Breaking News

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කරුණු සැඟවීම බරපතල සැකයක් ඇති කරනවා – දුමින්ද නාගමුව

ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සකස් කළ ආකරය, ඒ සඳහා සහභාගී වුණු විද්වත් කමිටුව කවුද සහ නව වැඩපිළිවෙළ ඇතුළත් වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව දිගින් දිගටම මුණිවත රැකීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් නිර්මාණය වී ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි යටි අරමුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය ඊයේ ( 25 ) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක දී ය. ධර්මසිරි ලංකාපේලි සහ වී වීරසිංහම් ද මෙහිදී අදහස් දැක්වීය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව…

ගිවිසුම්, එකඟතා සහ ප්‍රතිපත්ති ජනතාවගෙන් හංගන ආණ්ඩුව

“ජාතික ජන බලවේග ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් යෝජානා කරමින් එය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩපිළිවෙළක් මේ වෙද්දි සකස් කරමින් යනවා. ජන අරගල සන්ධානය විදිහට ආණ්ඩුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපිට බරපතළ සැකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි තවමත් ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සකස් කළ ආකරය, ඒ සඳහා සහභාගී වුණු විද්වත් කමිටුව කවුද සහ නව වැඩපිළිවෙළ ඇතුළත් වාර්තාව සම්බන්ධයෙන් දිගින් දිගටම මුණිවත රැකීම.

දැනට රටේ ජනතාවට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ලැබිලා තියෙන්නේ යම් යම් ඉඟි විතරයි. ඒ පාර්ලිමේන්තුවේදි සහ වේදිකාවල දී අධ්‍යාපන ඇමති තුමිය, ජනාධිපතිවරයා සහ මැති ඇමතිවරුන් කළ ප්‍රකාශවලින්. නමුත් එම ප්‍රකාශ පවා එකිනෙකට පරස්පරයි.

පසුගිය කාලේ පුරාවටම මේ ආණ්ඩුවේ දේශපාලන සදාචාරය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න ගණනාවක් මතුවුණා. ආණ්ඩුව දැන් යන්නේ ගිවිසුම්, එකඟතා සහ ප්‍රතිපත්ති ජනතාවගෙන් හංගන පාරක. එහෙම හංගම ගමන් ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතාවට තර්ජයනත් කරනවා පුලුවන් නම් නවත්තන්න අපි අපේ වැඩේ කරනවා වගේ ප්‍රකාශවලින්. ඉන්දියානු ගිවිසුම් හෙළි නොකර සිටීමේදීත් අපි මේ කරුණ හොඳින්ම දැක්කා දැන් ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න තෝරගෙන තියෙන්නෙත් ඒ පාරම තමයි.

ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රසන්ටේෂන් එකක් විතරයි. නිශ්චිත වාර්තාවක් තවමත් නෑ. අපි දන්න විදිහට ලංකා ඉතිහාසේ පළවෙනි වතාවට තමයි ආණ්ඩුවක් ප්‍රශන්ටේශන් එකක් උපයෝගී කරගෙන රටේ සමස්ථ අධ්‍යාපන පද්ධතියේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් යෝජනා කරන්නේ.

”ගෝලීය සංකල්ප” ලස්සන වචනයක් පමණයි

ඊයේ දවසේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී බොහෝම සංවේදී ආකාරයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දීර්ඝ කතාවක් කළා. දැන් අපිට ආණ්ඩුවේ මැති ඇමතිවරු වරින් වර කරන ප්‍රකාශවලින් තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අඩංගුව දැනගන්න වෙලා තියෙන්නේ. අධ්‍යාපනය කියන්නේ සමස්ත සමාජයේ අනාගත දිශානතිය තීරණය කරන තීරණාත්මකම සාධකය. ඒ නිසා අධ්‍යාපනය ගැන ආණ්ඩුව ගන්න තීරණ නිශ්චිතවම රටට හෙළිකළ යුතුයි. කොටසක් හංගගෙන හන්දි ගානේ කෑලි කෑලි කිය කිය යන එක ආණ්ඩුවේ කිව්ව නව දේශපාලන සංස්කෘතියට මුළුමනින් පටහැනියි.

දැන් අපිට මතුවෙන ප්‍රශ්නෙ තමයි ඉන්දියානු ගිවිසුම් වගේම ඇයි ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ජනතාවගෙන් හංගන්නේ කියන කාරණය. අපි දන්නවා පසුගිය කාලය පුරාවටම මේ රටේ ආණ්ඩු ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන්ට අනුව මේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන සූදානමක හිටියා. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව කාලේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි අකිල විරාජ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට සූදානම් වුණා. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් උපාලි සේදර වාර්තාව සහ කොතලාවල උපාධිකඩ පනත අරගෙන ආවා. එතනින් පස්සේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අධ්‍යාපන ධවල පත්‍රිකාව අරගෙන ආවා.

මේ හැම වැඩපිළිවෙළකම තිබුණේ නවලිබරල් වෙළඳපොලට අවශ්‍ය ශ්‍රමිකයෙක් නිර්මාණය කරගැනීම සහ අධ්‍යාපනය වෙළඳභාණ්ඩකරණය කිරීමේ පහත් වුවමනාව. දැන් ඒ වැඩපිළිවෙළම තමයි වර්තමාන අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය අගමැතිණිය ගෝලීය සංකල්ප කියලා ලස්සන වචනයක් ඉස්සරහට දාලා අරගෙන ඇවිල්ලා තියෙන්නේ.

පට්ටපල් බොරුවක් වන අලුතින් පාසල් විවෘත කරන කතාව

ඊයේ පාර්ලිමේන්තු කතාවෙදි අනුර දිසානායක ඉතාම කම්පාවෙන් කතාකළා ලංකාවේ ළමුන් ප්‍රමාණය අඩු පාසල් ගැන. ඔහු කිව්වේ ළමුන් 100ට අඩු පාසල් 3141ක් තියනවා කියලා. මේ සමහර පාසල් වහන්නත් ඇතැම් පාසල් ඒකාබද්ධ කරන්නත් අවශ්‍ය තැන්වල අලුතින් පාසල් ඇති කරන්නත් සූදානම් කියලා තමයි ජනාධිපතිවරයා කිව්වේ. බැලු බැල්මට කාටවත් මේ ප්‍රකාශයේ භයානක කම වැටහෙන්නේ නෑ.

අනුර දිසානායකගේ පාර්ලිමේන්තු කතාවටම සමාන කතාවක් මීට පෙර කරුණාසේන කොඩිතුවක්කු විසින් කරලා තියනවා. ඔහු තමයි මුලින්ම ලංකාවේ පාසල් 3000ක් වහන යෝජනාව ගෙනාවේ. ඒ වෙලාවේ එම වැඩපිළිවෙළට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණත් සටන් කළා. එදා පාසල් ආරක්ෂා කරගන්න කියලා තමයි පාසල් සුරැකීමේ ව්‍යාපාරය නිර්මාණය වුණෙත්. අදටත් එහි සභාපති විදිහට ඉන්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙන මහින්ද ජයසිංහ. අපි කවදාවත් එහෙම කරයිද අපිව විශ්වාස නැද්ද වගේ බයිලා කියාගෙන දැන් ඒගොල්ලො ම ලෑස්ති වෙනවා පාසල් වැසීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කරන්න.
දැන් ආණ්ඩුව කියන්නේ සමහර පාසල් වහලා අලුතින් පාසල් විවෘත කරනවලු. නමුත් අපි ආණ්ඩුවට කියනවා නව පාසල් විවෘත කිරීම සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන තැන පෙන්නන්න කියලා. ඒ නිසා අලුතින් පාසල් විවෘත කරන කතාව පට්ටපල් බොරුවක්. තියෙන පාසල් ටික වහලා දාන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපිට තියෙන තොරතුරු අනුව ජනාධිපතිවරයා ඉගෙනගත් තඹුත්තේගම පාසල පවා මේ විදිහට වැහිලා යන්න නියමිතයි.
ඊයේ ජනාධිපතිවරයා කියනවා අපි පාසල් වහලා වෙන පාසලකට යන්න නොමිලේ බස් එකක් දෙනවලු. දැන් ජනාධිපති හැසිරෙන්නේ ලොකු සල්ලි කාරයෙක් වගේ. මැතිවරණ වේදිකාවෙදිත් ඔය විදිහටම උද්ධච්ඡ ප්‍රකාශ කළා ඩොලර් බිලියන 50 කජ්ජක් ද ඇහුවා අපිට මතකයි. අඩුම තරමින් දරුවන්ගේ පාසල් උපකරණ මත පනවපු වැට් බද්ද ඉවත් නොකරන ආණ්ඩුවක් ගමේ දරුවන්ට නොමිලේ බස් එකක් දේවි කියලා විශ්වාස කරන්න පුළුවන් ද ?

පාසල් වහන්න ආණ්ඩුවට අයිතියක් නෑ

අද වෙද්දි අධ්‍යාපන ක්‍රමයේ පවතින බරපතළ ගැටලු ගණනාවක් තියනවා. ඒවට නිශ්චිත විසඳුමක් මේ නව ප්‍රතිසංස්කරණ ඇතුළේ දකින්න නෑ. කොළඹ පාසලක් සහ ග්‍රාමීය කඳුකරේ පාසලක් ගත්තම තියෙන්නේ අහසට පොළොව වගේ විෂමතාවයක්. පහසුකම් අතින් මානව සහ භෞතික සම්පත් අතින් පවතින මේ විෂමතාව නැති කරන්න අවශ්‍ය ප්‍රතිපත්තියකුයි ආණ්ඩුව සකස් කරන්න ඕන. නැතුව හිතුමනාපෙට පාසල් වහන්න ආණ්ඩුවට අයිතියක් නෑ. අපිත් දන්නවා දැනට තියෙන පාසල් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරලා අවශ්‍ය වෙනස් කම් කරන්න ඕන. හැබැයි ඒ වෙනස්කම් වෙන්න ඕන ලෝක බැකු වුවමනාවලට නෙවෙයි. රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය එක්ක ඒ කරුණ ගැට ගැහිලා තියෙන්නේ.

මේ වෙද්දි පාසල් දරුවෝ ඉන්නේ විශාල ආතතියක. විෂයමාලාවල ගැටලු පීඩාකාරී අධ්‍යාපන රටාව පෞද්ගලික උපකාරක පන්ති මේ හැම එකක්ම මේ ආතතියට බලපාලා තියෙන්නේ. අද වෙද්දි වෙළඳපොළ ශ්‍රමිකයෙක් තමයි අධ්‍යාපන ක්‍රමය ඇතුළේ එළියට එන්නේ සංවේදීත්වය මනුෂ්‍යත්වය ඔහු තුළ දකින්න නෑ. ක්‍රීඩාව සංගීතය සාහිත්‍ය සෞන්දර්‍ය ඉතිහාස යනාදි විෂයන් අවශ්‍ය වෙන්නේ මේ විචාරශීලී නිර්මාණශීලී සහ සංවේදී මිනිසාව බිහි කරන්න. නමුත් ආණ්ඩුව දැන් සෞන්දර්ය සහ ඉතිහාස විෂයන් ගැන කියන්නේ ප්‍රහේලිකා වගේ ප්‍රකාශ. ඊයේ ජනාධිපතිවරය කිව්වා යක්කල මළගෙදරක දි මුහුණ දුන්න සංවේදී සිදුවීමක් ගැන. හැබැයි ඔවුන් සංවේදී දරුවෙක් බිහිකරන්න ඕන විෂයන් අමතක කරමින් තමයි යන්න උත්සහ කරන්නේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිටුපස ව්‍යාපාරිකයෝ සහ ලෝක බැංකු නියෝජිතයෝ

ආණ්ඩුව තවමත් රටට හෙළි නොකළ මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මුළුමනින් ම ගැටලු සහගතයි. සමහර වෙලාවට ආණ්ඩුව කියනව තාම අවසන් වැඩපිළිවෙළක් නෑ ඒ නිසා සාකාච්ඡා කරමු කියලා. නමුත් අපිට තියෙන තොරතුරු අනුව මේ නව වෙනස්කම් එක්ක 2026 වසර සඳහා අද වෙද්දි පොත්පත් පවා මුද්‍රණය කරලා අවසන්.

අනිත් එක තමයි ආණ්ඩුව ජනතාවගෙන් හංගන මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හදලා තියෙන්නෙ ව්‍යාපාරිකයෝ සහ ලෝක බැංකු නියෝජිතයෝ. ලංකා වාණිජ මණ්ඩලේ Vice Chairman දුමින්ද හුලංගමුව, හර්ෂ අලස් CEO ගේට්වේ international school, හර්ෂ සුභසිංහ CEO ජෙන් ට්‍රේඩ්සිටි, යසස් තලගල සිත්‍රා සෝෂල් ඉනොවේෂන් ලැබ්, විරංජ කරුණාරත්න chairman CINEC Campus, හිරාන් කුරේ MD Jetwing Hotels, හර්ෂ හතුරුපාන World Bank මේ තමයි මුළු රටේම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගත්ත ආණ්ඩුවේ විද්වත් කමිටුව. අධ්‍යාපනඥයින් අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධ උගතුන් ඇතුළු අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ දී අවශ්‍ය කිසිවෙක් මේ කමිටුවේ නෑ. එතකොට අපිට පැහැදිලී මේ අයත් එක්ක ආණ්ඩුව කරන්න යන ප්‍රතිසංස්කරණය මොකක් ද කියලා. ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ න්‍යාය පත්‍රය තමයි ආණ්ඩුව ක්‍රමයෙන් මේ දිගහරිමින් යන්නේ.
ඉස්සරහට එන තනි කම්කරු නීතිය ඇතුළු සියලු ආර්ථික දේශපාලන උපායන් එක්ක එකට ගැට ගැහිච්ච ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළක් තමයි මේ ක්‍රියාත්මක වෙමින් යන්නේ. ඒ නිසා අපි ජන අරගල සන්ධානය විදිහට මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා වහාම මේ ඊනියා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ රටට හෙළි කළ යුතුයි. සහ මෙම අධ්‍යාපන වැඩපිළිවෙළ ගැන ප්‍රසිද්ධියේ සංවාද කරන්න පැමිණෙන්න කියලත් අපි මේ වෙලාවේ ආණ්ඩුවට අවධාරණය කරනවා. සහ ජනතාවටත් අපි කියනවා ඔබේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඒකරාශි වෙන්න කියලා.

උපුටා ගැනීම – Theleader

leave a reply