Breaking News

“32: වධකයාගේ පුනරාගමනය” – සොහොන ළඟ විසිල් ගහමු!

ජාතික චිත්‍රපට සංස්ථාව විසින් මාසිකව පවත්වන්නට සැලසුම්කර ඇති සිනමා දර්ශනයේදී මෙවර තෝරාගෙන තිබුණේ විසාකේස චන්ද්‍රසේකරම්ගෙ “32: වධකයාගේ පුනරාගමනය” වාර්තා චිත්‍රපටයයි. චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවෙ පැවති සිනමා දර්ශනය අවසානයේ සංවාදයක් පැවතුණා.

එහිදී අවධානය යොමු නොවු කලාපයක් ගැන සටහන් කරන්න හිතුවා. 2000 වසරේදී පයාගල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා තරුණයකුවට සිරමැදිරියේදී කළ පහරදීම් හේතුවෙන් මියයාම හා ඉන්පසුව යුක්තිය වෙනුවෙන් දිගහැරෙන ක්‍රියාදාමය මෙහි විෂය කරගත් කතා පුවතයි. වාර්තා චිත්‍රපටය තුළ මිය ගිය තරුණ පියාගේ පුත්‍රයා, සහෝදරිය, සහෝදරයා සහ මව විසින් ගොඩනගන හැඟීම් දනවන විස්තරයක් අඩංගුයි.

ඊට අමතරව, අපාය නිරූපිත බෞද්ධ මූර්ති, වධ බන්ධන නිරූපණයට පැරණි පන්සල් චිත්‍ර ආශ්‍රිත පසුතල නිර්මාණ භාවිතය, විශ්‍රාමලත් පොලිස්කාරයන්, නීතිඥයන් හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් දක්වන අදහස් ආදි වශයෙන් සම්පත් මූලාශ්‍ර භාවිතයෙන් මෙම චිත්‍රපටයේ ආඛ්‍යානයක් ගොඩනැගීමට විසාක්ස උත්සාහ දරනවා. පොලිසිය, අධිකරණ වෛද්‍යවරයා, නීතිපති ඇතුළු ආයතනික රාමුව මේ වධක ක්‍රියාවලිය සහ එහි චූදිතයන් ලෙස සිටින නිලධාරීන් ආරක්ෂා කරමින් සිටින බව අනාවරණය කෙරෙනවා. බෞද්ධ සාහිත්‍යයේ දෙතිස් වධය සහ අපාය දණ්ඩන ක්‍රම චිත්‍රණය කරමින් මේ දණ්ඩ මුක්තිය, බලය හා සම්ප්‍රදායයන් සමග ඈඳන්නට සිනමාකරු සමත් වෙනවා.
යටත්විජිත යුගයට පෙර සිට පැවති වධ බන්ධන ක්‍රම පශ්චාත් යටත්විජිත දේශපාලන ආධිපත්‍ය වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන බව එහි නිගමනයයි.

විසාකේසගෙ සිනමා කෘතිය නිෂ්පාදනයට වැඩි වශයෙන් අරමුදල් සපයන්නේ ඔහුම වුවත් අවසානයේ රාජ්‍ය නොවන සංවිධානයට ගැළපෙන නිගමනයක් පෙළගැස්වීමෙන් විසාකේස, රාජ්‍ය සහ පරමාධිපත්‍ය අතර සංකීර්ණත්වය අමතක කර තිබෙනවා. පැන නැගුණු ‘විද්වත්’ සංවාදයේදි මේ කාරණා අවධානයට ගැනීමේ ‘දෘෂ්ටිවාදී බාධාවක්’ තිබුණු බව පැහැදිලියි.

රජවරු සිටි කාලෙත් යටත්විජිත කාලෙත් ‘ප්‍රජාතන්ත්‍රවාදී’ වර්තමානයේත් මේ වධකයා නිරුපද්‍රිතව ඉන්නේ රාජ්‍ය බලය විසින් ඔහුගේ සුරක්ෂිතතාව තහවුරු කරන නිසයි. රාජ්‍යයට අවශ්‍ය මර්දනීය යාන්ත්‍රණය පොලිසිය මූලිකව පිහිටුවා තිබෙනවා. සංස්ථාපිත ප්‍රචණ්ඩත්වයට ජනතාව ගොදුරු වන්නේ ඔවුන් නීතියේ මානයෙන් වැරදි කරණ නිසා නොවෙයි. ඒ හිංසනය වරින්වර සමාජය මත පවත්වා ගෙන යාමෙන් රාජ්‍ය බලය උසුලන පන්ති ආධිපත්‍ය සුරක්ෂිත කෙරෙනවා.
විසාකේස 32 තුළ අවසානයේ කියන ආකාරයට, මේ වධතයන්ගේ ගොදුරු බවට පත්වන්නේ සාමාන්‍ය පන්තියේ පුද්ගලයන් මිස ඉහළ පන්තිකයන් නෙවෙයි. සිය ජීවිකාව වෙනුවෙන් කිසියම් නීතිමය බාධාවක් නොතකා හැරියත් නැතත් ඒ හිංසනය කොයි මොහොතේද යන්න අනිශ්චිතයි. පොලිසිය, මහමග යන තරුණයන් හෝ තරුණියන් නිකරුණේ පොලිසියට ඇදගෙන යන පසුබිමක ඒක කොයි වෙලාවෙ කාටද වෙන්නෙ කියලා අපට කියන්න බෑ. පොලිස් ඇසට සැකය එන්නෙ ඒ වෙනුවෙන් ලබා දුන් පුහුණුවක් නිසා. උත්ප්‍රාසවත් කාරණය නම්, ඒ පුහුණු පාඨමාලාවට මානව හිමිකම් ගැන දේශනත් අඩංගුයි. එවැනි පුහුණුවකින් පස්සෙ මානව හිමිකම් දැළට හසු නොවී සිදුකරන අනීතික වධ බන්ධන පොලිසියට ආවේණික දෙයක්. කුඩු පැකට් එකක් හෝ අවියක් දමා ඇප නොලැබෙන සේ බන්ධනාගාර ගතකිරීමේ සිට සැකකරුවන් මාංචු දමා ආයුධ පෙන්වන්නට යද්දී ඝාතනය කිරීම අපේ සමාජයේ සුලභ අත්දැකීම්. පොලිස් යුනිෆෝම් ඇන්දම අම්මා තාත්තාවත් විශ්වාස කරන්නෙ නැති බවට කියමනක් තියෙනවා. ඒ තමයි පීඩාකාරී රාජ්‍ය බලය පවතින ආකාරය.

ඉතින්, මේ පන්ති ආධිපත්‍ය තියෙන සමාජ ක්‍රමයේ ව්‍යුහාත්මකව සංස්ථාපිතව පවතින වධකයකු හා ඔහු ආරක්ෂා කරන සම්ප්‍රදාය චිත්‍රපට මාධ්‍ය ඔස්සේ ප්‍රතිනිර්මාණය කරමින් එහි හේතුපල සබඳතා දිගහරිමින් සහ වෙනස්කිරීමේ අරමුණ වෙනුවෙන් ප්‍රේක්ෂක සමාජයට අවශ්‍ය තරම් අමුද්‍රව්‍ය සපයමින් විසාකේස එය වෙනස් කරන්න කරන ඉල්ලීමක් තියෙනවා. නමුත්, සිනමාකරුවාට හිමිවන්නේ ප්‍රතිනිර්මාණය හා සහකම්පනය ජනනය කිරීමේ සීමාවයි. සිනමාකරුවාද ප්‍රේක්ෂකයාද අයත් සමාජයට එහිදී වැඩ කොටසක් ඉතිරි වෙනවා. හේතුව අහෝසි නොකර ප්‍රතිඵලය අහෝසි කරන්න බෑ.

පරමාධිපත්‍ය බලය බලහත්කාරයෙන් හිමිකරගෙන සිටින පන්තිමය රාජ්‍ය බලය අහෝසි කළ යුතුයි. රාජ්‍ය බලය හිමි ධනපති පන්තියට අවංශ්‍ය ලෙස මර්දන නීති ගෙන එන, ඒවා ක්‍රියාත්මක කරන, ඒ වෙනුවෙන් ආයතන පවත්වා ගෙන යන ආණ්ඩු වෙනස් කරලා ඒක කරන්න බැරි බව (PTA වෙතින් PSTA වෙත) සාක්ෂි දරනවා.

ආයුධ දැරීමේ අයිතිය උදුරාගත් ගෝත්‍ර නායකයාගේ සිට ‘නූතන ප්‍රජාතන්ත්‍රවාදය’ දක්වා හිංසනයෙන් සමාජය පාලනය කරන්නෙ. මාලිමාවෙන් පසුගියදා හඳුන්වා දුන්, රාජ්‍ය ආරක්ෂා කරන නීතිය (PSTA) ඉටුකරන්නේ එයින් වෙනස් කාර්යයක් නෙවෙයි. පොලිස්කාරයන්ගෙ සිට එන්ජීඕ කාරයන් දක්වාත් යූඇන්පීකාරයගෙ සිට පීඩක රාජ්‍ය ආරක්ෂා කරන්න වෙර දරනවුන් දක්වාත් මේ කෘරත්වය පවත්වා ගෙන යාම සාධාරණිකකරණය කරනු පිණිස සුරකින ආදානග්‍රාහී මතය වන්නෙ, ස්වයංව පවත්වා ගෙන යන විනයක් මිනිස් සමාජය තුළ අපේක්ෂා කරන්න බැරි බවයි. පසුගිය කාලෙ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස හඬ නැගූවත් රාජ්‍ය හා සමාජ ක්‍රමයක පැවැත්ම එකිනෙක තදින් බැඳී පවතින බව දැන දැන එය වෙනස් කරන විප්ලවවාදී දේශපාලනයක යෙදෙනු වෙනුවට ඒ රාජ්‍ය මතවාදයේත් ඒ රාජ්‍ය තුළ සියලු උපබෝග පරිභෝග ජීවන ක්‍රමයේත් ගිලී සිටිනවුන්ට දැන් ඒ ගැන කතා කරන්න බෑ තමයි. දැන් ප්‍රශ්නය වන්නේ, මහජන බදු මුදලින් යැපෙමින් සිටින රාජ්‍ය නිලධාරින් මෙන්ම විදේශ අරමුදලින් දිවි ගැටගසාගන්නා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් මේ රුදුරු අගතිය, ‘මානව හිමිකම් අපරාධ’ පවතින තාක් සිය ජීවන මාර්ගය පවත්වා ගෙන යනවා පමණක් නොව, ඊනියා බුද්ධිමතුන්ද එහිම නියැලී සිටීමයි.

විසාකේස මේ කෘතිය නිර්මාණය කිරීමෙන් පෙළ ගස්වන සමස්ත මර්දනකාරී රාජ්‍ය ආකෘතිය මෙන්ම එහි සමාජ දේශපාලන සංස්කෘතිය ආශ්‍රිතව මතුවන සංවාදයෙන් නිරූපණය කරන්නෙ ඒ සියලුදෙනාගෙ ඇත්ත ස්වභාවයයි. ප්‍රශ්නය ගැන සාරගර්භ කතා පවත්වන නමුත් ප්‍රශ්නයේ ඇත්ත ස්වභාවය, එහි දේශපාලන ආර්ථිකය, එයින් ගැලවීමේ සමාජ පරිවර්තනයක අවශ්‍යතාව සහ ඒ වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමේ හා සංවිධානය කිරීමේ අවශ්‍යතාව සංවාදයට නොගෙන වැල්වටාරම් කියන එක බුද්ධිමය වංචාවක්. ප්‍රශ්නය එලෙසම පවත්වා ගෙන යාමට කරන ‘විද්වත්’ සහ ‘බුද්ධිමය’ දායකත්වයක්.

සොහොන්පිටිය ළඟින් යන්නත් ඕන. බය නැති බව පෙන්වන්නත් ඕන. විසිල් එකක් ගහගෙන යන කොට ඔක්කොටම හොඳයිනෙ.
චන්දන සිරිමල්වත්ත

leave a reply