බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වූවේ මේ මොහොතේ ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් මතුව ඇති සාකච්ඡාව යට යැවීමට බව විපක්ෂ දේශපාලන කණ්ඩායම් සැක පහළ කරමින් තිබේ.
සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන ඔවුන් පවසන්නේ මේ හරහා අවධානය වෙනතක යොමුකිරිම ආණ්ඩුවේ උත්සාහය බවයි.
පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව, ලාල් කාන්ත ඇමතිවරයා සතු නිශ්චල සහ චංචල දේපළවල මුළු දළ වටිනාකම රුපියල් මිලියන 460ක් හෙවත් රුපියල් කෝටි 46කට අධික බව අනාවරණය වේ.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව, සියලු දේශපාලන නියෝජිතයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද සිය වත්කම් බැරකම් ප්‍රකාශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.
අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව ඔහු සතු ප්‍රධාන නිශ්චල දේපළ කිහිපයක් මෙසේය.
තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්.
රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20ක ඉඩමක්.
රුපියල් මිලියන 56ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14ක ඉඩමක්.
පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් වර්ග අඩි 1,500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක්.
මීට අමතරව අමාත්‍ය ලාල්කාන්ත මහතා සතු චංචල දේපළ අතර රුපියල් ලක්ෂ 16ක් වටිනා පවුම් 8ක රන් ආභරණ, රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක් වටිනා මෝටර් රථයක් ඇතුළත් වේ.
විශේෂයෙන්ම, පෞද්ගලික ආයතන 10කට අදාළව රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක (රු. 383,906,705.40) වටිනා සුරැකුම් පත් ද ඔහු විසින් මිලදී ගෙන ඇති බව එම ප්‍රකාශයේ සඳහන් වේ.
අමාත්‍ය ලාල්කාන්ත මහතා සිය වාර්ෂික ආදායම් මාර්ග සම්බන්ධයෙන් ද සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, ඔහුගේ වාර්ෂික වැටුප් ආදායම රුපියල් 738,918.16ක් වන අතර විශ්‍රාම වැටුප් ලෙස රුපියල් 771,400.00ක මුදලක් ලබා ගනී.
මීට අමතරව දේපළ බදු දීමෙන් රුපියල් ලක්ෂ හතරක (400,000.00) ආදායමක් ද, ස්ථාවර තැන්පතු පොලී මගින් රුපියල් 2,755,851.97ක මුදලක් ද ඔහු උපයනු ලබයි.
එමෙන්ම සිය වර්තමාන රැකියාවට (වෙනත්) අදාළව වාර්ෂිකව රුපියල් දහ අට ලක්ෂයක (1,800,000.00) ආදායමක් ලබන බව ද එම වත්කම් බැරකම් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.






