Breaking News

බාල ඖෂධ ගෙන්වීමේ ප්‍රශ්නය යටගහන්න ආසාත්මිකතාවය ගැන විතරක් හොයන්න කමිටුවක්

ලියාපදිංචි නොකළ බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ හිඟය ඇතුළු සෞඛ්‍ය සේවය මුහුණ දෙමින් සිටින සමස්ථ ප්‍රශ්නය වෙනත් දිසාවකට යොමුකිරිම ආණ්ඩුව කටයුතු කරමින් සිටියි. එයට හේතුව මෙම ඖෂධ ප්‍රශ්නයේදී කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රමුඛ ආණ්ඩුවට එල්ලවන විරෝධය යටපත් කිරීමයි. ඒ අනුව අසාත්මිකතාවය හේතුවෙන් මියගිය රෝගීන් පිළිබඳ සෙවීමට පමණක් කමිටුවක් පත්කර තිබේ.

සෞඛ්‍ය වෘත්තිකයන්, ප්‍රගතිශීලි දේශපාලන කණ්ඩායම් වැනි බොහෝ දෙනෙක් හෙළිකළ තිබූ තොරතුරු අනුව රෝගීන් මිය යාමේ සැබෑ හේතුව ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමයි. ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරී පනත වැරදි ලෙස පාවිච්චි කරමින් සෞඛ්‍ය ඇමතිට ඇති ලියාපදිංචිය අත්හැරීමේ ලිපි නිකුත් කිරීමේ බලය පාවිච්චි කරමින් තිබෙන බව හෙළිවිය.

ලියාපදිංචිය අත්හැරීමේ ලිපි 764ක් නිකුත් කරලා

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්ණය රෝගීන් අසාත්මිකතාවයට ගොදුරුවීම පමණක් නොවන බවයි.

” පසුගිය වසරේ පමණක් ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වීම සඳහා ලිපි 764ක් නිකුත් කර තිබෙනවා. මේ වසරේ දැනටමත් 500කට වඩා වැඩි ඖෂධ ප්‍රමාණයක් ලියාපදිංචියෙන් තොරව ගෙන්වලා තියනවා. ඒවා අසාත්මිකාතා ගැටළු නෙවේ. මේ සියල්ල නැවත රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කල යුතුයි.”

අසාත්මිකතාවය පිළිබඳ විශේෂඥයෙක් (Allergist) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නෑ. හදිසි ආසාත්මිකතාවයට ලක්වූ රෝගීන් කළමණාකරණය පිළිබඳව ප්‍රතිපතිමය තීරණ ගැනීමට එම විශේෂඥතාවය ඇති මහාචාර්‍ය චන්දිම ජීවන්දරව වහාම අදාල විමර්ෂණ කමිටු වලට පත් කරන්න

තීරණය සාක්කූවේ දාගෙන යන කමිටු වලට මේ ගැටළු විසඳන්න බෑ. රෝගියාගේ පැත්තේ හිටගෙන, ගැටළුව දිහ බලන්න පුළුවන් වෙනතුරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ ගැටළුවට උත්තර හොයන්න බැහැ” වෘත්තීය සමිති නායක රවී කුමුදේෂ් පවසා තිබේ.

රෝගීන් මිය යාම සම්බන්ධ පරීක්ෂණ වාර්තාව සති 03න්

මේ අතර අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වාර්තාව සති 3 කින් පමණ ලබාදීමට බලාපොරොත්තුවන බව කෙහෙළිය පත්කළ කමිටුවේ සමාජික වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම සිදුවීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව අද (18) රැස්වී ඒ සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ සාකච්ඡා කරන බවයි.

එම කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් ය. මහාචාර්ය චන්දිම ජීවන්දර, මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති, මහාචාර්ය නිතුෂි සමරනායක, මහාචාර්ය එස් එස් පී වර්ණකුලසූරිය, ආචාර්ය සෙනිත් ලියනගේ සහ ආචාර්ය පිලිප් එච් ලී එම විශේෂඥ කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

 

leave a reply