පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් ලබාදී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෙසේ නමුත්, මින් පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, එවැනි සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිසන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2021 වර්ෂයේ මැයි17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.
එහෙත්, එම නිර්දේශයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා ක්‍රමානුකූල, විධිමත් සහ ස්ථාවර ක්‍රමවේදයක් මේ තාක් ස්ථාපිත වී නොමැති වීම හේතුවෙන් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා දැනට කිසිදු ක්‍රමවේදයක් නොමැති බව රජය විසින් අවබෝධ කරගනු ලැබ ඇත.
ඒ අනුව, එම නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන හා ජාතික ආරක්ෂාව පෙරදැරි කරගත් පුළුල් සංවිධානාත්මක ව්‍යූහයකින් යුත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබීමෙන් අනතුරුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ අදාළ අමාත්‍යාංශ හා ආයතනයන්හි නියෝජනයන්ගෙන් සහ ප්‍රති-ත්‍රස්ත ක්‍රියාකාරකම් සහ ජාතික ආරක්ෂක විෂය ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
මෙම යෝජනාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද බව වාර්තා වේ.
අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස පත්වූ වහාම කටුවාපිටිය පල්ලියට ගොස් පොරොන්දු වූවේ ඊළඟ වසරේ අප්‍රේල් 21වනදාට පෙර මෙම සිදුවීම සම්බන්ධ යුක්තිය ඉටුකිරීමට මැදිහත් වෙන බවයි. දැන් නව ආණ්ඩුව පත්වී වසර දෙකකට ආසන්න කාලයක් ගතව තිබේ. ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ දැනුයි. එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමද කොතරම් වේගයකින් ඉදිරියට යාවිද යන්න සැක සහිතය. මේ කැබිනට් තීරණයට අනුව ක්‍රියාත්මක වීම ඊළඟ වසරේ අප්‍රේල් 21 දක්වා ප්‍රමාද වුවහොත් පුදුම වෙන්නට දෙයක් නැත.






