Breaking News

පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම රු 5000යි – වෘත්තීය සමිති වැටුප් අරගලයට සැරසෙයි

ආර්ථික අර්බුදය හමුවේ විශාල පීඩාවකට පත් වී සිටින කම්කරුවන්ගේ ඉල්ලීම් හෑල්ලුවකට ලක් කරමින් දිනට රුපියල් 700ක් සහ මසකට රුපියල් 17,500ක් පමණක් දක්වා අවම වැටුප ඉහළ නැංවීම සදහා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබී ඇත.

අවම වැටුප රුපියල් 26,000 දක්වා වැඩි කරන ලෙස 2020 දී ඉල්ලීම් කර තිබුණු නමුත් එම අවස්ථාවේ පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ සංවිධාන එම ඉල්ලීම්වලට ධනාත්මක ප්‍රතිචාර නොදැක්වූ බවත්, රුපියල් 21,000ක් පමණක් ලබාදිය හැකි බව සමාගම් එම අවස්ථාවේ ප්‍රකාශ කළ බවත් වෘත්තිය සමිති එම අවස්ථාවේ එයට විරෝධය දැක් වූ බවත් එම ඉල්ලීම කොවිඩ් අර්බුදය වර්ධනය වීමට පෙර ඉල්ලා තිබුණු බවත් ආර්ථික අර්බුදය හමුවේ අවම වැටුප ඊට වඩා වැඩි විය යුතු බවත් අප සමග අදහස් දැක්වූ වාණිජ හා කාර්මික සේවක සංගමයේ ලේකම් නීතිඥ ස්වස්තිකා අරුලිංගම් පැවසීය.

ඒ අනුව රුපියල් 21,000කට වඩා අඩු මුදලක් වන 17,500ක් පමණක් අර්බුද අවස්ථාවක අවම වැටුප ලෙස තීන්දු කිරීම විහිළුවකි.

ටෙලිකොම් සියලු සේවක සංගමයේ සභාපති ජේ.බී. ගුරුසිංහ මේ පිළිබද මෙසේ පැවසීය.

‘දැන් මනූෂ නානායක්කාර 17,500ක් දක්වා අවම වැටුප වැඩි කරලා තියෙන්නේ. ඒක ඊට වඩා වැඩි වෙන්න ඕනෑ කියන එක අපේ ස්ථාවරය. අද වතු කම්කරුවාගේ වැටුප පවා රුපියල් 1800 – 2000 ඉල්ලනවා. ප්‍රවාහනය වැය කරගෙන, කෑම අරගෙන ඇවිත්, කඩෙන් කෑම කාලා වැඩ කරන සේවකයෙකුට වැටුප තව වැඩි වෙන්න ඕනෑ. 35,000ක්වත් අවම වැටුපකට හරි විදියට නම් යන්න ඕනෑ. ඒ නිසා මේ අවම වැටුප පිළිගන්න බැහැ. දැන් තියෙන වියදම් බැලුවාම. අනෙක් පැත්තෙන් රජයේ සේවකයන්ට 10,000ක වැටුප් වැඩි වීමක් කරලා තියෙනවා. මේක වැඩි කළාට, අනිවාර්යයෙන්ම බදුවලින්, වැට්වලින් අනෙක් පැත්තට ආපහු එකතු කර ගන්නවා. ඒත්, රජයේ සේවකයන්ට විතරයි මේ 10,000ක වැඩි වීම. ඒ අනුව පුද්ගලික සේවකයන්ට වැටුප් වැඩිවීමක් නැතිවම විශාල බදු බරක් දරන්න වෙනවා. එම නිසා සමස්ත සේවකයන් ඒකාබද්ධ කරගනිමින් වැටුප් වැඩි වීමක් ඉල්ලා අරගලයකට යොමු වීම පිළිබද වෘත්තිය සමිති ව්‍යාපාරය සාකච්ඡා කරමින් ඉන්නවා.‘

මේ පිළිබද කළ විමසීමකදී ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අනූප නන්දුල මෙසේ ප්‍රකාශ කළේය.

‘පෞද්ගලික අංශය ඉල්ලා සිටියේ රුපියල් 20,000ක පඩි වැඩි වීමක්. කොවිඩ් කාලයේ සිට පෞද්ගලික අංශයේ වැටුප් තිබුණේ සීයට 50ක් හෝ අවමය විදියට රුපියල් 13,500යි. ඒ කාලයේ ඒ තරම් පීඩාවක් විදලා, සීයට 76ක උද්ධමනය මට්ටමකින් බැට කාලා, රස්සා ලක්ෂ 5ක් නැති කරගත්ත මිනිස්සුන්ට රුපියල් 5000ක වැටුප් වැඩි වීමක් විතරයි දැන් නිර්දේශ කරන්නේ. පෞද්ගලික අංශයේ සහ රටේ ඇවිල්ලා තියෙන වැටුප් මදි වීම පිළිබද දැනට තියෙන උද්ඝෝෂණ අනුව මේ කර ඇති දේ පිළිගත හැකි මට්ටමක නැහැ කියන එක අපේ ස්ථාවරය. මේක ඇතුළේ උත්සාහ කරනවා පෞද්ගලික අංශයේ සේවකයන්ට මැතිවරණය ඉලක්ක කරගෙන මානසික අල්ලසක් දෙන්න. පෞද්ගලික අංශයේ වැටුප තීන්දු කළ පළියට 13,500 තියෙන එක පවා සමහර කාර්යාලවල පවා ගෙවා නැහැ. රටේ නීතියක් බවට පත් වුණත් මගහැරලා යන හාම්පුතුන් ඉන්නත් පුළුවන්.‘

අවම වැටුප් සීමාව පවතින්නේ, රටක ලබා දිය හැකි අඩුම වැටුප නිගමනය කිරීමට වන අතර, එය සංශෝධනය කිරීමේදී සිදු වන්නේ අදාල සීමාවට වඩා අඩුවෙන් යම් කෙනෙකු වැටුප් ලැබුවේ නම්, අදාල සීමාව ඉක්මවූ තත්වයක් දක්වා වැටුප වැඩි කිරීමට නිත්‍යානුකූලව සිදු වීම පමණක් බව අප සමග අදහස් දැක්වූ වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති. ඒ අනුව, අවම වැටුප් සීමාවට ඉහළින් වැටුප් ලබන කිසිවෙකුට එය සංශෝධනය කිරීමෙහි ඍජු බලපෑමක් නොමැති බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටින්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු සේවකයන්ට රුපියල් 20,000ක හෝ ඊට වැඩි වැටුප් වැඩිවීමක් බවත්, අවම වැටුප රුපියල් 17,500ක් කිරීම වත්මන් ආර්ථික තත්වය හමුවේ සේවකයන්ට කණේ පහරක් එල්ල කිරීමක් බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

අදාල කැබිනට් මණ්ඩල තීන්දුව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයෙහි සදහන් වන්නේ මෙසේය.

‘2016 අංක 03 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනතේ විදිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12,500ක් ලෙස නියම කරනු ලැබ ඇත. ජාතික කම්කරු උපදේශන සභාවේ නිර්දේශ මත පත් කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශ්වික අනුකමිටුවක් මගින් එම වැටුප රුපියල් 17,500ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව ජාතික අවම වැටුප රුපියල් 12,500 සිට රුපියල් 17,500 දක්වා රුපියල් 5000කින් වැඩි කිරීමට සහ ජාතික අවම දෛනික වැටුප රුපියල් 500 සිට රුපියල් 700 දක්වා රුපියල් 200කින් වැඩි කිරීමට හැකි වන පරිදි ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘

අවම වැටුප වැඩි කළ යුතු මට්ටම, සියලු සේවකයන්ගේ වැටුප් වැඩි වීම සහ එයට අදාලව ගත යුතු පියවර පිළිබද වෘත්තිය සමිති අතර මේ වන විට සාකච්ඡා පවතින බවත්, ඉදිරියේදී ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට සාකච්ඡා ආරම්භ කරන බවත් උක්ත වෘත්තිය සමිති ආරංචිමාර්ග පවසයි.

උපුටා ගැනීම – whatnews

leave a reply