Breaking News

ඉන්දීය මැතිවරණය – භාරතීය ජනතා පක්ෂයට දකුණු ඉන්දියාවේදී දරුණු පරාජයක්

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විශාල අවධානයක් යොමුව තිබේ. ඒ සඳහා බලපා ඇත්තේ මෙම මැතිවරණය විසින් ප්‍රාන්ත කිහිපයකම පැවති පාලනයන් වෙනස් කරමින් නව දේශපාලන බලවේග සඳහා අවස්ථාව ලැබී ඇති බව පෙනෙන්නට ඇති නිසයි.

අග්‍රාමාත්‍ය මෝදි සිය ජයග්‍රාහී කතාවේදී සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂය මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (NDA) සතුව දැන් ප්‍රාන්ත 20කට වඩා වැඩි සංඛ්‍යාවක රජයන් පවතින බවයි. එහෙත් බටහිර බෙංගාලය සහ ඇසෑමයේ ලැබූ ප්‍රතිඵලවලට සාපේක්ෂව තමිල්නාඩුව සහ කේරළයට දෙස බැලීමේදී පෙනී යන්නේ, රටේ සෙසු ප්‍රදේශවල සැලකිය යුතු දියුණුවක් ලබා තිබුණද, දකුණු ඉන්දියාව තුළ සිය බලය තහවුරු කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය (BJP) අපොහොසත් වී ඇති බවයි.

මෙම මැතිවරණයේදී ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය (SIR) කිරීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් පැවතුනි. එහිදී සුළුතර වාර්ගික අනන්‍යතා සහිත ජනතාව නොසලකා හැරීම හා හින්දු නොවන ජනතාව නොසළකා හරිම ගැන චෝදනා එල්ල විය.

මෙම චෝදනා එල්ල වූ ප්‍රාන්තයක් වූවේ බටහිර බෙංගාලය ආශ්‍රිතවයි. කෙසේවෙතත් බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණයෙන් මමතා බැනර්ජි නායකත්වය දෙන තෘණමූල් කොංග්‍රසය (TMC) පරාජය කරමින් එහි බලය අත්පත් කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය (BJP) සමත් වී ඇත.

මැයි 4 වන සඳුදා ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ නැගෙනහිර ඉන්දියාවේ සිය බලය තහවුරු කර ගැනීමට BJP සමත් වූ අතර, අසල්වැසි ඇසෑමයේද අඛණ්ඩව තෙවන වරටත් බලය පිහිටුවීමට ඔවුන්ට හැකි විය.

පක්ෂය දැන් ඉන්දියාවේ උතුර, බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ පාලනය කළද, දකුණු ඉන්දියාවේ සැලකිය යුතු වර්ධනයක් ලැබීමට ඔවුන් යළිත් අපොහොසත් වී ඇත. තමිල්නාඩුව සහ කේරළය යන ප්‍රාන්ත දෙකම පාලක රජයන් වෙනස් කිරීමට තීරණය කළද, එම බලය BJP වෙත ලැබී නැත.

මෙම මැතිවරණය ප්‍රබල ප්‍රාන්ත දේශපාලන නායකයන් දෙදෙනෙකුගේ පරාජයටද හේතුවිය. මමතා බැනර්ජිට අමතරව, BJP හි අනෙක් ප්‍රබල ප්‍රාදේශීය ප්‍රතිවාදියා වන එම්.කේ. ස්ටාලින් ද බලයෙන් පහ කර ඇත. තමිල්නාඩුවේ ඉදිරියෙන්ම සිටින පක්ෂය ලෙස සිනමා නළු විජේගේ තමිළග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය මතු වී ඇති අතර, BJP හි මිතුරෙකු වන AIADMK පක්ෂය තෙවන ස්ථානයට ඇද වැටී ඇත.

කේරළයේදී, කොංග්‍රස් නායකත්වය දෙන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (UDF) නැවත බලයට පැමිණ ඇති අතර, දශක ගණනාවක් තිස්සේ පැවති පෙරමුණු දෙක මාරුවෙන් මාරුවට බලයට පත්වීමේ සම්ප්‍රදාය යළිත් ස්ථාපිත වී ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ජයග්‍රාහී කතාවේදී ප්‍රකාශ කළේ දැන් “ගංගෝත්‍රීයේ සිට ගංගා සාගරය දක්වා” නෙළුම් මල පිපී ඇති බවයි. කෙසේ වෙතත්, දකුණු ඉන්දියාවේ පක්ෂය මුහුණ දෙන අභියෝග පිළිබඳව එහිදී වැඩිදුර සඳහන් නොවීම විශේෂත්වයකි.

බෙංගාලය ජය ගැනීමට යොදාගත් SIR සහ දේශපාලන උපායමාර්ග
බටහිර බෙංගාලයේදී BJP පක්ෂය ආසන 206ක් දිනා ගත් අතර, 2021 දී ඔවුන් සතු වූයේ ආසන 77ක් පමණි. මමතා බැනර්ජිගේ තෘණමූල් කොංග්‍රසය ආසන 80ක් දක්වා ඇද වැටුණි. ඡන්ද ප්‍රතිශතය අනුව BJP 45.85%ක් ලබා ගත් අතර, TMC හි ඡන්ද ප්‍රතිශතය 40.8% දක්වා පහත වැටී ඇත.

මෙම ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපෑවේ වසර 15ක පාලනයට එරෙහිව ජනතාව තුළ තිබූ විරෝධය සහ මැතිවරණ කොමිසමේ මතභේදාත්මක SIR (විශේෂ දැඩි සංශෝධනය) ක්‍රියාවලියයි. මෙම සංශෝධනය හේතුවෙන් බෙංගාලයේ ඡන්දදායකයින් ලක්ෂ 90ක් පමණ ලැයිස්තුවෙන් ඉවත් වූ අතර, ඡන්දදායකයින් ලක්ෂ 27කගේ ඉරණම මැතිවරණයට දින කිහිපයකට පෙර අධිකරණ තීන්දුවලට යටත් විය.

BJP පක්ෂය බෙංගාලයේදී “නුසුදුසු පිරිස්” ඉවත් කිරීමේ තේමාව යටතේ දැඩි මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ අතර, මධ්‍යම ආරක්ෂක අංශ සහ පරීක්ෂණ ආයතන විශාල වශයෙන් යොදවා තිබුණි.

ඇසෑමයේ තෙවන වාරය සහ නැගෙනහිර ඉන්දියාවේ බලය
අසල්වැසි ඇසෑමයේදී BJP පක්ෂය ආසන 82ක් දිනා ගනිමින් ඉතිහාසගත තෙවන වාරයක් සනිටුහන් කළේය. හීමන්ත බිස්වා සර්මාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වූ සුභසාධන ව්‍යාපෘති සහ දේශපාලන උපායමාර්ග මෙම ජයග්‍රහණයට මග පෑදීය.

ඇසෑමයේ ජයග්‍රහණයත් සමඟ BJP දැන් ඔඩිෂාව ඇතුළු සමස්ත නැගෙනහිර ඉන්දියාවේම සිය බලය තහවුරු කරගෙන ඇත. අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ භාරතීය ජනතා පක්ෂය පවතින තැන සංවර්ධනය සහ යහපාලනය පවතින බව ජනතාවට පැහැදිලි වී ඇති බවයි.

දකුණු ඉන්දියාවේ පසුබෑම
බෙංගාලයේ සහ ඇසෑමයේ සාර්ථකත්වය මැද, දකුණු ඉන්දියාවේ තත්ත්වය වෙනස් විය:

තමිල්නාඩුව: නළු විජේගේ TVK පක්ෂය සිය ප්‍රථම මැතිවරණයේදීම ආසන 107ක් දිනා ගනිමින් ප්‍රබල පෙරළියක් සිදුකර ඇත. DMK පක්ෂය ආසන 59කට සීමා වූ අතර BJP පක්ෂයට දිනාගත හැකි වූයේ එක් ආසනයක් පමණි. BJP හි ඡන්ද ප්‍රතිශතය 2.98% ක් වැනි සුළු අගයක පවතී.

කේරළය: UDF පෙරමුණ නැවත බලයට පැමිණි අතර, BJP පක්ෂය ආසන 3ක් දිනා ගැනීමට සමත් වුවද ඔවුන්ගේ සමස්ත ඡන්ද ප්‍රතිශතය 11.42% මට්ටමේ නොවෙනස්ව පැවතුණි.

දකුණු ඉන්දියාවේදී BJP පක්ෂය බෙංගාලයේ මෙන් දැඩි මැතිවරණ ව්‍යාපාරයක් දියත් නොකිරීම සහ ප්‍රාදේශීය දේශපාලන බලවේගවල ශක්තිමත්භාවය හේතුවෙන් ඔවුන්ට තවමත් එම කලාපය තුළ බලය පිහිටුවීමට නොහැකි වී ඇත.

leave a reply