Breaking News

ICCPR පනත කාලයක් තිස්සේ යොදාගන්නේ මර්දනයට සහ ජනතාවට ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න – නීතිඥ ස්වස්තිකා අරුලිංගම්

ශ්‍රී ලංකා පොලීසිය නතාෂා එදිරිසූරියව ප්‍රකාශනයක් මත අත්අඩංගුවට ගෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ නොතකා, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ බන්ධනාගාරගත කිරීම පිළිබඳ කලාකරුවන්, මාධ්‍ය ක්‍රියාකාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් අදහස් දක්වන මාධ්‍ය හමුවක්, මැයි 29 වැනිදා පැවැත්වීය. එම මාධ්‍ය හමුවේදී නීතිඥ ස්වස්තිකා අරුලිංගම් පලකළ අදහස්වල දළ පරිවර්තනයක් පහත දැක්වේ.

“නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට අරන් තියෙන්නේ ICCPR පනතේ 3 වෙනි වගන්තිය යටතේ. ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් වූ නතාෂා මේ වගන්තිය යටතේ අත්අඩංගුවට ගත්තේ ඇයි කියන කියන ප්‍රශ්නය තියෙනවා. මම නීතිඥවරියක් ලෙස කීමට ඇත්තේ මෙය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් බවයි. මේක නතාෂා අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක ඊට වඩා විශාල ප්‍රශ්නයක්. මෙය පෙන්වනවා කොහොමද ලංකාවේ ආණ්ඩුව ICCPR පනත කාලයක් තිස්සේ යොදාගන්නේ කියලා. මම දෙමළ ජාතිකයෙක් ලෙස මම දන්නවා මෙම පනත අවස්ථා ගණනාවකදී සුළුතර ප්‍රජාවන්ට එරෙහිව යොදාගෙන තියෙනවා. මගේ මිතුරෙක් වන ඩිල්ෂාන් මොහොමඩ් පාස්කු ප්‍රහාරයෙන් ලංකාවේ මිනිස්සු ආරක්ෂා කරන්න උත්සාහ කරපු නිසා මේ පනතේ යටතේ අත්අඩංගුවට පත්වෙනවා. ඊට අමතරව රම්සි රසීක්, ශක්තික මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. මේ අය තමන්ගේ ප්‍රකාශනයේ නිදහස පාවිච්චි කිරීම පමණයි කරේ. මේ අයව ආණ්ඩුව විසින් පවිච්චි කරගත්තා ලංකාවේ ජනතාවගේ අවධානය ඇත්ත ප්‍රශ්නවලින් වෙන පැත්තකට ගන්න. ආර්ථික අර්බුදය, ජාතින් අතර අසහනකාරී තත්ත්වයන් වැඩි කිරීම් වගේ ඒවගෙන් අවධානය වෙන පැත්තකට හරවන්න මේවා යොදාගත්තා.

ඒවගේම කිව යුතුයි යම්කිසි සිදුවීමකදී ජාතින් අතර අසමගිය ඇතිකරන්න උත්සාහ කරනවානම් ICCPR පනතේ 3වැනි වගන්තිය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල අන්තවාදී බෞද්ධ සංවිධාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද සහයෝගය සහිතව දමිළ සහ මුස්ලිම් ජනතාවගේ පාරම්පරික පූජනීය ස්ථානවල අනවසරයෙන් බෞද්ධාගමික ඉදිකිරීම් කරනවා. නමුත් කවුරුවත් ICCPR පනත යටතේ අත්අඩංගුවට අරගෙන නැහැ. මේ සිදුවීම් හරහාත් ජාතින් අතර ආතතියක් නිර්මාණය වෙනවා. දිගන කලහකාරී සිදුවීම් සම්බන්ධයෙනුත් එහෙමයි. බෞද්ධ භික්ෂුවක් සමස්ත මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ජනතාව උසිගැන්නුවා. නමුත් කවුරුත් ICCPR යටතේ අත්අඩංගුවට ගත්තේ නැහැ. මේ පනතේ 3 වෙනි වගන්තිය යොදාගෙන තියෙන්නේ ජනතාවට ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න කියලා හොදටම පැහැදිලියි. රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ඕනා තරම් හේතු තියෙනවා ජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවන්න. ආණ්ඩුව මේ වෙලාවේ, ජනතා දේපොළ පුද්ගලීකරණ කිරීම, කම්කරු නීති ප්‍රතිසංස්කරණ, ත්‍රස්ත විරෝධී පනත් ගෙන එන්න උත්සාහ කරනවා. ජනතාව ඒවාට විරුද්ධව හඬ නගනවා. පැහැදිලිවම ආණ්ඩුවට ඕනා ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න. ආණ්ඩුව විසින් ICCPR පනත ආගම් අතර අසමගියක් වර්ධනය කිරීම ආයුධයක් ලෙස පාවිච්චි කරමින් ඇත්ත ප්‍රශ්න අමතක කරවන්න උත්සාහ කරනවා. දශක ගණනක් තිස්සේ අපේ රටේ පාලකයන් සහ ධනවතුන් අපිව රවට්ටලා අපිව හූරගෙන කන එක තමයි ඇත්ත ප්‍රශ්නය. “

leave a reply