Breaking News

ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම් 29ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 29 ක් ගොනුකර තිබේ. පෙත්සම් විභාග කිරීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (26 වැනිදා) ආරම්භ විය.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමාජවාදී තරුණ සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා වෘත්තිය පත්‍රකලාවේදීන්ගේ සංගමය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.

ත්‍රස්තවාදය කුමක්ද යන්න විග්‍රහ කර නැහැ
පෙත්සම්වල සඳහන් වන පරිදි යෝජිත පනත් කෙටුම්පත තුළින් “ත්‍රස්තවාදය” යන්න කුමක්දැයි පැහැදිලිව අර්ථකථනය කර නොමැත.එසේම “ත්‍රස්තවාදී ක්‍රියා” යන්නට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට අදාළ නොවන චෝදනා ගණනාවක්ම ඇතුළත් කර ඇති බවත් එය අතිශය භයානක තත්ත්වයක් බවත් පෙත්සම් වල සඳහන්ය . මේ හරහා ඕනෑම අපරාධ ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය කිරීමට බලධාරීන්ට අවස්ථාව සැලසෙන බවත් මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන පුද්ගල නිදහස සීමා වන බවත් එම පෙත්සම් වලින් චෝදනා කර තිබේ.

වෙරළ ආරක්ෂක බලකායටත් අත් අඩංගුවට ගැනීමේ බලතල
පනත් කෙටුම්පතේ 19 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදාවලට සහ වෙරල ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට ඕනෑම පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලය පවරාදී තිබෙන බවත් පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් ප්‍රබල චෝදනාවකි. එසේම පනත් කෙටුම්පතේ 22 වන වගන්තිය තුළින් රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සහ වෙරළ ආරක්ෂක බලකායේ සාමාජිකයින්ට ඕනෑම පුද්ගලයකු නැවැත්වීමටත් ඕනෑම පරිශ්‍රයකට ඇතුළුවීමටත් බලය ලබා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්වෙයි.

එසේම පනතේ 53 වන වගන්තියට අනුව රජයේ ආරක්ෂක හමුදා සාමාජිකයින්ට හා වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයින්ට වාහන හෝ නැව් නැවැත්වීමට බලය ලබාදී තිබෙන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට හා වෙරළ ආරක්ෂක බලකායේ සමාජිකයින්ට ලබා දී තිබෙන මෙම බලතල අතිශය අත්තනෝමතික වන බවත් එය නීතියේ ආධිපත්‍යයේ පැවැත්මටත් තර්ජනයක් බවත් ඔවූහූ පෙන්වා දෙති. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ජනතා පරිමාධිපත්‍යය, පුද්ගලික නිදහස හා මූලික අයිතිවාසිකම් සීමා කිරීම මේ හරහා සිදුවන බවත් පෙත්සම්වල සඳහන්ය.

පුද්ගලයින් රඳවා ගැනීම සම්බන්ධ බලතල
යෝජිත පනත් කෙටුම්පතේ 30(1) වගන්තිය තුළින් මෙම පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයෙකු අපරාධ නඩු පැවරීමකින් තොරව වසරක් නොඉක්මවන කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ගත හැකි බව සඳහන් කර ඇතැයි පෙත්සම් වලින් කරුණු දක්වා තිබේ. එසේම එම වගන්තිය තුළින් වසරක කාලයක් ඉක්ම ගිය පසුව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ කරනු ලබන ඉල්ලීමකට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරන කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ද අවකාශ සලසා දී තිබෙන බවත් පෙත්සම්වල දැක්වෙයි.

ඊට අමතරව පනත් කෙටුම්පතේ 31 වන වගන්තිය තුළින් ආරක්ෂක ලේකම්වරයාට පුද්ගලයෙකු රඳවා ගැනීම සඳහා මාස තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි රැඳවුම් නියෝග නිකුත් කිරීමටද බලය ලබාදී ඇති බවත් මෙය අනතුරුදායක තත්ත්වයක් බවත් පෙත්සම්කරුවන් දක්වා ඇත. මෙය අධිකරණය සතු බලය කප්පාදු කිරීමක් වන අතර අධිකරණය සතු බලය මේ ආකාරයෙන් රජයේ නිලධාරීන් සතු කිරීම අනතුරුදායක බවත් පෙත්සම් වලින් පෙන්වා දී ඇත.

පනත් කෙටුම්පතේ 22 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත්වරයා එම රැඳවුම් නියෝගවලට අවනත වෙමින් කටයුතු කළ යුතු පරිසරයක් නිර්මාණය කර තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයාට සිය බලය ක්‍රියාවේ යෙදවිය හැකි වපසරිය සීමා කර තිබෙන බවත් පෙත්සම්කරුවන් දක්වන තවත් කාරණයකි. පුද්ගල නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ අධිකරණයට පමණක් බවත් ඒ සඳහා මැදිහත්වීමට අධිකරණයට තිබෙන බලතල ද කප්පාදු කර ඇති බවත් අධිකරණය සතු බලතල විධායකය විසින් අත්පත් කර ගැනීම අතිශය භයානක බවත් අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

ජනාධිපතිවරයාට පැවරී තිබෙන අත්තනෝමතික බලතල…
යෝජිත පනත් කෙටුම්පතේ 37(7) වගන්තිය තුළින් රැඳවුම් නියෝගවලට අදාළ කොන්දේසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට ලබාදී තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් වලින් එල්ල කර තිබෙන තවත් චෝදනාවකි. එසේ පනවනු ලබන කොන්දේසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවෙයි. පාර්ලිමේන්තුවේ සුපරික්ෂණයකින් තොරව ජනාධිපතිවරයාට මෙම බලය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සලසා දීම නීතියට පටහැනි බවත් එය රාජ්‍ය බල තුලන මූලධර්මයටත් පටහැනි ක්‍රියාවක් වන අතර ඒ හරහා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන බවත් අදාළ පෙත්සම් වලින් පෙන්වා දී තිබේ.

මූලික අයිතිවාසිකම් කඩවන ආකාරය…
අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඉහත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ජනතා පරමාධිපත්‍යය, නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය, අනීතික ලෙස රඳවා ගැනීමට එරෙහි මූලික අයිතිය, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය, සිතීමේ නිදහස පිළිබද මූලික අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්වල සඳහන් කර තිබේ.

leave a reply