Breaking News

ශ්‍රී ලංකා රජය හා සිංහල ජාතිවාදීන් දෙමළ ජනයාගේ මතකය මකා දමන්නට තවමත් වෑයම් කරනවා…

දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති හතරක් රේගුව රඳවා ගැනීමෙන් පසුව ඇතිවුණු විරෝධය සමනය කරගැනීම සඳහා ආණ්ඩුව කළේ විවිධ හේතු පාට ඉදිරිපත් කරමින් පොත් දෙකක් නිදහස් කිරීමයි . රඳවා තබාගෙන ඇති කෘති දෙක පිළිබඳව ඔවුන් කියන්නේ ඒවා ඔහුගේ සෘජු අදහස් ප්‍රකාශන නිසා සමාජගත කිරීමට හැකියාවක් නොමැති බවයි . අප දන්නා තරමට මේ කෘති දෙක තුළ සමාජය නොදත් අමුතු දෙයක් නොමැත . එහි ඇත්තේ රඳවා තබාගෙන ඇති කෘති දෙක මුද්‍රණය කරන්නට ප්‍රථම ප්‍රසිද්ධ මාධ්‍ය තුළ පළ වූ ලිපි සහ සම්මුඛ සාකච්ඡාවන්ය .

ඉතින් මේ මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් යම් කරුණු විමසීමක් කරන්න විවර අපි කල්පනා කළා . නිතරම ඇසෙන කතා කරන පොදුවේ ජනප්‍රිය ප්‍රශ්න ගැටළු වෙනුවට අප තෝරා ගන්නේ යම් දේශපාලන බරක් සහිත ප්‍රශ්න කිහිපයක් දීපචෙල්වන් ප්‍රදීපන් වෙත යොමු කර පිළිතුරු ලබා ගැනීමටයි.

  • දීපචෙල්වන්, ඔබ රාජ්‍ය වාරණයට ලක් වූ පළමු පුද්ගලයා නොවේ. මෑත ඉතිහාසය දෙස බලන විට ජෙයපාලන් නම් සාහිත්‍යවේදියා අප ඉදිරියේ පැහැදිලිව පෙනී සිටියි. සිංහල සමාජය පවා ගැඹුරින් කම්පා කළ ආකාරයෙන් වාරණයටත් මර්දනයටත් ලක් වූ දෙමළ සමාජය නියෝජනය කළ සාහිත්‍යමය චරිතයක් ඔහු. ඔහුගෙන් ඔබ දක්වා පැමිණි මෙම වාරණ දාමය කෙසේ සම්බන්ධ වී පැමිණියේදැයි පැහැදිලි කළ හැකිද?

අතීතයේ බොහෝ නිර්මාණකරුවන් මෙලෙස සෘජුවත් වක්‍රවත්වත් වාරණයට මුහුණ දී තිබෙනවා. මාධ්‍ය හරහා අප දැනගත් වාරණයන්ට වඩා තමන්වම නිහඬ කරගත් බොහෝ දෙනෙකු මම දනිමි. ඉන්දියාවෙන් පැමිණි තමන්ගේ කාව්‍ය ග්‍රන්ථය සම්බන්ධයෙන් විමසීමට රේගුවටත් බුද්ධි අංශයටත් කැඳවනු ලැබූ මුස්ලිම් කාන්තා කිවිදියක් එදායින් පසු කවි ලිවීමම නතර කළා.

වාරණය කියන්නේ ලේඛකයෙකු ඝාතනය කිරීමට සමාන මර්දනයක්. 2009 ජන සංහාරයෙන් පසු තම කවි හා කතා නැවත නොලියූ බොහෝ නිර්මාණකරුවන් උතුරු නැගෙනහිර සිටිනවා. ජෙයපාලන් තම නිර්මාණ හරහා සිංහල හා මුස්ලිම් ජනතාව සමඟ සංවාද කළ පුද්ගලයෙක්. අද මගේ බොහෝ නිර්මාණ සිංහලයටත් පරිවර්තනය වෙමින් පවතිනවා. මේ පසුබිම තුළයි මෙම වාරණය සිදුවී තිබෙන්නේ. මෙම වාරණය කියන්නේ දෙමළ ලේඛකයන් සිංහල ජනතාව සමඟ කතා නොකළ යුතු බවට පනවන විශාලතම බාධකයක් ලෙසයි මම සලකන්නේ.

  • රජය විසින් රඳවා තබා ඇති ඔබගේ පොත් නිදහස් කළ යුතුයැයි නැඟුණු හඬ අද බොහෝ අඩුවී තිබෙනවා. පොත් දෙකක් නිදහස් කළාම එම හඬ මැකී යාමට හේතුවක් වුණා විය හැකියි කියලා අපි හිතනවා. ඇත්තටම දැන් ඉතිරි පොත් දෙක ගැන ඔවුන් කියන්නේ මොනවාද?

මගේ පොත් ගැටලුව මතු වූ විට සිංහල නිර්මාණකරුවන්, තරුණයන්, ක්‍රියාකාරීන් විශාල වශයෙන් හඬ නැඟුවා. මම ඉතාමත් මානසිකව කඩා වැටී සිටි අවස්ථාවක ඔවුන්ගේ සහයෝගය මට ලොකු බලාපොරොත්තුවක් ලබාදුන්නා. නමුත් ටික කලකින් මේ හඬ මැකී යන බව රජය දන්නවා. ඒක ස්වභාවික දෙයක්. පොත් දෙකක් නිදහස් කළාට පසුවත් ඉතිරි පොත් නිදහස් කළ යුතුයි කියලා බොහෝ දෙනා කතා කළා.

අප්‍රේල් 30 වනදා මාතර හක්මන පැවති සාහිත්‍ය උළෙලේදීත් පොත් තහනම විශාල කතාබහක් වුණා. මැයි 23 කොළඹ පැවති “මුල්ලිවෛක්කාල් මතකයන් ඊළඟ පරපුරට” කියන අනුස්මරණ සංවාදයේදීත් මේ ගැන කතා වුණා. ඉතිරි පොත් දෙක නිදහස් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඇඟිල්ල දිගු කරනවා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ තමන්ට මේ ගැන සම්බන්ධයක් නැහැ කියලා.

මගේ පොත් නිදහස් කරන්න කියා ඉල්ලීමක් කර මම අප්‍රේල් 24 වෙනිදා ජනාධිපතිතුමාටත් ලිපියක් යොමු කළා.එය යවා මාසකට වැඩි කලක් ගත වුනත් මට මේ දක්වා එය ලද බව දන්වා වත් පිළිතුරක් එවා නැහැ.

එහෙත් මං තාමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මගේ පොත් ඉක්මණින් නිදහස් කරාවි කියා.

ජනාධිපතිවරයා මෑතකදී දකුණු ඉංදියාවේ “කම්බන්” සාහිත්‍යය උළෙලට සහභාගි වී දෙමළ කවියන්ට තව තවත් ප්‍රභල කවි ලියන්න කියා.

  • ඔබ මේ පොත් ශ්‍රී ලංකාවේම මුද්‍රණය කර තිබුණා නම් මෙවැනි වාරණයකට ලක් නොවී සිටීමට ඉඩ තිබුණා විය හැකියි. ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන් ඉන්දියාවේ පොත් මුද්‍රණය කිරීමට පෙළඹෙන්නේ ඇයි ?

යුද්ධය දැඩිව පැවති කාලයේ මගේ පළමු කෘතිය ඉන්දියාවේ ප්‍රකාශයට පත් වුණා. මගේ සියලුම පොත් එහිම ප්‍රකාශයට පත් වුණා. ශ්‍රී ලංකාවේ දෙමළ පොත් මුද්‍රණයට තර්ජන තිබීමත්, අඩු වියදමින් ගුණාත්මක මුද්‍රණයක් ලබාගත හැකි වීමත්, බොහෝ දෙමළ පාඨකයන් එහි සිටීමත්, එතැනින් ලෝකයේ වෙනත් රටවලට පහසුවෙන් පොත් යැවිය හැකි වීමත් නිසා බොහෝ දෙනා එහි ප්‍රකාශනය කරනවා. “මෙහි මුද්‍රණය කළා නම් අපි තහනම් කරන්නේ නැහැ” කියලා රේගු නිලධාරීන් පවා මට කිව්වා. මට ඒක තේරෙන්නේ නැහැ. මෙහි මුද්‍රණය කරන පොත ඕනෑම ආකාරයකින් තිබිය හැකිද? හිටපු හමුදා නිලධාරීන් අපේ නායකයාගේ සහ සටන්කාමීන්ගේ හා සංවිධානයේ සංකේත පොත්වල භාවිත කරන්නේ ඒ නිසාද? නමුත් අපි සාමාන්‍ය ජනතාවගේ පැත්තේ සිට යුද්ධයේ මතකයන් පිළිබද කතා කළාම ඒක රටේ ඒකීයභාවයට තර්ජනයක් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි මට තියෙන්නේ.

  • ඉහත ප්‍රශ්නයට සම්බන්ධ කරලා බැලුවොත් — මට දැනෙන විදිහට, ශ්‍රී ලංකාවේ මුද්‍රණය කරන ලද පොත් ඉන්දියානු වෙළඳපොළට ගෙන යාමට නීතිමය බාධා තිබෙන නිසා තමයි දෙමළ ලේඛකයන් ඉන්දියාවේ මුද්‍රණය කරන්නේ. ගැටලුව එහෙම නම්, එය දේශපාලනිකව හා පරිපාලනිකව විසඳීමට ලේඛකයන් එකතුවෙලා රජයට බලපෑම් කළ යුතු නැද්ද? ඒ සඳහා උත්සාහයන් සිදු නොවන්නේ ඇයි?

මෙහි සිට සීමිත ප්‍රමාණයකින් පොත් තමිල්නාඩුවට යනවා. නමුත් වැඩි වශයෙන් පොත් ආනයනය වන්නේ එතැනින්. මේක අද ඊයේ සිට නොවෙයි, බොහෝ කාලයක සිට සිදුවෙන දෙයක්. ශ්‍රී ලංකා – දකුණු ඉංදියානු තමිල්නාඩු සාහිත්‍ය සබඳතාවට අවුරුදු දෙදහසක ඉතිහාසයක් තිබෙනවා.

මෙවරත් මගේ පොත් ගැටලුවේදී, මෙය දෙමළ ලේඛකයන් මුහුණ දෙන පොදු ගැටලුවක් ලෙසයි හඬ නැඟුණේ. නමුත් එය විසඳීමේදී වත්මන් ආණ්ඩුවත් “පැරණි නීති අපට උල්ලංඝනය කළ නොහැක” කියලා අත් ඔසවා තිබෙනවා.

  • සිංහල ලේඛක සමාජය තුළත් වාරණයට එරෙහි හඬ වරින් වර මතු වෙනවා. ඔබ නියෝජනය කරන දෙමළ සමාජය තුළත්, ලේඛක සංවිධාන අතරත්, මේ මර්දනයට එරෙහි සටනක් තිබෙනවාද?

පිළිතුර..ශ්‍රී ලංකා රජය අතීතයේ දෙමළ ලේඛකයන් සහ මාධ්‍යවේදීන් මත ක්‍රියාත්මක කළ මර්දනත්, ජනවාර්ගික යුද්ධය නිසා නිහඬ වූ බොහෝ ලේඛකයන් ගැනත් මම කිව්වා නේද? මම භයානක කරුණු ගැන ලියනවා කියලා බොහෝ දෙමළ ලේඛකයන් හිතනවා. මගේ පොත් එළිදැක්වීම්වලදී කතා කරන්නත් ඔවුන් බය වෙනවා. නමුත් මගේ පොත්වලට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ලෝකයේ වෙනත් රටවල විශාල පාඨක පිරිසක් ඉන්නවා. මම නිහඬ කරනු ලැබූ අපේ ජනතාවගේ කතා සහ හඬ ගැන කතා කිරීමට උත්සාහ කරනවා. ඒක භයානක ගමනක් බවත් මම දන්නවා. මෙවැනි මර්දන එන බවත් දන්නවා. එහෙත් මේ අර්බුදයේදී ශ්‍රී ලංකාවෙන් සහ විදේශයන්ගෙන් බොහෝ දෙමළ ලේඛකයන් හඬ නැඟුවා. සමහර සංවිධාන කිලිනොච්චියෙත් යාපනයෙත් විරෝධතා සංවිධානය කළා. විදේශයන්ගෙන් දේශපාලන ව්‍යාපාරත්, විදේශීය නිර්මාණකරුවොත් හඬ නැඟුවා.

  • ඔබ නියෝජනය කරන ජනතාව, වර්තමාන ආණ්ඩුව පිහිටුවීමේදී විශාල බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් පළ කළා. බලාපොරොත්තු බිඳවැටීමකින් තොරව ඔවුන් සැබෑ “ශ්‍රී ලාංකික ජාතිකත්වයක්” ගොඩනඟයි කියන විශ්වාසය මුළු ශ්‍රී ලංකා ජනතාව අතරම තිබුණා කියලා අපට හිතුණා. මේ විශ්වාසය පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

ඒ විශ්වාසය දැන් දෙමළ ජනතාවට අහිමි වෙලා. ජනාධිපති අනුර කුමාර මැතිවරණ ප්‍රචාරක කාලයේ උතුරට ඇවිත් කතා කරන වෙලාවේ, අතුරුදන් වූ දරුවෙකු වෙනුවෙන් මවක් කොහොම කඳුළු සමඟ බලා සිටිනවාද කියලා කතා කළා. නමුත් බලයට ආවට පස්සේ, පසුගිය ආණ්ඩු දෙමළ ජනතාවගේ ප්‍රශ්න හසුරුවපු ආකාරයටම මේ ආණ්ඩුවත් හසුරුවනවා. කාලයක් තිස්සේ ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් විශ්වාස කරලා නැවත නැවතත් රැවටීම තමයි අපේ ඉතිහාසය. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වූ විට අපට නිදහසක් ලැබේවි කියලා 90 දශකයේ කුඩා දරුවෙක් විදිහට මම විශ්වාස කළා. නමුත් ඊට පස්සේ යුද්ධයේ දරුණු අත්දැකීම් මගේ කුඩා වයසේදීම මුහුණ දෙන්න සිදු වුණා. කාලය වෙනස් වුණත්, ආණ්ඩු වෙනස් වුණත්, ඒ රැවටීම තවමත් දිගටම සිදුවෙනවා.

  • අපි සාකච්ඡා කළ කරුණු වලට අමතරව, ඔබ විශේෂයෙන් කියන්න කැමති වෙනත් කරුණක් තිබේ නම් ඒ සඳහා අවස්ථාව ඔබට ලබා දෙනවා.

මේ පොත් ගැටලුව සම්බන්ධයෙන්ම මගේ බලාපොරොත්තුව කියන්න කැමතියි. අපි යුද්ධයේ මතකයන් ගැන කතා කරන්නේත්, අපේ නිදහස් අරගලයේ අත්දැකීම් ගැන කතා කරන්නේත් සාමය, විසඳුම සහ පාඩම් සඳහා පමණයි.

නැවත වෙනම රටක් ඉල්ලා සටන් කිරීමටවත්, නැවත සංවිධානයක් ගොඩනැගීමටවත් නොවෙයි. අපි අමතක කළත් ශ්‍රී ලංකා රජයත් ජාතිවාදීනුත් “දෙමළ ඊලම් දේශය..“தமிழீழம்” මතක් කරනවා. නැවත නැවතත් අපව ” ඊලම් දේශය”தமிழீழம் සමඟ සම්බන්ධ කරලා දේශපාලනය කරනවා.

ඒ හරහා රජයත් සිංහල ජාතිවාදීනුත් අපේ කතා විකෘති කරන්න උත්සාහ කරනවා. අපේ මතකයන් මකා දමන්න උත්සාහ කරනවා. අපේ භූමියේ විනාශ කළ දේවල මතකය පවා මකා දැමීමට උත්සාහ කිරීම මොනතරම් මර්දනයක්ද? රජයත් ජාතිවාදීනුත් අපේ මතකයන්ට බිය විය හැකියි. නමුත් මතකය කියන්නේ අපේ තුවාල සුව කරන ඖෂධය. මහා ජන සංහාරයත්, අරගලයේ ගමන් මඟත් ඉතිරි කර ඇති ඒ මතකයන් හරහාම අපි ජීවිතයේ මහත් ආශාවෙන් නැවත නැඟී සිටිනවා

එමෙන්ම මෙම සාකච්ඡාව සඳහා මැදිහත් භූමිකාව කරමින් කටයුතු කළ තිලිනා වීරසිංහ සහෝදරියට විවර වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා .

හිල්මි සුපුන්
තිලිනා වීරසිංහ

leave a reply