එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන්ගේ ඉන්දු-පැසිෆික් උපාය මාර්ගයේ හවුල්කරුවෙකු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ප්‍රකාශය මෙම සතියේ මුලදී කොළඹ වරායේ දී, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට අයත්ව තිබූ SLNS Gajabahu නෞකාවේදී සිදුකර තිබේ.
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් පෝල් කපූර් ජුනි 22 වන දින සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් පවසන්නේ : “අද අපි අපගේ ඉන්දු-පැසිෆික් හවුල්කරු වන ශ්‍රී ලංකා නාවික හමුදාවට එක්සත් ජනපද චන්ද්‍රිකා සන්නිවේදන තාක්‍ෂණය ලබා දෙන බව නිවේදනය කළෙමු. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා පරිවර්තනීය වැඩිදියුණු කිරීමක් නියෝජනය කරන මෙම ආරක්ෂිත, තත්‍ය කාලීන සම්බන්ධතාවය ඔවුන්ගේ මුළු අක්වෙරළ මුර සංචාර යාත්‍රා සමූහය තුළම ලබා ගත හැකි අතර මුහුදේ සන්නිවේදන පරතරයක් නොමැති බව සහතික කරයි. එය අපගේ ශ්‍රී ලංකා හවුල්කරුවන්ට හදිසි අවස්ථාවන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට, අපගේ ආර්ථිකයට ඉන්ධන සපයන භාණ්ඩ නැව් ආරක්ෂා කිරීමට සහ අපගේ වෙරළට ළඟා වීමට පෙර ඉන්දියානු සාගරය හරහා නීති විරෝධී ක්‍රියාකාරකම් කඩාකප්පල් කිරීමට ඉඩ සලසයි.”
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබුණි.
මෙම යානා මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමු පුහුණු ධාරිතාව සහ ගුවන් මෙහෙයුම් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම TH-57 බළඇණිය මගින් ආපදා සහන සේවා, සෙවීම් සහ මුදාගැනීම් මෙන්ම හදිසි මහජන සේවා කටයුතු සඳහා ද විශාල සහායක් හිමි වේ. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ගුවන් කාර්ය මණ්ඩල පුහුණු කිරීමද මෙමඟින් සිදු කෙරෙන අතර, එය ගෝලීය සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බව රජය පවසා තිබුණි.
නමුත් දැන් පෙනෙන්නට තිබෙන්නේ මෙම පරිත්‍යාග සහ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය වෙනත් අරමුණකින් කරන ලද්දක් බවයි. ආණ්ඩුව ජනතාවට කොලේ වසමින් ඇමරිකාව සමඟ විවිධ ගිවිසුම් සමඟ එළඹීම ඉතා අහිතකර තත්ත්වයකි. අප කලක් තිස්සේ ගෝලීය බල අරගලය සම්බන්ධ ප්‍රශ්නයේදී නොබැඳි පිළිවෙතක් අනුගමනය කළ යුතු බවට පොදු මතයක් තිබේ. මෙවැනි තීරණ සඳහා එය කඩවීමක් සිදුවේ. එසේම අපේ රට එක් ලෝක බලාගටුමේ එක් පාර්ශවයක පැත්ත ගැනීම හරහා ලෝක යුද්ධයක් වැනි අවස්ථාවක අපේ රටේ ජනතාවට එය අහිතකර බලපෑමට නියමිතව තිබේ.
The Island පළවූ පුවතක් ඇසුරිනි






