Breaking News

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට බලපෑම් කිරීමෙන් නොනැවතී අධිකරණ නියෝගත් ලබාගනී

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට පෙනී සිටින ලෙස දන්වමින් ආණ්ඩු පාක්ෂිකයන් ලවා සුදුසුකම් ලත් සිසුන්ට දුරකථන ඇමතුම් ලබාදීමේ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා විය. එහිදී ශිෂ්‍ය සංගම් චෝදනා කරේ මෙම තොරතුරු අදාළ ශිෂ්‍ය සංගම් වෙත ලැබී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය හරහා බවයි. තමන්ගේ පෞද්ගලික තොරතුරු ලිස්ට් පිටින් මෙලස නාදුනන පුද්ගලයන්ට ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා විශාල විරෝධයක් මතුවිය.

මෙලෙස ආණ්ඩුවේ නියෝජිතයන් ලවා සිසුන්ට බලපෑම් කිරීමට හේතුව වී ඇත්තේ මෙම විභාගයට සිසුන් විරුද්ධ වීමයි. මෙහිදී සම සෞඛ්‍ය සිසුන් මාස කිහිපයක සිට විවිධාකාරයේ විරෝධතා හරහා ඉල්ලා සිටියේ මෙම විභාගය නොපවත්වන ලෙසයි. එයට හේතු ලෙස ඔවුන් සඳහන් කරනු ලැබුවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව බඳවා ගැනීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබීමයි. ඒ වෙනුවට සාමාන්‍ය දැනීම විභාගයක් පැවැත්වීමේ අරමුණ බඳවා ගැනීම් කප්පාදු කිරීම් මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් සඳහා අවස්ථාව ලබාදීමට ශිෂ්‍ය සංවිධාන අවධාරණය කර තිබුණි.

එසේ තිබියදී අයදුම්කරුවන්ට ඊට සහභාගී නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා අද (27) විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු කරන බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී ඇති බව පවසමින් එයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබේ .

ඒ අනුව මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා, මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පුද්ගලයින් සිව්දෙනෙකුට අදාළ විභාගය පවත්වනු ලබන මධ්‍යස්ථාන අසලට ඇතුළුවීම හා රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබේ.

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරි එකමුතුවේ සම කැඳවුම්කරු එම්.එන්.එම් නුස්ට්‍රි, එම එකමුතුවේ ලේකම් නඳුන් දශරික හේවාපතිරණ, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති එකාබද්ද බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් යන අයට එරෙහිව මෙම ආඥ්‍රාව නිකුත් කර ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව අද උදෑසන 8 සිට පස්වරු 4 දක්වා මරදාන පොලිස් වසමේ රෝහල් චතුරස්‍රයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන අයුරින් ඩීන්ස් පාර, ද සේරම් පාර, කිංසි පාර සහ රීජන්ට් වීදීයේ පදික වේදිකා අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ පෙළපාලි තහනම් කර තිබේ. එමෙන්ම සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය පවත්වනු ලබන විභාග මධ්‍යස්ථාන වන ප්‍රාථමික හෙද විදුහල සහ කොළඹ හෙද විදුහල යන ස්ථාන ඉදිරිපිට රැඳී සිටීම ද තහනම් කරමින් මෙම ආඥ්‍රාව නිකුත් කර ඇති බව සඳහන් වේ.

පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන 10ට මධ්‍යස්ථාන 4කදී මෙම විභාගය පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විභාග ශාඛාව මගින් මෙම විභාගය පවත්වනු ලබන අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල, කොළඹ හෙද විදුහල, කදාන හෙද විදුහල සහ කාසල් වීදීයේ කාන්තා රෝහල යන ස්ථානවල පිහිටි විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වීමට නියමිතය.

සියලු අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් යොමුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

වෛද්‍ය රසායනාගාර, කාර්මික විද්‍යාඥ හා භෞතික චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම පිණිස මෙම විභාගය පැවැත්වෙයි.

 

leave a reply