වර්ෂ 1972 ජූනි මස තිස්වැනි දින උඩවලව ජාතික උද්‍යානය ප්‍රකාශයට පත්කෙරෙන්නේ වලවේ ගඟ හරස්කර ඉදිකෙරුණු උඩවලව ජලාශය ආශ්‍රිත සංවර්ධන කටයුතු හේතුවෙන් අවතැන් වූ වන සතුන්ට අභය ලබාදීම පිණිස මෙන්ම ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ආරක්‍ෂා කිරීම වෙනුවෙනි. දිවයිනේ සබරගමුව සහ ඌව පළාත් මායිමේ පිහිටි මෙම රමණීය වන උයන දෙස් විදෙස් වනජීවීලෝලීන් අතර ප්‍රචලිතව ඇත්තේ අගනුවර තදාසන්නවම පිහිටි අලි ඇතුන් නැරඹිය හැකි ජාතික උද්‍යානය ලෙසය. විසල් තැනිතලා පුරා විහිදුනු තෘණ භූමි වල නිදහසේ සැරිසරන වනාන්තරයේ සද්දන්තයින් වසරේ සෑම කාලයකම මෙතරම් පහසුවෙන් දැකගතහැකි වෙනත් ස්ථානයක් ශ්‍රී ලංකාවේ නොමැති තරම්ය. නමුත් කණගාටුවට කරුණ නම් තමන්ගේ ස්වර්ණමය යුගය අතීත මතකයක් බවට පත්වෙන්නට ඉඩහැර උඩවලව මේ වන විට අවසන් හුස්ම හෙලීමට සැරසීමය.
උඩවලව වන උයනේ අතීතය ස්මරණය කරන්නෙකුට නිතැතින්ම සිහියට නැගෙන්නේ උද්‍යාන පිවිසුමේ සිට මීටර සියයක් යන්නටත් මත්තෙන්, ප්‍රධාන ජීප් රථ මාර්ගය හරහා වැටුණු අලි මංක වල ගමන් කළ තමන් උපන් රංචුව හැර ගොස් ආරක්ෂාව සහ සමාජානුයෝජනය සඳහා එකට එකතු වූ තරුණ පිරිමි අලි කණ්ඩායම්ය. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු පාර අයිනේ තණකොළ අනුභව කිරීම හෝ තම අනාගත ධුරාවලිය ස්ථාපිත කිරීම සඳහා මිත්‍රශීලී සටනක නිරත වීම විරල දසුනක් නොවේ. තව දුරටත් ගමන් කරන විට, මාර්ගය තේක්ක වනාන්තරයකට ඇතුළු වී එය දිගේ කිලෝමීටර කිහිපයක් විහිදෙන අතර, එහි ගැවසෙන අලි ඇතුන්ට තේක්ක ශාකයේ පොත්ත රළු අහරක් සපයයි. තේක්ක තුරු යට තණකොළ හැර වෙනත් සැලකිය යුතු කිසිවක් වර්ධනය නොවේ. එකල, නියඟ කාලවලදී මෙම ප්‍රදේශය ජාතික උද්‍යානයේ රැකවරණය පතා එන අලි ඇතුන්ට සෙවන සහ ආහාර ලබා දුන් තෝතැන්නක් විය.
අලි ඇතුන් උඩවලව වෙත ආකර්ෂණය වීමට ප්‍රධානතම හේතුව වූ තණබිම්, අක්කර ගණනින් ගිණි තණ වලින් ගැවසීගෙන ඔවුන්ට අවුරුද්දේ බොහෝ කාලවලදී සංග්‍රහ කළේය. මීට අමතරව, ජලාශ සහ ආර වලින් කාන්දු වූ දිය සීරාව විශාල තණබිම් වල වසරේ වැඩි කලක් රැඳී පැවතුනු අතර, දරුණුතම නියං සමයන්වල පවා මෙම සුන්දර ජීවීන් සඳහා සෑම විටම ආහාර සහ ජලය සැපයීමට ඉවහල් විය. සන්ධ්‍යාවේ දෙසීයක් හෝ තුන්සීයක් පමණ අලි ඇතුන් රංචු ජල තලය අද්දර කණ්ඩායම් වශයෙන් තෘණ අනුභවයෙන් පසුව, සෙවනැලි දිගු වන වේලාව එළැඹෙන විට, මෙම අත්‍යවශ්‍ය ජල මූලාශ්‍රයෙන් සිසිල් වීම හෝ පිපාසය සංසිඳුවා ගැනීම අසාමාන්‍ය දෙයක් නොවීය. එකල උද්‍යානයේ ගෘහාශ්‍රිත මී හරකුන් සිටියේ ද ඉතා අඩුවෙනි.
මෙම තෘණ බිම් නඩත්තු කිරීමට අනපේක්ෂිත ආධාරයක් ලැබුණේ ගින්නෙනි. තණකොළ වියළී ගිය විට, නියඟයේ උච්චතම අවස්ථාවන්හිදී විවිධ හේතු නිසා ඒවා ගිනිබත් විය. එහි ප්‍රතිපලයක් ලෙස අක්කර ගණනින් තෘණ බිම් දැවී ගිය නමුත් පිනි දිය පෙවුණු අළු මතින් නැවත තෘණ ශාක දළුලා වැඩෙන්නට පටන්ගත්තේය. දඩයක්කරුවෝ හිතාමතාම වියළි තණ කොළවලට ගිනි තැබූහ. එවිට නිර්මාණය වන පැහැදිලි තැනිතලා ප්‍රදේශ වල හටගන්නා නව දළු සහිත තෘණ කෑමට පැමිණෙන මුවන් සහ අනෙකුත් තෘණ භක්ෂකයින් ඔවුන්ට පහසුවෙන් ගොදුරු කරගත හැකිවිය. වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු වූ පසු මුර සංචාර පුළුල් වීමත් සමග දඩයම්කරුවන්ගේ ක්‍රියාකාරකම් අඩු වූ නමුත්, විශේෂ පාලිත තත්ව යටතේ හෝ ගිණි තැබීම් උද්‍යානයේ සෞඛ්‍යයේ අනිවාර්ය අංගයක් ලෙස ඉදිරියටත් පැවතිය යුතුව තිබුණි. තෘණ බිම් හැරුණු විට උඩවලවේ අලි ඇතුන් ආකර්ෂණය කරගත හැකිව තිබූ තවත් පරිසර පද්ධතීන් කොටසක් වූයේ අත්හැර දැමූ හේන් යායන්ය. ඒවා මිනිස් ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක් වුවත් අලි ඇතුන් සහ අනෙකුත් වන ජීවීන්ට සාධනීය ගොදුරුබිම් විය. නමුත් ඒවාද එසේ පවත්වා ගැනීමට ක්‍රියාකාරී මැදිහත්වීමක් සහ කළමනාකරණයක් අවශ්‍යය විය, සිදු නොවුනේද එයමය.
දශක දෙකකට ආසන්න වැරදි කළමනාකරණයේ සහ නොසලකා හැරීමේ ප්‍රතිපලයක් ලෙස අහිමිවී ගිය තෘණබිම් සහ අත්හැර දැමූ හේන් යායන් වනජීවී වාසස්ථාන සක්‍රීයව කළමනාකරණය කළ යුතු බවට අවබෝධයක් නොමැතිකම මැනවින් පෙන්නුම් කරයි. උද්‍යානයේ ආධිපත්‍යය දරන ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ වන ගඳපානා සහ පොඩිසිංඤොමරං අතර හටගන්නා දුලබ රිකිලි අතර ඉතිරිව සිටින කුඩා අලි රංචු කීපය සමඟින් එය දැන් ලඳු කැලෑවෙන් යටපත් වී හමාරය. හුදකලා පිරිමි සතුන්ට රාත්‍රී කාලයේ යාබද වගාබිම් ආක්‍රමණය කිරීමට මෙම තත්ත්වය මගින් බල කෙරෙන අතර, ප්‍රමාණවත් පෝෂණයක් ලබාගැනීම සඳහා ඔවුන් විදුලි වැටවල් පවා නොතකා ඉදිරියට යද්දී උද්‍යානය තුළ ඉතිරිවන ගැහැණු සතුන් සහ පැටවුන් වඩාත් දරුණු ලෙස කුසගින්නේ පීඩා විඳිති. බොහෝ ගැහැණු සතුන් තම ළදරුවන්ට කිරි දීමට අවශ්‍ය පෝෂණය නොමැතිකම සමඟ ළදරු මරණ වැඩි වන හෙයින්, නෙරා ඇති අස්ථි රැලි වැටුණු සමින් වැසුණු ඇවිදින ඇටසැකිලි වැනි අලි ඇතුන් හැර අන් කිසිවෙක් එහි නොවේ. කලක් අලි ඇතුන්ගේ තෝතැන්නක් වූ උඩවලව ජාතික උද්‍යානය දවසේ ඕනෑම වේලාවක ඔවුන්ගේ දර්ශනය සහතික කළ හැකි වූ රමණීය වන උයනක් වූ බව ඉහතද සඳහන් කළෙමි. නමුත් එය අද වන විට අලි ඇතුන්ගේ මරණ මංචකයක් බවට පත්ව ඇති අතර නොබෝ කලකින්ම අලි ඇතුන් මෙම බිමෙන් සදහටම වඳ වී යා හැකිය.
උඩවලවේ අලි රංචුවලට යාබද වාසස්ථානවලට හෝ ඊටත් එහා ප්‍රදේශ වලට ආහාර සොයා ගමන් කර උද්‍යානයේ සම්පත් ප්‍රතිජනනයවී අවශ්‍ය ආහාර නිර්මාණය වූ පසු නැවත ඒ වෙත පැමිණීමට අතීතයේ පැවති ඉඩද මේ වන විට විදුලි වැටවල් හා බොහොමයක් අනවසරයෙන් වනාන්තර ඉඩම් අල්ලා ගැනීම් මගින් ඇහිරී ගොස් ඇත. එම බිම් වලින් නැගෙන වෙඩි උණ්ඩ, බඳින තුවක්කු, හක්ක පටස් ගිගුරුම් හඬ අලි ඇතුන් වසර පුරාම උද්‍යානය තුළට කොටුකර තබයි.
වර්ෂ 2007 තරම් ඈත කාලයකදී, ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ තවදුරටත් පැතිරීමට පෙර ඉවත් නොකළහොත්, ගෘහාශ්‍රිත ගවයින් උද්‍යානයට ඇතුළුවීම පාලනය නොකළහොත් විශේෂයෙන් පාලිත ගිනි තැබීම් මගින් තෘණ බිම් පුනර්ජීවනය නොකළහොත් ඇතිවන තත්ත්වය පිළිබඳව බලධාරීන්ට අනතුරු අඟවා තිබුණි. නමුත් ඒ පිළිබඳව ඔවුන් නෑසුණු කන් ඇතිව සිටීමේ ප්‍රතිපල දැන් සියල්ලන්ටම දැකගත හැකිය.
යාන්ත්‍රික ක්‍රම මගින් ආගන්තුක ආක්‍රමණශීලී ශාක ඉවත්කිරීමට වෙර දැරීම ඒවා තවදුරටත් ව්‍යාප්ත කිරීම පමණක් දිරිමත් කරවන බැවින්, මෙම ආක්‍රමණශීලී විශේෂයන් කිසිදු වියදමක් නොමැතිව, අතින් ඉවත් කිරීමට ආධාර කිරීම සඳහා, බලධාරීන්ට සහාය වීමට පවා සංරක්ෂණවේදීන් ඉදිරිපත් විය. නමුත් ඒ වෙනුවට බලවතෙකුගේ මතයක් අනුව බර යන්ත්‍රෝපකරණ යොදාගෙන යාන්ත්‍රිකව මෙම ආගන්තුක ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට යොමුවූ අතර දේශීය ශාක වර්ගද එමගින් ඉවත්වීම සිදුවිය.
ආගන්තුක ආක්‍රමණශීලී ශාක වල මූලයන් තවදුරටත් පසේ රැඳී ඒවා උදුරා දැමීමෙන් පසුව පවා ඉතා කෙටි කලකදී නැවත පැළ වීමට පටන්ගත් අතර විවෘත භූමියේ එම ශාක සමග තරඟ කිරීමට දේශීය විශේෂ වලට නොහැකි වීම නිසා ආගන්තුක ආක්‍රමණශීලී ශාකම තව දුරටත් උද්‍යානයේ ව්‍යාප්තවීම සිදුවිය. මෙම අමනෝඥ ව්‍යාපෘති සඳහා විශාල මුදලක් වැය කෙරුණු අතර, නූගත් උද්දච්ච මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට වඩා අත්‍යවශ්‍ය සංරක්ෂණයට යෙදවිය හැකිව තිබූ අරමුදල් විශාල ප්‍රමාණයක් එසේ රටට අහිමි විය. සත්‍ය වශයෙන්ම මීට යෙදිය යුතු පිළියම් පිළිබඳව උපදෙස් ලබාදීමට පර්යේෂකයන් සහ විද්‍යාඥයන්ගෙන් සමන්විත කමිටුවක් පිහිටුවන ලදී. කෙසේ වෙතත්, ස්වභාවික වාසස්ථානයක් විනාශ කිරීමට විදුලි කියත් හෝ බුල්ඩෝසර වලට පැය කිහිපයක් ප්‍රමාණවත් වුවද, ස්වභාවධර්මය ඉක්මනින් යථා තත්ත්වයට පත් නොවේ. දැනුවත් මිනිස් මැදිහත්වීමකින් වුවද එවැනි පරිසරයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට දශක කිහිපයක් හෝ ගත විය හැකිය. නමුත් බලධාරීන්ට සහ ඔවුන්ගේ යටත් නිලධාරීන්ට ඊට උපේක්ෂාවක් නොවූ බැවින් විද්‍යාත්මක මැදිහත්වීමෙන් ද කිසිඳු ප්‍රතිපලයක් ලබා ගැනීමට නොහැකි විය.
පුළුල් ප්‍රතිෂ්ඨාපන වැඩපිළිවෙළක් අද දවසේ හෝ ආරම්භ කළහොත් උද්‍යානය පෙර තිබූ ස්වර්ණමය යුගයට අර්ධ වශයෙන් හෝ ගෙන යාමට අවම වශයෙන් වසර 10 පමණ ඇතුලත හැකිවනු ඇත. මෙම වැඩසටහන අත්‍යාවශ්‍ය අවශ්‍යතාවක් වන්නේ මෙම වන උයන අලි ඇතුන් ඇතුළු වනජීවීන් ගේ සුරක්ෂාව සඳහා පමණක් නොවන බැවිණි. එහි නිරෝගී පැවැත්ම මත තදින් බැඳී පවතින අවට ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ද වේ. නමුත් එවැනි වැඩපිළිවෙලක් පෙනෙන තෙක්මානයක ඇති බව විශ්වාසකළ නොහැක්කේ ලෝක බැංකු අරමුදල් (ESCAMP ව්‍යාපෘතිය) ආධාරයෙන් මෙහි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකදී සිදුකළේ ද අප ඉහත පෙන්වා දුන් අවිද්‍යාත්මක සහ අදූරදර්ශී යාන්ත්‍රි ක්‍රම මගින් ආගන්තුක ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමම වන බැවිණි. මෙම නිෂ්ඵල ව්‍යායාමය සඳහා වියදම් කළ අරමුදල් ආපසු ගෙවීමට සිදුවීමෙන් ජාතිය තවදුරටත් ණයකරුවන් වීම සහ තවදුරටත් උද්‍යානය කබලෙන් ලිපට වැටීම හැර සිදුවූ අන් කිසිවක් නොමැත.
අදාළ බලධාරීන්ගේ සම්පූර්ණ ධනාත්මක මැදිහත් වීමක් නොමැති වීමෙන් පෙනී යන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ වනජීවීන්ගේ භාරකරුවන් ලෙස තමන්ට පැවරී ඇති කාර්යභාරය අත්හැර දමා අසරණ වන සතුන් මරා දැමීමට හෝ කුසගින්නෙන් මිය යාමට ඉඩ දී ඇති බවය. දිවයිනේ අලි මරණ වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ආසියානු අලියාගේ අද්විතීය උප විශේෂයකට සත්කාරකත්වය සපයන රටක් ලෙස වහසිබස් දොඩමින් එම සතුන්ගේ පින්තූර වලින් පුළුල් වශයෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රචාරණය මෙහෙයවන රටක් ලෙස මේ මොහොතේ එම සතුන් මුහුණදී සිටින ඉරණම පිළිබඳව අප ලැජ්ජාවිය යුතුය.
එබැවින් උඩවලවේ අන්තිම අලියාද මියගිය පසු, ඒ සමගම මියයන ප්‍රාදේශීය ආර්ථිකය හා ප්‍රජාවගේ ජීවනෝපාය පිළිබඳව පසුතැවිලි වෙනවාද නැතහොත් තනතුරු රැක ගැනීම සහ විශ්‍රාම වැටුප ආරක්ෂා කරගැනීම සඳහා පමණක් ප්‍රමුඛත්වය දෙන මෙරට වනජීවී බලධාරීන් අවදිකර උඩවලව ජාතික උද්‍යානය රැකගන්නවාද යන්න කඩිනමින් තීරණය කළයුතුව ඇත.
(මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පරිසර සංරක්ෂණවේදියෙකු සහ ලේඛකයෙකු වන රොහාන් විජේසිංහ මහතා විසින් ඉකුත් මාර්තු 03 දිනට යෙදුනු ලෝක වනජීවී දිනය වෙනුවෙන් ‘Udawalawa is dying!’ මැයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ලිපියේ සිංහල අනුවාදයකි)
රොහාන් විජේසිංහ