Breaking News

කොරෝනා අවදානමක් ප්‍රකාශයට පත් නොකළේ ජනතාව බියවෙයි කියලා – ඉතාලියේ ලාංකික සහයෝගිතා සංවිධානය 

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගතය චීනයට පසු වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් තිබෙන රටක් ලෙස ඉතාලිය ලෝකයේ අවධානයට ලක්ව තිබෙනවා. ලංකාව තුළත් වාර්තා වූ කොරෝනා රෝගීන් බහුතරයකට එය වැළඳී තිබෙන්නේ ඉතාලියේදීයි. එසේම විශාල ලාංකිකයන් පිරිසක් ඉතාලිය තුළ වාසය කරනවා. මේ සියලු කාරණා හේතුවෙන්, ඉතාලි ජනතාව මේ වසංගත තත්ත්වයට මුහුණ දෙන ආකාරය ගැන ‘ලංකාවිව්ස්’ අපි ‘ඉතාලි ශ්‍රී ලංකා සහයෝගීතා ව්‍යාපාරයේ’ නියෝජිතයෙකු සමඟ පැවැත්වූ සම්මුඛ් සාකච්ඡාවක් ඇසුරින් කළ සටහන පහත පළ කරමු.

ඉතාලිය තුළ මේ වෙනකොට කොරෝනා වසංගතය පැතිරෙන එක වළක්වන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද?

මුලින් කියන්න ඕන මාර්තු 13 වනදා වන විට ඉතාලියේ 17,600ක් පමණ ආසාදිත තත්ත්වයේ ඉන්නවා කියලා වාර්තා වුණා. 1266ක් මරණයට පත්වෙලා. 1439ක් සුව වෙලා නිවෙස්වලට ගිහින් තියෙනවා. චීනය තුළ කොරෝනා වයිරසය පැතිරෙන අවස්ථාවේ ඉතාලිය විසින් මේ සම්බන්ධ පූර්ව සූදානම් පියවරක් ගන්නෙ නැද්ද කියලා විමසපු අවස්ථාවේ ඉතාලි පාලකයන්ගේ පිළිතුරු වුණේ ඔවුන් ලෑස්ති වී සිටින නමුත් එය ප්‍රසිද්ධ නොකරන්නෙ ජනතාව කලබලයට පත්වේයයි කියන බිය නිසා බවයි. සීත කාලය ඉවර වෙලා යම් උණුසුම් කාලයක් ඇතිවෙන කාලයේ සාමාන්‍යයෙන් ඉතාලිය ඇතුළු යුරෝපයේ ඉන්ෆ්ලුන්සා උණ රෝගය පැතිරෙනවා. මේ සුපුරුදු උණ රෝගයට කොරෝනා වසංගතයත් එකතු වීම නිසා ඉතාලිය තුළ තත්ත්වය බරපතල වෙලා. කෙසේවුවත්, පෙබරවාරි 22 දායින් පසුව රෝගය ඉතාලිය තුළ පැතිර ඇති බවට මත පළවෙන්න ගත්තයින් පසු ඉතාලි ආණ්ඩුව යම් යම් ක්‍රියාමර්ග ගැනීම ආරම්භ කළා. ජාතික ආණ්ඩුවෙන් යම් පියවරක් ගන්න කලින් වැඩිම අවදානමකට ලක්වුණු ලොම්බර්දියා, වෙනේතෝ , වෙනිසියා, ෆ්රුලි කලාපවල ප්‍රාදේශීය ආණ්ඩු එම කලාප රතු කලාප ලෙස නම් කරා. පසුව ජාතික ආණ්ඩුව කැබිනට් මණ්ඩලය සහ මෙම ප්‍රාදේශීය ආණ්ඩුවල නියෝජිතයින් රැස්කර පැවැත්වූ සාකච්ඡාවේදී මතුවූ කාරණයක් වෙලා තියෙන්නේ මෙම ප්‍රාදේශීය ආණ්ඩු සෞඛ්‍ය ප්‍රතිපත්ති කඩ කරමින් තීරණ ගෙන ඇති බවයි. මේ අනුව මුල් සති එකහමාරක් පමණක් කලාප කිහිපයක් පමණක් නම් කරලා යම් ගමනා ගමන සීමා පැනෙව්වා. ඒ කලාපවලින් වෙනත් කලාපවලට යන අය සම්පුර්ණයෙන් වැළැක්වූවේ නැති නිසා එය සාර්ථක වුනේ නැහැ. මාර්තු 8වනදා වෙනකොට තව කලාප මේකට එකතු කළා. නමුත් ඉන් දවසකට විතර පස්සේ මුලු ඉතාලියම ආරක්‍ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් හැකි තාක් නිවසට වී සිටින ලෙස ඉතාලි රජය ජනතාවගෙන් ඉල්ලුවා . ඉන් පෙර ජනතාව තුළ මුඛ ආවරණ පැළඳීම ගැන හරි අදහසක් තිබුනෙත් නැහැ. මුඛ ආවරණ පළඳින ජනතාව දිහා සැකයෙන් බලන නිසා බොහෝ පිරිසක් මුඛ ආවරණ පැළඳුවේ නැහැ.

විවිධ කලාප රතු කලාප ලෙස නම් කිරීමට වඩා මුළු කලාපයම ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කිරීම සාර්ථක වුණා. කොරෝනා වසංගතය නැවත්වීම සඳහා සාර්ථකම ක්‍රමයක් ලෙස සති දෙකක කාලයක් සම්පුර්ණයෙන් ඇඳිරි නීතිය දැම්මා වගේ නීතියක් ක්‍රියාත්මක කිරීම සාර්ථක වෙයි කියලා අදහසක් තියෙනවා. නමුත් එය කෙළින්ම ආර්ථිකයට බලපාන නිසා ඉතාලි ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගයට නොයන බව පේන්නේ තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන කියලා ක්‍රමයක් ඉතාලියේ ක්‍රියාත්මක නැහැ.

ඉතාලියේ සෞඛ්‍ය සේවය මේ මොහොතේ ක්‍රියාකරන්නේ කොහොමද ඒවගේම සෞඛ්‍ය සේවයේ දුබලකම කොරෝනා පැතිරීම සඳහා බලපෑවද?

යුරෝපයේ වෙනත් රටවල් එක්ක සැසඳුවාම ඉතාලිය සෞඛ්‍ය සේවාව යම් යහපත් තත්ත්වයක තිබුණු රටක්. එහි යම් කිසි ශේෂයන් තවමත් තියෙනවා. රෝහල්වල හදිසි රෝග ප්‍රතිකාර ඒකකය ආශ්‍රිතව තාවකාලික කූඩාරම් නිර්මාණ කර රෝගීන් එකීනෙකාගෙන් වෙන් කර මූලික පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඊට පසුව රෝගය ඇති බව වටහා ගන්නා රෝගීන් වසංගත රෝග වාට්ටු වෙත යොමු කරනවා. මේ වෙනකොට මුහුණ දීලා ඉන්න ප්‍රධාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළුවක් වෙන්නේ ස්වශන යන්ත්‍ර ප්‍රමාණවත් නොවීම. එම යන්ත්‍ර අලුතෙන් මිලයට ගැනීම සඳහා ආධාර කරන්න කියලා ආධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

මුල් සතිය තුළ පමණක් රෝගය පරික්ෂා කිරීමේ කට්ටල ලක්ෂ ගණනක් ඉවර වෙලා තිබුන නිසා පසුව බලධාරීන් තීරණයකට ඇවිත් තිබුණා උණ තිබුන පලියට රෝගය තිබේද යන්න පරික්ෂා කරන්නෙ නැහැ. දින කිහිපයක් නිවෙස් තුළ තබා පරික්ෂා කරන්නත් උත්සන්න අවස්ථාවකදී පමණක් රෝහලට රැගෙන යන්නත් කටයුතු කරනවා.

මේ වෙනකොට බෝවන රෝග සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සහ මැඩ පැවැත්වීමට අදාළ පහසුකම් සැපයීමට තිබුනු හැකි රෝහල් දෙකක් පමණයි ඉතාලිය තුළ ඉතිරිවී තිබෙන්නේ. අපි අවුරුදු 25ක් විතර වෙනවා ඉතාලියට ඇවිත්. මුල් කාලයේ සියයට සියයක් නොමිලේ සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වුණා. 2000 වසර විතර වෙනකොට පුද්ගලීකරණයේ පළමු අදියර ක්‍රියාත්මක කරන්න ගත්තා. ඒ අනුව තිබුණ බොහෝ පහසුකම් කප්පාදු කරන්න ගත්තා. ඉස්සෙල්ලා හදිසි අනතුරු ඒකකකයට යන ඕනෑම කෙනෙක්ට ඉතා ඉකමනින් සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ක්‍රමයක් තිබුණා. නමුත් දැන් යන රෝගීන් විවිධ කොටස්වලට වර්ග කරනවා. ඒ වර්ග කිරීමේදී හදිසි ප්‍රතිකාර අවශ්‍ය අයට විතරයි මුල් තැනක් දෙන්නෙ. අනිත් අය පැය ගණනක් රෝහලේ රස්තියාදු විය යුතුයි. පවුලේ වෛද්‍යවරයෙක් හමු වෙන්නත් දින දෙකකට විතර කලින් වෙලාව වෙන් කරගැනීමක් කළ යුතුයි. මේ වෙනකොට ඉතාලි සෞඛ්‍යයේ පිරිහෙමින් යන තත්ත්වය වර්ධනය කළ යුතුයි කියන සංවාදය නැවත ඇවිත් තියෙනවා.

චීනයෙන් සහ කියුබාවෙන් විශේෂ කණ්ඩායමක් ඉතාලියට සහාය දැක්වීම සඳහා පැමිණ තිබෙන බවට මතයක් තියෙනවා?

මේ වෙනකොට ‘අපි ඉතාලිය තනි කරන්නෙ නැහැ’ කියන පාඨය යටතේ චීනයෙන් විශේෂඥ කණ්ඩායමක් උපකරණ තොගයක් සමඟ පැමිණ ඉන්නවා. නමුත් තවමත් කියුබාවෙන් එවැනි සහයක් ලැබිලා තියෙනවද කියලා තොරතුරක් නැහැ. ඉතාලි ආණ්ඩුව වෙනත් යුරෝපා රටවලිනුත් ඉල්ලීමක් කර තිබුණා අපි එකට එකතු වෙලා මේ වසංගතයට මුහුණ දෙමු කියලා.

ඉතාලි ජන ජිවිතයට මේ වසංගත තත්ත්වය බලපා තියෙන්නෙ කොහොමද?

මේ වෙනකොට ජනතාව ගැවසෙන ස්ථාන වසා දමා තිබෙනවා. නිෂ්පාදන කටයුතු සිදුවෙන ස්ථාන සඳහා විශේෂිත ආරක්‍ෂිත උපාය මාර්ග අනුගමනය කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දමන්න උපදෙස් දීලා. මුලින්ම චීන සහ ජපන් අවන්හල් වසා දැම්මා. දැන් බොහෝ අවන්හල් ,බාර්, වෙළඳ සල් වසා දමා තියෙනවා. ගමනා ගමනය බොහෝ සීමා සහිතව සිදුවෙන්නෙ. යම් කිසි කෙනෙක් නිවසින් එලියට හෝ තමන් සිටින පළාතෙන් එළියට යනවනම් සාධාරණ හේතුවක් සටහන් කරපු සහතිකයක් ළඟ තබා ගතයුතු වෙනවා. පරික්ෂා කිරීමකදී එය සාධාරණ හේතුවක් නම් පමණක් එම පුද්ගලයාට යන්න දෙනවා. නැත්නම් දඩයකට ලක්වෙන්න විතරක් නෙමෙයි උසාවියට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේම ජනතාවට ගෙවීමට ඇති බදු හෝ බිල්පත් ගෙවීමට කාලයක් ලබාදීම සඳහා නීති ප්‍රතිසංස්කරණයක් ගෙන්න ඉතාලි ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඒවගේම ආණ්ඩුවේ නියෝගය අනුව නිෂ්පාදන කටයුතු නැවැත්වූ සමාගම් වෙනුවෙන් යම් සහන ලබාදෙන්නත් ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

අපි ලංකාවේදී ඇති හැකි අය පුළුවන්තරම් බඩු මිලදී ගන්න තත්ත්වයක් තියෙනවා අපි දැක්කා. ඉතාලිය තුළ මේ තත්ත්වය ඇතිවෙන්න පටන් ගත් මුල් දින දෙකේ පමණ එහෙම තත්ත්වයක් තිබුණා. නමුත් ඇත්ත තත්ත්වය ගත්තොත් ඉතාලියේ ආහාර හිඟයක් ඇවිල්ලා කන්න නැතිවෙයි කියලා කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ. ඉතාලියේ අධි නිෂ්පාදන ගබඩා කරලා තියෙනවා. සමහර භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හරිම ඇනහිට ඇති නිසා එම භාණ්ඩ වෙළඳ පොළේ නැහැ. විෂබීජහරණය කිරීම සඳහා එතනෝල් භාවිත කරන්න කියලා උපදෙස් ලැබුණත් එතනෝල් හිඟයක් මේ වෙනකොට තියෙනවා. ඒකට තව විදිහකින් චීන වෙළඳපොල කටයුතු ඇනහිටීම බලපාල තියෙනවා.

 

සෞඛ්‍ය සේවයේදී හෝ ලාංකිකයන්ට වෙනස්කොට සැළකීමක් නැහැ. ඒවගේම ලංකා ආණ්ඩුව හෝ තානාපති කාර්යාලය කරපු කිසි කාර්යභාරයක් නැහැ. රෝගීන්ගේ අනන්‍යතාවය හෝ එළිදරව් කරන්නෙ නැහැ. මහේදී රෝගය වැළඳුනු ලංකික කාන්තාව මේ වෙනකොට සුවය ලබා නිවසට පැමිණ තිබෙනවා. ඊට අමතරව මිලානෝවල ලාංකිකයන් දෙදෙනෙකුට වයිරසය අසාධනය වෙලා ඇති කියන ආරංචිය පැතිරෙනවා. ඒවගේම බ්‍රෙසියා ප්‍රදේශයේ වයස්ගත රෝගීන් බලගාන්නා ස්ථානයක සේවය කරන කාන්තාවකට වැළඳිලා කියන ආරංචිය තියෙනවා. ඊට අමතරව ලාංකිකයන් අතර රෝගයෙන් බේරීම සඳහා යම් යම් මිත්‍යා විස්වාස අනුගමනය කළ යුතු බවට මතයක් පැතිරෙනවා. පසුගිය දිනවල එක්තරා ආගමික කණ්ඩායමක් කණ්ඩායම් වශයෙන් රැස්වීම තහනම් කර තිබියදී ගෙයින් ගෙට යමින් ආගමික වතාවත් පැවැත්වුවා. මේ හරහාත් රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා.

leave a reply

Hits

Must see news