Breaking News

අස්වැසුම ගෙවීමේදීත් වැරදිලා

අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට අප්‍රේල් මාසයට අදාළ දීමනාව දෙවරක් ගෙවා ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පිළිගෙන තිබේ.

එම අමාත්‍යංශයේ ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදරගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත වීමෙන්’ මෙම දෝෂය සිදුවී ඇති බව ය.

‘සේවයේ අවශ්‍යතාව මත තොරතුරු තාක්ෂණ අංශය සහ මූල්‍ය අංශය ඉතාමත් කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කරන ලදී. එය slip ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කරනු ලැබී ය. එහිදී අතපසුවීමකින් slip file එකක් දෙවරක් උඩුගත (upload) වී ඇත. එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්විත්ව ගෙවීමක් සිදුවී ඇති බව අනාවරණය වූ අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ද්විත්ව ගෙවීම slip file සඳහා අදාළ ගෙවීම් අත්හිටුවා එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට ආපසු බැර කරන ලෙස බැංකුව වෙත දන්වන ලදී. අප්‍රේල් ද්විත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබා ගැනීම හේතුවෙන් අය කර ගැනීමට නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795, 000ක මුදල් 2026 මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අය කර ගැනීමට කටයුතු සැලසුම් කර ඇත,’ යනුවෙන් අදාළ නිවේදනයේ දැක්වේ.

එම මණ්ඩලයේ අදහස වන්නේ එම මුදල් නැවත අයකර ගත හැකි බවයි.

උත්සවය සමය සලකා අප්‍රේල් මස අස්වැසුම දීමනාව රජය විසින් ඉහළ දමනු ලැබූ අතර ඒ අනුව රුපියල් 17500 අස්වැසුම් මුදල රුපියල් 7500කින් ඉහළ දමනු ලැබූ අතර එම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේ දී රුපියල් 25000ක් ගෙවනු ලැබී ය.

ඊට අමතරව රුපියල් 10000 අස්වැසුම් මුදල රුපියල් 5000කින් ඉහළ දමා රුපියල් 15000ක් ‍ලෙසත් රුපියල් 5000 අස්වැසුම් මුදල රුපියල් 2500කින් ඉහළ දමා රුපියල් 7500ක් ‍ලෙස වැඩි කර අප්‍රේල් මාසයට පමණක් ප්‍රතිලාභ ගෙවනු ලැබී ය.

අප්‍රේල් මාසයට පමණක් ගෙවනු ලබන එම දීමනාව ගෙවීමට රජය රුපියල් මිලියන 8500ක අතිරේක මුදලක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබිණි.

රී ලංකාව ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 2කට වැඩි මුදලක් වෙනත් පාර්ශවයකට ගෙවීම පිළිබඳව අනාවරණයෙන් වීමෙන් පසුව රජය විසින් මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා කිහිපයක් ම අනාවරණය විය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගිය දිනක මාධ්‍ය වෙත කියා සිටියේ තැපැල් දෙපාර්තුමේන්තුව ද එලෙස ඇමෙරිකානු තැපැල් දෙපාර්තුමේන්තුවට ගෙවිය යුතු ඩෙලර් ලක්ෂ 6කට වැඩි මුදලක් වෙනත් පාර්ශවයකට ගෙවා ඇති බව ය.

එමෙන් ම, මාර්ග අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට දෙවරක් මුදල් ගෙවීමක් වැනි රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ විසින් මුදල් ගෙවීමේදී සිදුව ඇති අක්‍රමිකතා කිහිපයක් පසුගිය දිනවලදී අනාවරණය විය.

leave a reply