2025 වසරේ ඉතාලියේ වීදි වල මියගිය සංඛ්‍යාව 414 ක් බව සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙනවා. නිවාස අහිමිවීම නිසා ජනාකීර්ණ වීදි වල, දුම්රියපොළ ඇතුළු පොදු ස්ථානවල රාත්‍රී කාලය ගත කරන මිනිසුන්ගේ වැඩිවීමක් වාර්ෂිකව පෙන්නුම් කරන බව මේ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙනවා.2024 වසරේ මරණ 399 ක් වාර්තා වෙලා තියෙනවා.2026 වසරේ ගෙවුණු මාස එකහමාර ඇතුළත 80 ක් පමණ වීදිවල මරණයට පත් වී තියනවා. වාර්ෂිකව බරපතළ ලෙස ඉහල යන නිවාසා අහිමි වීමේ ගැටළුවෙන් මෙසේ මිනිසුන් වීදි වල මිය යෑමට හේතු වී තිබෙනවා. ශීත ඍතුවේ මහ මඟ නිදාගන්න මිනිසුන් සීතල ඉවසා ගැනීමට නොහැකිව මිය යෑම දිගින් දිගටම වාර්තා වුවද ඒ සඳහා ඉතාලි රජය මැදිහත්ව විසඳුම් සොයන පාටක් පෙනෙන්නට නොමැත.
මේ තත්ත්වය ඉතාලියට පමණක් බලපාන සුවිශේෂී කාරණයක් නොවන අතර යුරෝපා සංගමයේ රටවල් සියල්ලම පාහේ මේ බරපතළ අනතුරට මුහුණ දෙමින් සිටිනවා. මේ පිළිබඳව අවධානය යොමු කළ යුරෝපා පාර්ලිමේන්තුව 2020 නොවැම්බර් 24 වනදා යුරෝපය තුල උද්ගත වෙමින් පවතින නිවාස අර්බුදය 2030 පමණ වන විට විසඳීම සඳහා මාර්ග උපදේශන මාලාවක් සම්මත කර ගනු ලැබුවා. එම මාර්ග උපදේශන මාලාව යුරෝපා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකට බඳුන් කළ අතර ඊට පක්ෂව ඡන්ද 647ක්, විරුද්ධව ඡන්ද 13ක් සහ ඡන්දය දීමෙන් වැළකී සිටිම් 32ක් සහිතව සම්මත වුණා.
ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ ජීවත් වන මිනිසුන් යුරෝපය පිළිබඳව මවා ගන්නා චිත්‍රය ඉතා සුවදායී එකකි. එනම් දියුණු ධනපති කඩපුරාවෙන් වැසී පවතින යථාර්ථය කටුක දුෂ්කර බව පෙනෙන්නේ ඉතාමත් ඕනෑකමින් ඒ දෙස බලන කෙනෙකුට පමණි.
දළ වශයෙන් එක් රාත්‍රියකදී යුරෝපයේ වීදි වල රාත්‍රිය පහන් කරන දුගියන්ගේ ප්‍රමාණය 700,000කට අධික බව යුරෝපා පාර්ලිමේන්තුවද පිළිගෙන තිබේ. වර්තමාන තත්ත්වය අවසාන දශකය තුළ 70%ක වැඩිවීමකි.
නිවාස යනු මූලික මානව අයිතිවාසිකමක් බව අප කවුරුත් දනී. මේ මූලික මිනිස් අයිතිවාසිකම සපුරා ලන්නට දියුණු ධනපති රටවල් ඇතුළත්ව අටවා ගත් යුරෝපා සංගමයට කිසිදු වැඩ පිළිවෙළක් නොමැති අතර 2030 දී මේ ගැටලු අවසන් කිරීමට මාර්ග උපදේශ සකසා ගත්තද ඒවාට වෙච්ච කෙරිච්ච දෙයක් දැන් හොයාගන්නට නොමැත. 2030 වන විට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නිවාස අහිමි වන්නන්ගේ ප්‍රතිශතය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ යෑමට නියමිතයි.
යුරෝපයේ දැරිය හැකි මිලකට නිවාසක් නොමැතිකම වේගයෙන් වර්ධනය වන ගැටලුවකි. සාමාන්‍යයෙන්, 2015 ට සාපේක්ෂව 2023 දී නිවාස මිල 47% කින් වැඩි විය. මෙය අඩු ආදායම්ලාභී නිවාස හිමියන් සහ කුලී නිවැසියන් යන දෙපිරිසටම දරාගැනීමට නොහැකි ඉහළ යෑමකි. 2023 දී, නගරවල කුටුම්භවලින් 10.6% ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල කුටුම්භවලින් 7% කට ඔවුන්ගේ ආදායමෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක්නි වෙන් කරන්න සිදුවී තිබෙන්නේ නිවාස ගැටලු විසඳා ගැනීම සඳහායි.
ඉතාලියේ, මූල්‍ය අර්බුදයේ ප්‍රතිවිපාක හේතුවෙන් ජනගහනයේ විවිධ කොටස් දරිද්‍රතාවයට පත්ව ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නිවාස ලබා ගැනීමේ හෝ නඩත්තු කිරීමේ දුෂ්කරතා වැඩි වී තිබේ. 2014 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඉතාලියේ නිවාස නොමැති පුද්ගලයින් 50,724 දෙනෙකු අවම වශයෙන් ස්ථීර නිවසක් නොමැතිව විවිධ තැන්වල නවාතැන් ගෙන තිබේ. කෙසේ වෙතත් මෙසේ ස්ථිර නිවසක් නැති පිරිස වාර්ගීකරණයකට ලක් කළහොත් පිරිමින් (85.7%), විදේශීය (58.2%), තනිකඩ (76.5%) සහ උතුරේ ජීවත් වන (56%) වෙන් කර ගත හැකිය. මේ සංඛ්‍යා ලේඛන කිසිවක් සියයට සීයක් නිවැරදි ඒවා නොවන අතර සමීක්ෂණ දත්ත වලට ඇතුලත් නොවුණු විශාල පිරිසක් මින් පරිබාහිරව වෙසෙන බවද අමතක කළ යුතු නොවේ.
නිවසක අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යම් පුද්ගලයෙකු තම ආදායමෙන් 40% වැඩි ප්‍රමාණයක් ගෙවන්නේ නම් එය ඔවුන් නිවාස අර්බුදයට මුහුණ දෙන බවට ලකුණකි.
2024 දී යුරෝපා සංගමයේ නගරවල ජීවත් වන කුටුම්භවලින් 9.8% ක් සහ ග්‍රාමීය ප්‍රදේශවල කුටුම්භවලින් 6.3% කට තම ආදායමෙන් 40% ඉක්මවා ගියේය. ග්‍රීසියේ, තත්වය විශේෂයෙන් තීරණාත්මක විය: නාගරික පදිංචිකරුවන්ගෙන් හතරෙන් එකකට වඩා (29%) නිවාස පිරිවැය ඔවුන්ගේ ආදායමෙන් 40% ඉක්මවන අතර, සාමාන්‍යයෙන්, මුළු කුටුම්භ ආදායමෙන් 35.5% ක් නිවාස සඳහා වියදම් කරන ලදී. සයිප්‍රසයේ, නාගරික කුටුම්භවලින් 2.3% ක් පමණක් මෙම තත්වයට පත්ව ඇත.
කෙසේ වෙතත්, ඉතාලියේ, නිවාස සඳහා වියදම් කරන ලද ආදායමේ සාමාන්‍ය කොටස 13.6% කි.

පසුගිය කාලයේ නිවාස මිල විශාලතම වැඩිවීම් වාර්තා වුණේ හංගේරියාව (+209.5%), ලිතුවේනියාව (+135%) සහ පෘතුගාලය (+124.4%) යෙනි.
එමෙන්ම නවාතැන් කුලියට ගැනීම ද වඩාත් මිල අධික වී ඇත. 2010 සිට 2025 පළමු කාර්තුව අතර, කුලී මිල සාමාන්‍යයෙන් 27.8% කින් වැඩි විය. ග්‍රීසිය (-11%) හැර අනෙකුත් සියලුම යුරෝපා රටවල කුලී ඉහළ ගියේය. විශාලතම වැඩිවීම් එස්තෝනියාව (+220%), ලිතුවේනියාව (+184%), හංගේරියාව (+124%) සහ අයර්ලන්තය (+115%) යන රට වලින් වාර්තා විය.






