් අපි ලලිත් – කුගන් අතුරුදන් කිරීමට එරෙහිව නඩුව අඛණ්ඩව පවත්වාගෙන යන්නේ. අදටත් මනුෂ්‍යත්වයට එරෙහී අපරාධ රැසකට වගකියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ අධිකරණයක් ඉදිරියට ගෙනල්ලා දඩුවම් දීම සඳහා ඉතුරු වෙලා තියන එකම නඩුව ලලිත් – කුගන් නඩුව. ඒක නිසා අපි හිතනවා ඒ නඩුව තීරණාත්මකයි. ලලිත් – කුගන් දෙන්නට අමතරව තව 52ක් ගේ නම් මේ නඩුවට ඇතුලත්.

 

මේ රාජ්‍යය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ අපරාධ අරහා. ව්‍යවස්ථා අධිකරණ නීතිය වගේ මායවන් ඉස්සරහට දාලා ඒ අපරාධ වහගෙන ඉන්නේ. වසර 54ක් ක්‍රියාත්මක වුණ සිරියාවේ ඒකාධිපති අසාද්ගේ පාලනය පසුගිය දවසෙ ජනතා අරගලයකින් අවසන් කලා. මාධ්‍ය වාර්තා අනුව කියන්නේ 2010 – 2024 කාලය තුළ විතරක් අසාද් පාලනයට විරුද්ධව සටන් කළ ලක්ෂ 6ක් ඝාතනය කරලා. මේක තමයි ජාත්‍යන්තර තත්වය. මානවහිමිකම් ගැන අපිට බණ දේශනා කරන යුරෝපානු රටවල්වල තත්වයත් ඒක.

එතකොට මේක ලංකාවේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි ජාත්‍යන්තර ප්‍රශ්නයක්.

 

අද ලංකාවේ බලයට පත්වෙලා ඉන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව. ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වය වන ජනතාවිමුක්ති පෙරමුණ ආරම්භක මොහොතේ ඉදලම සටන් කලේ මර්දනයට සහ මර්දන නීතියට එරෙහිව. දැන් ඔවුන්ට ඉතිහාසයේ පලමුවතාවට අවස්ථාවක් ඇවිල්ලා තියනවා අතුරුදන් කිරීම් පැහැරගැනීම් සහ ඝාතන වලට එරෙහිව යුක්තිය ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට දැන් අවස්ථාව තියනවා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහා ICCPR පනත වගේ මර්දන පනත් අහෝසි කරන්න. ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලයක් ජනතාව මේ ආණ්ඩුවට දීලා තියනවා. ජනතා විමුක්ති පෙරමුණ ඇත්තටම අවංකව නම් එදා මේ මර්දනයට විරුද්ධව හඬ නැගුවේ දැන් මේ එළඹිලා තියෙන්නේ ඉතිහාසයේ ඔවුන්ට ලැබුණු තීරණාත්මකම නිමේශයට. නමුත් අවාසනාවකට වගේ තවමත් අපිට පේන්නේ නෑ ආණ්ඩුව එවැනි උවමනාවකින් කටයුතු කරනවා.

 

ඡන්දෙට කලින් මේවා ගැන කතන්දර ගොඩක් ආණ්ඩුව කිව්වා. ප්‍රතිපත්ති ප්‍රකාශනවල ගොඩක් දේවල් ලියලා තිබුණා. ජනතාව ඔවුන්ට ඡන්දය දුන්නේ මේ අපරාධ රැල්ලට එරෙහිව යුක්තිය බලාපොරොත්තුවෙන්. ඒක නිසා මේ ප්‍රශ්නය මගහැර යන්න තවදුරටත් ජාතික ජන බලවේග ආණ්ඩුවට හැකියාවක් නෑ. “

leave a reply