අතීතයෙන් උකහා ගත හැකි හර සාරයන් බොහෝය. එය එසේ වී නමුදු කාළානුරූපව වෙනස් කරගතයුත්ත නිසියාකාරව වෙනසකට භාජනය නොකරගනිමින් ගතානුගතිකව මේ විශ්ව ගම්මානයේ හුදකලා ජීවින්ව, ලිං මැඩියන් සේ සිටීමට යත්න දැරීම හෝ කුමන හෝ ලාබ ප්‍රයොජනයක් අරඹයා එසේ සිටිනා ජීවීන් බවට පත්කරළීම එක්තරා විදියක ඛේදයකි. අතීතාගමනය හතර වන දිඟහැරුමේ නිරාවරණය කොතැනටද? , අපි බලමු.
මිනිසකු වශයෙන් ඉපිඳ අපට ජීවත් වීමට ඉඩ හසර සලසා දී ඇති ඉතාම කෙටි ජීවිත කාළය කෙතරම් අර්ථාන්විතව වින්ඳනීයව ගත කරනවාද? අවසාන මොහොතෙහි ආපස්සට හැරී බලා සතුටින් නික්මී යාහැකි මානසික තත්වයක් හෝ භෞතික දියුණුවක් ඔබ අප සතුද? එසේ නොමැති නම් මේ ජීවිතාර්ථය කුමක්ද? අදෘෂමාන ප්‍රවාහයක ඉත්තන් සේ එහාටත් මෙහාටත් ඇදෙන අපදෙස මොහොතකට හෝ නැවතී බැලීමටවත් ඉඩප්‍රස්ථාවක් අපට තිබුණේද? අප අපෙන්ම අසා ගත යුතු ප්‍රශ්ණයක් ඉතිරිව ඇත.
සොබාදහමට , මිනිසා ඇතුළු සත්ව ප්‍රජාව හරහා අවශ්‍ය වනුයේ තම පැවැත්ම උදෙසා වර්ගයා බෝ කරගැනීමය. ආදරය ප්‍රේමය සෙනෙහස හෝ වෙනයම් ලබැඳියාවන් හරහා ඇතිවන කායික සම්බන්ධතා බොහෝමයක අවසානය තවත් ජීවියෙකුගේ උපතයි. නවීන තාක්ෂණය භාවිතයෙන් වර්තමානයේ ක්ලෝනීකරණය හරහා මේ බැඳීම හා සසැදි උත්පත්තීන් යම් අභියෝගයකට ලක්ව තිබුණත් ආදරය ප්‍රේමය මත ඇතිවන බැඳීම මනුෂ්‍ය චිත්ත සන්තානයේ ඇතිවන ප්‍රබලතම බැඳීමයි.
” එයා බ්ලේඩ් එකක් අරන් අත් කපා ගන්න පටන් ගත්තා“
ආදරණීය කායික එක්වීමකින් පසුව මෙළොවට බිහිකරණ දරුවෙකු මෙවන් ඉරණමකට ගොඳුරු කරන්නට දෙමව්පිය ඔබ කිසිසේත් බලාපොරොත්තු නොවූවා විය හැක. නමුත් වර්තමානයේ අතිශයම සුලභව අසන්නට ලැබෙන single parent concept එහෙමත් නැතිනම් single mom concept නොහොත් තනිව මව හෝ පියා විසින් දරුවන් උස් මහත් කිරීමේ සංකල්පය තුළ අසරණ වූ තවත් එක් දරුවෙකුගේ මානසික ඇද වැටීමක ශෝචනීය හඬ එසේ විය.
පුද්ගල රහස්‍යභාවය සුරකිනු වස් අද අතීතාගමනය තුළ කරුණු ගොණුකරන්නන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන නමුත් රටෙහි ප්‍රදේශ කීපයක සමාජ මට්ටම් කීපයක වාසය කරන්නන් බව පමණක් කියනු කැමැත්තෙමි. මේ සියළුම දෙනාම පාහේ දරුවන්ගෙ බර කරට ගත් දැනට නව යොවුන් වියට පා තබන දරුවන් සිටින මැඳිවයස් ආසන්න වූ වන්ය.
මෙහි අන්තර්ගත චරිත සියල්ලම පාහේ කාන්තා චරිත වනුයේ අද දරුවන් හා සමඟ මේ සටනට උර දෙනු ලබන අති බහුතරයක් ඔවුන් නිසාවෙනි. ඒ අතරතුර මව හැර ගිය හෝ මියගිය දරුවන් බලා හදාගන්නා පියවරුන්ද නැත්තේම නොවේ.
“එයා හරිම ආසයි අප්පච්චි ඇවිත් එයාව ඉස්කෝලෙන් ගන්නවට,”
“මොකද uniform එකෙන්නෙ එන්නෙ“
” ඒත් අපි වෙන්වුනාට පස්සෙ , එයාට යාළුවො විහිළු කරන්න ගත්තා,”
“මොකද ඊට පස්සෙ ළමයි ඉන්නවද කියලවත් එයාගෙ අප්පච්චි හොයලා බැලුවෙ නැහැ”
“ඒකෙන් එයා ගොඩක් මානසිකව වැටුණා“
” එකෙන් පස්සෙ තමයි , ගොඩක් තරහ යන්න ගත්තෙ, අත කපා ගන්න පටන් ගත්තෙ“
ඇය වලව් පැලැන්තියක, සැළකිය යුතු සමාජ වටපිටාවක, උගත් නමුත් සම්ප්‍රදායික ගැහැණියකගේ භුමිකාවට ගරුකරමින් ජීවත් වන්නියකි.
එදා ගම්පෙරලිය නවකතාව තුළ මාතර හාමිනේද , කයිසාරුවත්තේගේ වියෝවෙන් පසුව රඟ දැක්වූයේ single parent භූමිකාවමය. ඇය සිය ස්වාමි පුරුෂයා කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ කතිරිනා හා පැවති අනියම් සබඳතා වුවද දැන කතිරිනාගෙ දුව ලයිසාගේ මුහණ ,කට හා මුහන්දිරම්ගේ හැඩහුරුකම්හි සමානතා සසඳමින් ඉවසා මැඳහත් සිතින් කුටුම්බයද සුරකීමේ අභිලාෂය පෙරදැරිව කටයුතු කළ අතර සැමියාගේ වියෝවෙන් පසුව සියල්ල දරා ගනිමින් අභියෝගයන්ට මුහුණ දෙමින් කටයුතු කළ ගරුකටයුතු චරිතයක් විය.
විවාහ වූවාවින් පසුව ගෙවූ වසර 20 පුරාවටම කයිසාරුවත්තේ මුහන්දිරම් තම බිරිඳට බැණ වැදුණු බවක් හෝ කෝපයෙන් රවා බැලූ බවක් හෝ මතකයට ගන්නට බැරිබව මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පවසයි.
නවකතාවක් වුවද එහි නියෝජනය එදා බහුතරයක් ගැමි සමාජයේ සුජීවත් වූ චරිතයන්මය. සංසන්දනාත්මකව බැලීමේදී එදාටත් වඩා අද පවුල් සංසථා තුල ඇතිවන අඬදබර දැඩිලෙස දරුවන් කෙරෙහි බලපෑමක් ඇති කරණවාසේම ප්‍රශ්ණයක් දරා ගැනීමේ ධාරිතාව මව පියා යන දෙකොටස තුලින්ම දියාරු වෙමින් යනු ලබන බවට සාධක ඕනෑ තරම් මේ සමාජය තුළින්ම අහුලාගත හැකිවේ.
එදා ගැහැණිය පිරිමියාටත්, පිරිමියා ගැහැණියටත් දැක්වූ ගෞරවය අද බොහෝ සේ දෙදරා ගොසිණි. පිරිමියා තම භූමිකාව නිසිලෙස වඟකීමකින් නොකිරීමත්, එලෙස වඟකීම් සහගත වූවා වුවද පාලනය කළ නොහැකි වන ලෙස ගෝලීය ආර්ථිකයේම කඩා වැටීම තුළ ගැහැණු භූමිකාව විස්තාරණය වී තිබීමත් මෙයට එක්තරා හේතුසාධකයකි.
දික්කසාදය මොනයම් හෝ කාරණාවකට සිදුවුනත් දෙමව්පිය භූමිකාවෙන් කිසිවිටකත් බැහැර වීමට ඔවුනට නොහැක. අවාසනාව මේ කතාවේ පිරිමි භූමිකාවෙහි සිත් පිත් නැති භාවයමය. තම ලෙයින් හැදූ දරුවන් කෙසේ උස් මහත් වෙත්දැයිවත් සොයා නොබැලූ මෙවන් පියවරු සමාජයටම කරණුයේ දැඩි අසාධාරණයකි. ආදරණීය කායික එක් වීමකින් මෙලොවට බිහි කළ දරුවාගේ මානසික සුවතාව උදෙසා ඔවුන් ඇපකැප නොවූයේනම් සමාජයට දායාද කරණුයේ පරිපූර්ණ දරුවකු නොවේ.
” එයා කවදාවත් marry කරන්නෙ නැහැ කියනවා, ”
” දවසක් එයා අප්පච්චි බලන්න යන්නම ඕන කියලා ගියාම දැකලා එයා එයාගෙ අලුත් wife එක්ක ඉන්නවා“
” එදා ඇවිත් කෑ ගහලා ඇඬුවා ”
” එයා අප්පච්චි ට ගොඩක් ආදරේ කළා”
ඇය තවදුරටත් එසේ පැවසීය.
කුමන concept පැමිණියද දරුවා යනු දෙමව්පියන්ගේ කායික එක්වීමකින් සැදුම් ලත් අඟනා වස්තුවකි. එය මටසිළුටු අයුරින් රැකබලාගෙන ඔපමට්ටම් කොට සමාජයට දායාද කිරිමේ වඟකීම දෙදෙනාම සතුය. එක වහළක් යට රංඩු සරුවල් කරගනිමින් එම දරුවන් මානසික අවපීඩනයක කොටස් කරුවන් කරනවාට වඩා අවබෝධයෙන් වෙන්වීම හෝ එකම වහලක් යට වෙන්ව වාසයට ඉඩ සකසා ගැනීම වටි. දරුවන්ගෙ මනසට එමඟින් ඇති කරණ බලපෑම අවම කරගැනීමට දෙදෙනා තුලම යම් පරිචයක් තිබිය යුතුමය.
” අපි වෙන්වුනාට එයා පුළුවන් හැම වෙලේම වෙනද වගේ බබලාත් එක්ක time spend කළා.”
” ඒ කියන්නෙ එයා වෙනද හිටපු විදියටම ඇවිත් එයාලත් එක්ක සෙල්ලම් කරණවා. “
” මම ඒ වෙලාවට මගේ වැඩවලට එළියට යනවා” “Then they spend the time”
” ඒ නිසා එයාලාට අපි දෙන්නගෙ divorce එක දැණුනෙ නැහැ කියලා මම හිතන්නෙ“
ආර්ථිකමය වශයෙන් ස්ථාවරයක සිටියාවූ තවත් single mom කෙනෙක්ගේ ගෙනහැර පෑම එසේ විය.?
” මම නම් හිතන්නෙ එකට ඉන්න බැරිම නම් වෙන් වෙන එක හොදයි“
” හැබැයි ළමයිනුත් එක්ක තියාගන්න communication එක ගොඩක් වටිනවා.”
” ඒ වගේම එගොල්ලො ළමයි ඉස්සරහ එක්කෙනාට එක්කෙනා respect කරලා ඉන්න එකයි ගොඩක් වටින්නෙ, මොන ප්‍රශ්ණය තිබුණත්“
ඇය තවදුරටත් මෙසේ පැවසීය.
“ළමයින්ගෙ හිත් හදන්න කලින් අපේ හිත් හදන් ඉන්න ඕන.”
” මොකද ඒ vibe එක තමයි හැමෝටම යන්නේ“
” මොකද ළමයි කියන්නෙ කිරි දෙන දවසෙ ඉඳන් අපිව දැනෙන දරුවොනෙ ඉතිං, ඒ ගොල්ලො, නේ ? “
“අපේ පොඩි වෙනසක් තිබුණත් ඒ ගොල්ලන්ට දැනෙනවා“
” අම්මගෙ bitterness එක බබලාට ගොඩක්ම බලපානවා“
ඒ ඇඟේ කතාවේ එක් පැතිකඩකි. දෙමව්පියන්, ආර්ථිකමය වශයෙන් ස්ථාවර වීම , ආකල්පමය දියූණුව, ඕනෑම දෙයක් සම්බන්ධව ඔවුන් සතු පුළුල් දැක්ම, ලෝකයේ වත්මන හා යාවත්කාලීන බව මෙවෙනි ප්‍රශ්ණයකදී දරුවන්ගේ මානසිකත්වය කෙරෙහිද ධනාත්මකව සෘජු බලපෑමක් ඇතිකරවයි.
” මුලදි හරියටම අවුරුදු දෙකක් මම සම්පූර්ණයෙන්ම එයාලට කැප වුණා.”
” මට ඒකට ඒ වෙලාවෙ ආර්ථික ශක්තිය තීබුණා.”
” මගෙ පවුලේ අය හැමෝම අපිත් එක්ක හිටියා, තනිවෙන්න දුන්නෙ නැහැ“
” ඒ නිසාම එයාලට ඒක තදින් දැණුනෙ නැහැ.”
තනිවුණ එහෙමත් නැත්නම් single parent කෙනෙක්ට , තම පවුලේ සහයෝගය කෙතරම් අගනේද? පෙර අතීතයේ විසූ දරුවනුත් මෙවෙනි අවස්ථාවන්ට මුහුණදී නැතිවා නොවේ. එහෙත් “පුංචි පවුල රත්තරන් ” යැයි නොකී එදා, අප්පච්චි , අම්මා නැති කළ දරුවන්ට, ඒ හා සමානවම ආදරය දිය හැකි අත්තා , අත්තම්මා ඇතුළු නෑදෑ සනුහරයක් ඉඳ ඇත. එය අද මෙන් දරුවන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් නොකොට ආරක්ෂා කරගැනුමට රුකුල් දුන්නාට සැක නැත.
” මගෙ ජීවිතේ එක වචනයකින් එයාට බැනල නැහැ ළමයි ඉස්සරහ “
” කොයිපැත්තෙන් ගියත් financially stable නම් මේ වගේ ප්‍රශ්ණ වලට මූණ දෙන එක ලේසීයි.”
” මගේ ජීිවතේ මේ වගේ success කරගන්න බැහැ business පැත්තෙන් එයා ළඟ හිටියනම්, objections , restrictions වැඩියිනෙ.”
එය single mom කෙනෙක් වූ ගැහැණියකගේ තවත් පැතිකඩකි. ලංකාව වැනි සම්‍ප්‍රදායික මානසිකත්වය සහිත රටක මිනිසුන් ආකල්පමය වශයෙන් දියුණු නොවෙනා තාක්කල් රටේද දියුණුව ඇනහිටීම නවත්වාලනු නොහැකියැයි හැගෙන්නේ, උගත් මෙන්ම තම ශ්‍රමය රටේ ආර්ථිකය නංවාලීමෙහි ලා දායාද කළහැකි ගැහැණුන් අති විශාල ප්‍රමාණයක් ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිතව වුවද විවාහයෙන් පසුව ගෙදර වැඩට සේම ළමුන් සෑදීමට පමණක් කොටුවන නිසාවෙනි.
පිරිමියාට ගෙදරක සියළු ආර්ථික බර කරට ගතහැකි නම් ගැහැණියකගේ සේවා වියුක්තිය ප්‍රශ්ණයක් නොවේ. මන්ද අම්මා සෙවනෙහි හැදෙන දරුවා මනා සෞඛ්‍ය සම්පන්නව සේම මානසික සෞඛ්‍ය අතින් ඉහළ පරාසයක සිටීමත් උගත් මව් සෙවෙනෙහි ඇතිදැඩි වන එම දරුවා අනාගත ලෝකයට පරිපූර්ණ ආයෝජනයක් වන නිසාවෙනුත්ය. නමුදු ආර්ථික ශක්තිය දුර්වල, මුදල් කළමනාකාරීත්වය අඩු පවුලක ගැහැණියක් තව දුරටත් රැකියා වියුක්තව සිටිය යුතු නොවන්නේ මුදල් බොහෝ භෞතික මෙන්ම මානසික ප්‍රශ්ණ වලටද සෘජු බලපෑමක් ඇතිකරනු ලබන හේතු සාධකයක් බවට පත්වී ඇති නිසාවෙන්ය.
” කොච්චර මොන දේ කිව්වත්, අපි කොයිතරම් මොන විදියට convince කරන්න හැදුවත්, parents ලගෙ divorce එක ළමයින්ට සම්පූර්ණයෙන් influence වෙන්නෙ නැහැමයි කියන්න බැහැ.
” ඒක මම දකිනවා සමහර වෙලාවට school events වලට අපි දෙන්න එකට ඇවිත් වාඩි වෙලා ඉන්නවා දැක්කම“
” මට පෙණුනා ඒ ගොල්ලන්ගෙ මූණවල් වල යන හිනාව, අර අපි දෙන්න එකට ඉන්නව දැක්කම“
” හරි පවු ඉතිං, වයස කොච්චර වුනත් ඒ දැණිල්ල නම් ඉතිං,” ඇය සුසුමක් හෙළීය.
“මමනම් කොහොමටවත් හිතන්නෙ නැහැ එයාලා කොහොම හැසිරුණත්, ඒ pain එක නැති වෙනව කියළා එයාලගෙ.”
” ඒක අනිවාර්යයෙන්ම තියනව” ඇය තවදුරටත් කඬාවැටුණ බිඳුණු ස්වරයකින් පැවසීය.
“එයාලගෙ ඇස් වල තියන glow එක” දකින කොට, ” ඒ වෙලාවට නම් ගොඩක් දැනෙනවා වගේම, මොන විදියකට හරි එකට ඉන්න තිබුණා නම් හොදයි කියලා හිතෙනවා.”
අපි කුමන දේ හිතා අපව සනසාලන්නට උත්සාහ කළද දරුවන්ට තිබෙන එකම සැනසීම ආරක්ෂාව තම මව්පිය තුරුළයි. එය අහිමි කිරීමට අපට කොයිතරම් සාධාරණ අයිතියක් ඇත්ද නැත්ද පිළිබද පැනය අදාළ ප්‍රශ්ණ අනුව සාපේක්ෂ වන නමුත්, ඉතාම කුඩා දේටත් ඉවසීමකින් තොරව ඉවක් බවක් නැතිවා සේ දරුවන් සිටින දෙමව්පියන් රැල්ලට දික්කසාද වීම නම් අනුමත කළ නොහැක්කේ එය මල්වගේ දරුවන්ට කරණු ලබන්නාවු අනිසි බලපෑම නිසාමය.
” අම්මා divorce වුනොත් මම school එකේ building එකට නැඟලා පනිනවා.”
මෙය එක් දරුවකුගේ ප්‍රතිචාරය විය. එම ප්‍රතිචාරයම දික්කසාදය නතර කරලීමට හේතු වී ඇත.
” අපි තාමත් එකම ගෙදර ඉන්නවා.”
” හැබැයි physical connection නැහැ“
” දැන් ප්‍රශ්ණ ගොඩක් දුරට අඩුයි වගේම, බබාලටත් බලපෑමක් නැහැනෙ“
එකට සිටීමට බැරිම නම්, කතාබහකොට දික්කසාදයට නොයා එවන් විසදුමකටවත් යා හැකිනම් එක්තරා විදියකට දරුවන්ට සිදුවන අනිසි බලපෑම අඩුකරගත හැකියයි සිතුවද තවදුරටත් එකට සිටීමේදී රංඬු සරුවල් වෙමින් එකිනෙකා කෑ කොටා ගන්නවානම් එය දරුවන්ට අන් සියල්ලන්ටම වඩා අනිටු ප්‍රතිවිපාක දිය හැකි සංසිද්ධියක් වනු නොඅනුමානය.
” මම එයත් එක්ක හිටියනම් , මට මේ achievement එකකටවත් යන්න හම්බවෙන්නෙ නැහැ“ “මගේ success එක වෙනුවෙන් දැන් මම 100% දෙනවනෙ.” මම ඒ පැත්තෙන් සතුටින් ඉන්නවා” “අම්මා සතුටින් නම් දරුවොත් සතුටින්“
” මම entrepreneur කෙනෙක් වුනේ මෙච්චර දියුණු තත්වෙක ඉන්නෙ , එයාගෙන් divorce වුණ නිසා. නැත්නම් මට මෙහෙම business වැඩ වලට focus කරන්න පුළුවන් වෙන්නෙ නැහැ“
” මට මාව නැතිවේගෙන ගියේ. තවදුරටත් එකට හිටියනම් mental hospital එකක තමයි නතර වෙන්නෙ“ ” දැන් එක ගෙදර ඉන්නව වුනත් අපි අතර කිසිම සම්බන්ධයක් නැහැ.” “රංඩු අඩු නිසා බබාලත් සතුටින්” මටත් ලොකු මානසික නිදහසක් දැනෙනවා“
” මම කොහොමහරි ළමයි ලොකු කරගත්තා, ” දැන් එයාලා තනියම එයාලගෙ jobs කරගෙන independently ඉන්නවා, ” ඇත්තටම මෙහෙම ඉන්න එක ලොකු නිදහසක් “
මේ එකම රටක වෙසෙන අම්මාවරුන් කීප දෙනෙකු single parent සංකල්පය පිළිබදව පළකාලවූ අදහස්ය.
ඒ පිළිබද නිර්ණායකයක් දෙන්නට කිසිදු උත්සාහයක් නොගනිමි, එය පාඨක ඔබටම පවරමි. තුවාලයෙහි වේදනාව දන්නෙ තුවාලය ඇති තැනැත්තා බවත් ප්‍රශ්ණය ඔබේ නොවෙනා තාක්කල් උත්තර දාර්ශනික බවත් අසා ඇත්තෙමි.
දික්කාසාද වනුයේ විවාහය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැව් දෙදෙනාගේම හෝ එක් අයෙකුගේ කැමැත්ත මත හෝ අවසන දෙදෙනාම එකඟතාවයකට පත්වීමෙන් පෙරාතුවය. එය එදත් අදත් මතුවටත් කුමන අනිසි ප්‍රතිඵල ඇතැයි අප දැනුවත් කළද සිදුවීම වැළැක්විය නොහැකි වනු ඇත.
එසේ නම් සිද්ධ විය යුත්තේ කුමක්ද? නිසි අවබෝධයට පත් වී නොගැලපීම් අවම කරගන්නා විවාහයන් සිද්ධ වීමට නම්, නීතිමය විවාහයකට යාමට පෙරාතුව ඒ අවබෝධය ලබා ගැනීමට නම් එකට කාළයක් ජීවත් වීමෙහි වරදක් තිබේද?
බටහිර ලෝකය තුළ පවතින “living together concept” එක කොයිතරම් දුරකට ප්‍රායෝගික වේද?
කොළයක අත්සන් කොට විවාහයට පත්වීමේ නීති ගෙන ඒමට පෙරාතුව අපරට තුළද සම්ප්‍රදායික විවාහ චාරිතානුකූලව පමණක් විවාහයට පිවිසි මුතුන් මිත්තන් කෙසේ ජීවත් වුයේද?
ජීවිතාර්ථය, සතුටින් , නිදහස අගයමින් එකිනෙකාට උපරිම ගෞරවයෙන් ජීවත් වීම නම්, තම ලෙයට ජාතක වූ දරුවන්හට නිසි ආරක්ෂාව මඟපෙන්වීම ලබාදෙමින් මේ ලැබුණ කෙටි ජීවිත කාළය උපරිමව විඳිමින් ගත කළයුත්තේ කෙසේද?
මේ බොහෝ ප්‍රශ්ණ වලට අප පිළිතුරු සෙවිය යුතුය. මන්ද අපට සොබාදම ලබාදී ඇත්තේ ඉතාම කෙටි කාළයකි. වැලපීමට, විඳවීමට කාළය අපතේ හල නොහැක.
එකිනෙකාට උපරිමව ආදරය කරමු, ගෞරවය , නිදහස ලබාදෙමු, පටු ආකල්ප බැහැර කොට නිදහස් මනසකින් ලෝකය දකිමු. දරුවන් උතුම්ම සම්පත හෙයින් ඔවුන් සමණල පියාපත් සේ සුරකිමු, ඒ මෙළෙක් සිත් මත බර අඩි නොතබන්න වඟබලා ගමු.