Breaking News

පොල්ගහවෙල ගල් කොරිවලින් නිවාසවලටත් හානි

කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ ජන ජීවිතයට සහ පරිසරයට හානි වන අයුරින් සිදුකරන ගල්කොරි වහාම නතර කරන ලෙස බලකරමින් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සහ පොල්ගහවෙල ජනතාව එක්ව අද (24) මාධ්‍ය හමුවක් පවත්වමින් ආණ්ඩුවට බලකර සිටියහ.

බොරැල්ල, එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එම අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය ප්‍රකාරව මෙය මහජනයා පීඩාවට පත්කරන ක්‍රියාවලියක් බවයි. ගල් බෝර දැමීමේදී නිවාසවලට පවා හානි සිදුවී ඇති ආකාරය එම ප්‍රදේශයේ කළ ක්ෂේත්‍ර අධ්‍යයනයේදී දැකගැනීමට හැකි වූ බවත්, එම නිසා මෙය අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මහජන අයිතිවාසිකම් භාවිතයට බාධා ඇති කරන මහජන පීඩාවක් ද වන බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය. මේ නිසා අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ආචාර්යවරයා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට බල කළේය.

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හබරව ග්‍රාම නිලධාරි වසම තුළ බෙරවහේන ආශ්‍රිත ව අක්‍රමවත්ව පවත්වාගෙන යනු ලබන ගල් කොරි කිහිපයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇත. මෙම කළුගල් කොරි හේතුවෙන් 2011 වසරේ ප්‍රදේශයේ පරිසරයට සහ ප්‍රදේශවාසීන්ට සිදු වූ හානිය නිසා ම අධිකරණය මගින් කොන්දේසි සහිත ආඥා නිකුත් කර ඇති අතර, එම කොන්දේසිවලට අනුව ගල්කොරි පවත්වා ගැනීමට නොහැකිව නවතා දමා තිබිණි.

පසුව 2022 මාර්තු 30 දින සිට දඹදෙනියේ පිහිටි ඉන්දික මෙට්ල් ක්‍රෂර් නමැති ආයතනය විසින් අක්කර 23ක පමණ වපසරියකින් යුතු මෙම කළුගල් පර්වතය කැඩීම නැවත ආරම්භ කර ඇත. මෙම ගල්කොරිය සඳහා බලපත්‍ර Jodak International නමින් නිකුත් කර තිබුණද, එය සිදුකරගෙන යනු ලබන්නේ දඹදෙනියේ පිහිටි ඉන්දික මෙටල් ක්‍රෂර් නමැති ආයතනය මගින් වීම ගැටළු සහගත ය.

ගල්කොරිය ක්‍රියාත්මක ගල් පර්වතය ජල උල්පත්වලින් අනූන ජලපෝෂක ප්‍රදේශයක් වන අතර, කඳු මුදුනේ සිට සතර දිශාවට ම භූ ජල උල්පත් විහිදී ගොස් ඇත. 2022 නොවැම්බර් 25 දින ජල සම්පත් මණ්ඩලය විසින් කළ පරීක්ෂණයකින් මෙහි ජල උල්පත් ඇති බවට නිර්දේශ කර ලිපියක් නිකුත් කර තිබේ. හබරව, වදාකඩ, ගින්නෙරිය, වේගොල්ලේමඩ, කදුරුවැල්ල, නාගනේ, කෙහෙල්වත්තහේන සහ හිරිපත්වැල්ල යන ප්‍රදේශවල ජනතාවගේ මූලික ජීවනෝපාය ගොවිතැන වන අතර, මෙම පර්වතය විනාශ කිරීම නිසා ජල උල්පත් සිඳීයාමෙන් ගොවිතැනට බරපතළ ලෙස බලපෑම් එල්ල වී ඇත.

වෙඩි දැමීමේදී හා ගල් කැබලි කිරීමේදී යන්ත්‍ර සූත්‍ර මගින් දිගින්-දිගටම නිකුත් වන අධික ශබ්දය සහ ගල් කුඩු දූවිලි හේතුවෙන් තම ගෙවත්තේ අස්වැන්න භාවිතයට ගැනීම පවා අපහසු වී ඇතැයි මාධ්‍ය හමුවට සහභාගි වූ ප්‍රදේශවාසීහු අවධාරණය කළහ.

මේ පිළිබඳව අදාළ ආයතන සහ නිලධාරීන් කොතරම් දැනුවත් කළ ද, ප්‍රාදේශීය ලේකම්වරිය හැර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාව යන ආයතනවලින් කිසිදු නිලධාරියෙකු මෙම ගැටළුව නිරීක්ෂණයට නොපැමිණි බවත්, වයඹ පළාත් පරිසර අධිකාරිය විසින් 2022 ඔක්තෝබර් 03 දින එම ගල්කොරිය තාවකාලිකව තහනම් කළ ද, නැවතත් 2022 නොවැම්බර් 11 වන දින වයඹ පළාත් පරිසර අධිකාරිය මගින් සී කාණ්ඩය යටතේ පාරිසරික බලපත්‍රයක් මීට නිකුත් කර ඇති බවත් ප්‍රදේශවාසීහු සඳහන් කළහ. එහි සඳහන් කොන්දේසි කඩකිරීම් සම්බන්ධව නිලධාරීන් දැනුවත් කළත්, ඊට අදාළ ව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් වයඹ පළාත් පරිසර අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂණ කිහිපයක් ද සිදුකරන ලදි.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතට අනුව 2000 නොවැම්බර් 22 දිනැති 1159/22 දරණ ගැසට්‌ පත්‍රය ප්‍රකාරව ගල්කොරියක් පවත්වාගෙන යාම සඳහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු අතර, යම් හෙයකින් අදාළ පාරිසරික බලපත්‍රයේ සඳහන් කොන්දේසි කඩකරමින් ක්‍රියාකරන්නේ නම්, ඊට එරෙහිව පියවර ගැනීමේ හැකියාව ඇතත්, වයඹ පළාත් පරිසර අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රදේශයේ පරිසරය විනාශවීමට ඉඩ හැර නිහඬ ව බලාසිටින බව සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී, පරිසරවේදී දිමුතු සඳරුවන් මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් එම අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් පැවසුවේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා පසුගිය දිනක රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩාලවීමත් සමග කළුගල් අපනයනය කිරීමට පියවර ගන්නා බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බවත්, මේ අනුව පැහැදිලිව පෙනෙන්නේ ව්‍යාපාරික හිතවතුන්ට මෙම විනාශයන් කිරීමට ඉඩ සලසමින් රාජ්‍ය මැදිහත්වීමෙන් මෙම විනාශයන්ට සහාය දෙන බවත් ය.

 

leave a reply