Breaking News

කසළ ප්‍රශ්නය කොළඹ නගර සභාවට තනිවම විසඳන්න බැරිලු

කසළ එකතු කිරීමේ ගැටලුව විසඳීම කොළඹ මහ නගර සභාවට (CMC) තනිවම කළ හැකි දෙයක් නොවන බව කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය වන රායි කැලි බල්තසාර් පැවසීම සම්බන්ධව බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.

තම facebook පිටුවේ සටහනක් තබමින් ඇය මේ බව පවසා තිබේ. ඇය පවසන්නේ හිස් ඉඩම් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අනවසර කසළ බැහැර කිරීම් සිදුවන බව සහ ජනතාව කසළ නිසි ලෙස වෙන් නොකිරීමද ගැටලුවක් බවයි. ජනවාරි මාසයේ අවසානයේ සිට කොළඹ කසළ භාරදෙන Waste-to-Energy බලාගාරය වරින් වර අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීම නිසා කසළ එකතු කිරීමේ සහ බැහැර කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් ඇය සඳහන් කරයි.

මෙහිදී එම facebook සටහනට ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනෙක් ප්‍රශ්න කර තිබෙන්නේ දැන් ආණ්ඩුවට වැඩ නොකර සිටීමට හේතු ඉදිරිපත් කිරීම පමණක් සිදුකරන බවයි.

මේ දිනවල කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසක ඩෙංගු ව්‍යාප්තිය වසංගතයක් ලෙස පැතිරෙමින් පවතියි. එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ නගරවල කානු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, අක්‍රමවත් කසළ බැහැර කිරීම වැනි හේතුයි. නමුත් මේ හේතුවලට විසදුම් ලබාදීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවටද නොහැකි වී තිබේ. ආණ්ඩුව මේ නොහැකියාව පෙන්නමින් සිටින්නේ විශාල ප්‍රචාරයක් ලබාදෙමින් ‘ ක්ලීන් ශ්‍රී ලංකා’ නම් ජනාධිපති කාර්ය සාධන බලකායක් ද ආරම්භ කර තිබියදීයි.

කොළඹ නගර සභාවේ නගරාධිපතිනිය බෙදාගත් facebook සටහන පහත දැක්වේ.

අපේ නගරයේ කසළ ගැටලුවක් තිබේද? ඔව්, තිබෙනවා.
නමුත් එය කොළඹ මහ නගර සභාවට පමණක් විසඳිය හැකි ගැටලුවක් නොවේ. පිරිසිදු නගරයක් ගොඩනැගීමට සියලු ආයතනවලත්, ජනතාවගේත් එකමුතු සහයෝගය අවශ්‍යයි.
ඊයේ දින නාගරික සංවර්ධන අධිකාරිය (UDA), ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA), ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව (SLLDC), ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka, දුම්රිය දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (WMA), පරිසර පොලිසිය ඇතුළු ආයතන රැසක් සමඟ එක්ව නගරයේ කසළ කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවෙමු.
කසළ එකතු කිරීම නගර සභාව විසින් ඉටුකරන සේවාවක් වුවද, රජයේ සහ අනෙකුත් ආයතන සතු හිස් ඉඩම් පිරිසිදුව පවත්වා ගැනීමද ඉතා වැදගත්ය. එවැනි ඉඩම් බොහෝ විට අනවසර කසළ බැහැර කිරීමේ ස්ථාන බවට පත්වන බැවින්, ඒවා නඩත්තු කිරීම සියලු දෙනාගේ වගකීමකි.
එමෙන්ම, ජනවාරි මාසයේ අවසානයේ සිට අප කසළ භාරදෙන Waste-to-Energy බලාගාරය වරින් වර අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් වසා දැමීම නිසා කසළ එකතු කිරීමේ සහ බැහැර කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.
එසේ වුවද, අපගේ කණ්ඩායම් නගරය පිරිසිදුව තබා ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටී.
තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ කසළ නිසි ලෙස වෙන් නොකිරීමයි. අපට භාරගත හැක්කේ නිසි ලෙස වෙන් කළ කසළ පමණක් වන අතර, බොහෝ අවස්ථාවල අප වෙත ලැබෙන්නේ මිශ්‍ර කසළයි. එබැවින් නිවෙස් මට්ටමින් කසළ නිසි ලෙස වෙන් කිරීම අප සැමගේ වගකීමකි.
මෙම සාකච්ඡාවේදී සියලු ආයතන එක්ව අනවසර කසළ බැහැර කිරීම වැළැක්වීම, පොදු ඉඩම් පිරිසිදුව පවත්වා ගැනීම සහ නගරය වඩාත් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න තැනක් බවට පත් කිරීම සඳහා ක්‍රියාකාරී ඉලක්කවලට එකඟ විය.
පිරිසිදු කොළඹක් ගොඩනඟන්න අප සැමගේ සහයෝගය අවශ්‍යයි.

leave a reply