පසුගිය ජුනි 24 වැනිදා සිදු වූ ද්විත්ව භූමිකම්පාවෙන් පසු හදිසි සහන සේවා කටයුතු සඳහා සහාය වීම පිණිස සෙවුම් සුනඛයන් ද ඇතුළත් කියුබානු මුදාගැනීමේ විශේෂඥ බලකායක් ඊයේ (28) ඉරිදා වෙනිසියුලාවට පැමිණි බව teleSUR (La Nueva Televisión del Sur) වාර්තා කරයි.
කියුබාවේ සිට පැමිණි මෙම විශේෂඥ මුදාගැනීමේ බලකායේ පළමු කණ්ඩායම ජුනි 26 වැනිදා කැරකස් (Caracas) ආසන්නයේ පිහිටි මයිකෙටියා (Maiquetía) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟාවූ බව එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.
පසුගිය බදාදා (24) උතුරු වෙනිසියුලාවට බලපෑ රික්ටර් මාපක 7.2 ක සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා හේතුවෙන් අඩාල වූ සෙවුම් සහ මුදාගැනීමේ කටයුතු සඳහා සහාය වීම මෙම කියුබානු ජාත්‍යන්තර දූත පිරිසේ අරමුණයි.
භූ කම්පනය හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලි සහ කොන්ක්‍රීට් සුන්බුන් අතර සිරවී සිටින දිවි ගලවා ගත් අය සොයා ගැනීම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද මුදාගැනීමේ සුනඛයන් තිදෙනෙකු ද මෙම කියුබානු දූත පිරිස සමඟ පැමිණ තිබේ. ඔවුන් දිවයිනට පැමිණි අවස්ථාවේදී වෙනිසියුලානු ලතින් ඇමරිකානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මුරුසියෝ රොඩ්‍රිගස්, කැරකස් හි කියුබානු තානාපති ජෝර්ජ් මායෝ ෆර්නැන්ඩස් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.
මෙම කණ්ඩායම වහාම විනාශයේ සහ හදිසි මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලා ගුවයිරා (La Guaira) වෙරළබඩ ප්‍රාන්තය වෙත යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කියුබානු මුදාගැනීමේ නිලධාරීන් වෙනිසියුලානු සිවිල් ආරක්ෂක බලකාය, ගිනි නිවන දෙපාර්තමේන්තුව සහ බොලිවේරියානු ජාතික සන්නද්ධ බලකාය (FANB) සමඟ සෘජුවම ඒකාබද්ධ වනු ඇත. මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් ප්‍රාදේශීය භූමි ප්‍රදේශය පිළිබඳ දැනුම සහ ජාත්‍යන්තර විශේෂඥ මුදාගැනීමේ ශිල්පීය ක්‍රම එකට එකතු කරන අතර, ඉදිරි පැය කිහිපය තුළ සුන්බුන් අතරින් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ හැකියාව උපරිම කිරීමට බලාපොරොත්තු වේ.
සෙවුම් ඒකකවලට අමතරව, කියුබාව වෙනිසියුලාව තුළ සිටින තම ස්ථිර වෛද්‍ය කණ්ඩායම්වල ශක්තිය ද වැඩි කර ඇත. කියුබානු මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කළේ, දැනටමත් වෙනිසියුලාවේ ක්‍රියාකාරීව සිටින කියුබානු වෛද්‍ය දූත පිරිසට අයත් වෛද්‍යවරුන් සහ හෙදියන් මෙම හදිසි අවස්ථාව මතු වූ පළමු පැයේ සිටම ක්‍රියාත්මක වෙමින් සිටින බවයි. මෙම සෞඛ්‍ය වෘත්තිකයෝ මේ වන විට තුවාල ලැබූ පුරවැසියන්ට ප්‍රතිකාර කිරීම, ක්ෂේත්‍ර රෝහල් පිහිටුවීම සහ වඩාත්ම පීඩාවට පත් නගර සභා ප්‍රදේශවල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සේවා සැපයීම සිදු කරමින් සිටියි.
අමෙරිකා එක්සත් ජනපදය විසින් ආර්ථික සම්භාධක දැඩි කිරීම හමුවේ කියුබානු ජන ජීවිතය දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටියි. විශේෂයෙන් එරට බලශක්තිය විශාල හිඟයක් ඇතිව තිබේ. එසේ තිබියදී සිය මිතුරු වෙනිසියුලාව වෙනුවෙන් කියුබාව කරන ලබන මෙම මැදිහත්වීම විශිෂ්ට කටයුත්තකි.






