ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වසර දෙකකින් (02) ඉහළ නැංවීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියි.
මෙමඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු බලපෑම් එල්ල විය හැකි බවට විවේචන මතුව තිබේ.
යෝජිත සංශෝධන අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වත්මන් 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ වයස 63 සිට 65 දක්වාත් ඉහළ යනු ඇත. (දැනට මහාධිකරණ විනිසුරුවන් 61න් ද, දිස්ත්‍රික් විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන් 60න් ද විශ්‍රාම ගනිති). අධිකරණයේ ඉහළම තනතුරු සඳහා වන වයස් සීමාවන් සංශෝධනය කිරීම, සමස්ත නීති පද්ධතියේම උසස්වීම් සහ ස්වාධීනත්වයට බලපාන සංවේදී කරුණක් බැවින් මේ කෙරෙහි දේශීය මෙන්ම ජාත්‍යන්තර අවධානය දැඩිව යොමුව ඇත.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ නුවන් බෝපගේ පළකර ඇති අදහසක් පහත දැක්වේ.
ව්‍යවස්ථාදායකය, විධායකය හෝ අධිකරණ ධූරවල කාලසීමාවන් හෝ විශ්‍රාම වයස දීර්ඝ කිරීම කියන එක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හා සෘජුව බැඳුණු තීරණයක්. විශේෂයෙන්ම ජනතාවගෙන් එබඳු ඉල්ලීමක් නොමැති තත්ත්වයන් තුළ එබඳු වෙනස්කම් සිදුකිරීම අනාගතයේ බරපතළ විපාක ගෙන දීමක්ද විය හැකියි.
අධිකරණ ධුරාවලිය තුළ නිශ්චිත විශ්‍රාම වයසක් පවතින අතර කොතරම් දක්ෂ අවංක යුක්ති සහගත මිනිසුරුතුමකු වුවද නිසි වයස් සීමාවෙන් පසුව සිය ධූරයෙන් බැස යාම විධිමත් සම්මතයක් ලෙස හැමදාම පැවතුණා. එය වෙනස් කිරීම සඳහා විධායකයට බලපෑම් එල්ලවන ආකාරයේ කිසිදු තෙරපුමක් සමාජයෙන් මේ දක්වා තිබී නැහැ.
රාජපක්ෂ සමයේ දෝශාභියෝගය වැනි අධිකරණයට සෘජුව බලපෑම් කිරීම් සිදුවුණු අතර මෙබඳු හදිසි තීරණයක් විධායකය මේ මොහොතේ ගන්නේ නම් එය අධිකරණයට ඒ ආකාරයෙන්ම අන්‍යාකාරයෙන් බලපෑම් එල්ල කරන තීරණයක් බව පැහැදිලියි.
විශේෂයෙන්ම උපරිමාධිකරණවල යුක්තිය සම්බන්ධයෙන් කාරණය පිළිබඳව සංවාදයක් සමාජයේ ගොඩනැගෙමින් තිබෙන මොහොතක මෙ බඳු තීරණ ගැන පුවත් නිර්මාණය වීම ගැටලු සහගත සහ පුදුම සහගත ය






