Breaking News

ජවිපෙ බලහත්කාරයෙන් පෙරටුගාමී කාර්යාලයක් අත්පත් කරගැනීමට එරෙහි අධිකරණ නියෝගයක්

2025 සැප්තැම්බර් 2 දින ජනතා විමුක්‍ති පෙරමුණේ හා ජාතික ජන බලවේගයේ පිරිසක් යක්කල, කිරිඳිවැල පාරේ, සල්මල් උයනේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්‍යාලයට පහරදී එය බලහත්කාරයෙන් අත්පත් කර ගනු ලැබීමට අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කෙරිණි. මාස ගණනක නඩු විභාගයෙන් අනතුරුව අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා විනිශ්චයකාරතුමිය විසින් තීන්දුව ලබාදෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට උක්ත දේපළෙහි භුක්තිය හිමි බව සනාථ කර තිබේ.

2025 සැප්තැම්බර් 02 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික සාමාජිකාවන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීම අනීතික නිසා එම දේපළෙහි භුක්තිය නැවත වරක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා එහි අනුබද්ධ වෘත්තීය සමිති වලට බාරදෙන ලෙස අධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

මෙම කාර්යාල පරිශ්‍රය පහරදී අත්පත් කරගන්නා අවස්ථාවේ පොලීසිය නීතිය ක්‍රියාවේ යෙදවීමට හා සාමය ස්ථාපිත කිරීමටත් අසමත් වූ බව සහ පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබුණි. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත සහ එම පරිශ්‍රයේ ක්‍රියාත්මක වූ වෘත්තීය සමිති විසින් ප්‍රාථමික නඩුවිධාන පනතේ 66 වගන්තිය ප්‍රකාරව පුද්ගලික පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය. පැමිණිලිකරුවන් දස දෙනෙකු විසින් එකී ගොඩනැගිල්ලට අදාළ භුක්තිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සහ එහි අනුබද්ධ වෘත්තීය සමිති වලට තහවුරු කරන නියෝගයක් ඉල්ලා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කරන ලද පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.

එහි වගඋත්තරකරුවන් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඇතුළු 20 දෙනෙකි. ඒ අනුව මුලින්ම අධිකරණය එම දේපළෙහි භාරකාරත්වය පොලීසියට තාවකාලිකව පවරා, ජවිපෙ සාමාජිකයන් එයින් ඉවත් කරන අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබුණි. මාස ගණනක නඩු විභාගයෙන් අනතුරුව අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා විනිශ්චයකාරතුමිය විසින් තීන්දුව ලබාදෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට උක්ත දේපළෙහි භුක්තිය හිමි බව සනාථ කර ඇත. මේ අනුව එම දේපළෙහි භුක්තිය නැවත වරක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා එහි අනුබද්ධ වෘත්තීය සමිති වලට බාරදෙන ලෙස අධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කර ඇත.

යක්කල කාර්යාලය ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බලහත්කාරයෙන් යක්කල කාර්යාලය අත්පත් කරගැනීමට විරෝධය දැක්වූ බොහෝ පිරිසකගේ අදහස වූවේ බලය ලබාගැනීමෙන් පසු ආණ්ඩුව බලය අයුතු ලෙස යොදාගනිමින් තම ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් මර්දනය කරමින් සිටින බවයි. එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අදහස වූවේ මෙම දේපොළ සම්බන්ධ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් පවතියි නම් එය අධිකරණය හරහා විසඳාගත හැකිව තිබියදී මෙලෙස බලහත්කාරය පාමින් එය අත්පත් කරගැනීම ප්‍රශ්න සහගත බවයි.

leave a reply