‘රැඩිකල්’ කියන්නෙ  ‘වැඩිකල් නෑ’ කියන එකද?

‘රැඩිකල්’ යනුවෙන් දැන් සිංහල වචනයක් බවට පත්ව ඇති මෙහි නිරුක්තිය වන්නේ ‘මුල්’ යන අර්ථය ඇති (උදා: ශාකයක මුල්) ‘radix’ යන ලතින් වචනයයි. ඒ අනුව රැඩිකල් යනුවෙන් අදහස් වූයේ යමක් පරිපූර්ණ ලෙස, මුල සිට සිදු කරන්නට උත්සාහ කරනවා යන්නයි: රැඩිකල් වෙනසක් යනු සමාජයේ පරිපූර්ණ වෙනසකි, යමක් පවත්නා ආකාරය මුලින් උදුරා දමා යළි සකස් කිරීමකි. ‘රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය’ යනුවෙන් හඳුන්වන්නේ, නිදර්ශනයක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය මගින් යෝජනා කරනා ආකාරයේ සම්බන්ධතා සෑම සම්බන්ධතාවයක් වෙතම ගෙන ඒමයි. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය මගින් අපේක්ෂිත දෙය දැන් එය පවත්නා මැතිවරණ වලට සීමා වූ සීමිත අර්ථය ඉක්මවා පරිපූර්ණ ලෙස ස්ථාපිත කිරීමයි.

‘රැඩිකල් ක්‍රියාකාරිකයා’, ‘රැඩිකල් කවියා’ වැනි වචන වල අර්ථය සකස් වෙන්නේ ද මෙහි දිගුවක් ලෙසයි. රැඩිකල් ක්‍රියාකාරිකයා යනු පවත්නා ජීවන රටාව පරිපූර්ණ ලෙස වෙනස් කිරීමට උත්සාහ කරනා ක්‍රියාකාරිකයා යන්නයි. රැඩිකල් කවියා, රැඩිකල් සිනමාකරුවා වැනි යෙදුම් මගින් අදහස් කරන්නේ මේ ආකාරයේ වෙනසක් වෙනුවෙන් කලා මාධ්‍යය සමග අත්හදා බැලීම් කරනා අය යන්නයි.

‘රැඩිකල්’ සඳහා සුදුසු සිංහල පදයක් ලෙස ‘උඩුගං බලා’ යන අර්ථය ඇති ‘පටිසෝතගාමී’ යන පාලි වචනය සමහර දෙනෙක් යෝජනා කරන්නේ ද මෙම නිසයි (මෙය අසාර්ථක පරිවර්තනයකි – එයට වඩා ‘රැඩිකල්’ යන්න දැන් ස්වභාවිකකරණය වී ඇතැයි කියා සිතමි).

නමුත් ගැටලුව වන්නේ ‘රැඩිකල්’ යන්න සඳහා තිබෙන මේ සාමාන්‍ය අර්ථය අද දවසේ නැවතත් පරිවර්තනයකට ලක් වී තිබීමයි. අද වන විට එය එක්තරා ආකාරයක ‘ජීවන විලාසයක්’ සමග අනන්‍ය වී තිබෙනවා කියා කිව හැකිය. එය ඇඳුම පැළඳුම් වල සිට, කෑම බීම, සංස්කෘතික පුරුදු ආදිය ඇතුලත් එක්තරා ආකාරයක උප සංස්කෘතියකි.

එය පොදුවේ සමාජයේ ආධිපත්‍යධාරී වටිනාකම් වලට එරෙහි වුවත් එම වටිනාකම් වෙනස් කර එයට වඩා යහපත්, නව වටිනාකම් වෙනුවෙන් සටන් කරන්නේ නැත. වෙනත් ආකාරයකට කියන්නේනම් අද දවසේ රැඩිකල්වාදය ‘ප්‍රගතශීලී’ – නැතිනම්, වඩාත් නිවැරදි සමකාලීන අදහසකින් කියන්නේනම්, ‘අනාගතවාදී’ – වන්නේ නැත. ඒ වෙනුවට මේ සමාජ ක්‍රමය තුළ මේ රැඩිකල් මිනිසුන් සඳහා ද කුඩා ඉඩක් තිබේ. බොහෝ විට මෙය තිබෙන්නේ පුවත් පත් වල කලා අතිරේක වල, තරුණයන් වෙනුවෙන් වෙන් වූ අතිරේකයන් වැනි තැන් වලයි. රූපවාහිණි සහ ගුවන් විදුලියේ ද මෙවැනි වැඩසටහන් තිබේ. නමුත් ඒවායෙන් කිසිවක් වෙනස් වෙන්නේ නැත. ඉඳ හිට මේ රැඩිකල් අයගේ ක්‍රියාකාරිත්වයේ බලපෑම එයට අයත් කුඩා අවකාශ වලින් ඔබ්බට දැනිය හැකිය (චිත්‍රපටියක්, නවකතාවක් වැනි දෙයක ආන්දෝලනාත්මක කරුණක් ඇතුලත් වීම). නමුත් ඉන් පසුව පවත්නා පාලන තන්ත්‍රය සමග එය විසඳාගැනීම හැර වෙනත් විකල්පයක් මේ රැඩිකල් අය සඳහා ඉතිරි වන්නේ නැත.

මේ රැඩිකල් ක්‍රියාකාරීන් යනු, මේ අනුව, කිසි සේත් රැඩිකල් ක්‍රියාකාරීන් නොවේ. වෙනත් ආකාරයකට කියන්නේනම් මේ රැඩිකල් පුද්ගලයන් යනු පවත්නා ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් මහන්සි නොවනා අයයි. ඒ වෙනුවට ඔවුන් මේ ක්‍රමය තුළ නිශ්චිත ස්ථානයක් හිමි කරගෙන ඇති සමාජ ස්ථරයකි. එම අර්ථයෙන් අප හමුවේ ඇති අභියෝගය මෙසේ ලියා තැබිය හැකිය: මේ රැඩිකල් තරුණයන් රැඩිකල්කරණය කරන්නේ කෙසේද?

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...