(නොකියවීම, සාහිත්‍ය කියවීම ලෙස ජනප්‍රියවීමේ ට්‍රැජි කොමඩිය )
කවිය, කෙටිකතාව, නවකතාව සහ යොවුන් නවකතාව ආදී සමකාලීන සිංහල සාහිත්‍ය නිර්මාණ පිළිබඳ නිතර දකින්නට – කියවන්නට ලැබෙන විචාර-කියවීම් ගැන ස්වයං විවේචනාත්මක සටහනක් තමයි මම මේ ලියන්න හදන්නෙ. ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර, විකුම් ජිතේන්ද්‍ර, කපිල එම් ගමගේ සහ තවත් කීපදෙනෙක් වරින් වර මේ ආශ්‍රිත යම් යම් දේ ලියා තියෙනව දැක්ක. මේ ඒ් සංවාදවලට දායකවීමකට වඩා සමකාලීන සාහිත්‍ය පාඨනය පිළිබඳ මගේ එක් නිරීක්ෂණයක් සලකුණු කරන්නයි මම මේ ටික ලියන්නෙ. රියැලිටි ෂෝමය තාරකා පායා ඒ්ම තරමටම සිංහල සාහිත්‍ය විචාරයත් ගුවන්ගත වන බව ෆේස්බුක් රවුමක් යන විටෙක හිතෙනව. ෆේස්බුක් එකේ ලිවීම සෑහෙන තරම් දුරස් වෙලා තියෙන කාලෙක වුණත් මට එක් තනි අදහසක් ලියල තියන්න ඔ්නෙ කියල සෑහෙන වතාවක් හිතිල තියෙන නිසා ගොඩක් අය අකමැති වෙන්න පුළුවන් වුණත් කමක්නෑ කියල මම මේ ටික ලියන්න හිතුව.
මම මේ කතාකරන්න හදන්නෙ මුලදිම කිව්ව වගේ ‘අද ලියැවෙන සිංහල සාහිත්‍ය නිර්මාණ කේන්ද්‍ර කරගෙන අද ලියැවෙන පුමුඛ තලයේ විචාර හෝ රසවින්දන’ සටහන්වල “චුම්බකතාව ඉහළ” – ජනප්‍රිය විචාර සටහන් ගැන විවේචනාත්මක එළඹුමක්. කුළුදුල් කවි පොත හෝ කෙටිකතා පොත ලියූ අලුත්ම යොවුන් නිර්මාණකරුවෙක්ගෙ අලුත්ම පොතක සිට ස්වර්ණ පුස්තක හෝ රජත පුස්තක හරහා බුකර්ලාභී ශෙහාන් කරුණාතිලකගේ Seven Moon of Mali Almeida දක්වා නොයෙක් තලවල කෘති ගැන විචාර සටහන් සුලබ බව අපි කාටත් පේනව. මේ පුළුල් පරාසයක විහිදුණු සිංහල සාහිත්‍යය වෙත පාඨක ප්‍රියතාව දිනාගන්නා බවත් පෙනෙන බහුතර සිංහල සාහිත්‍ය “විචාර” කියවද්දි පෙනෙන එක් පොදු ලක්ෂණයක් ගැනයි මගෙ විවේචනය.
මේ විචාර සංවාද, මීට පෙර – දසක කිහිපයක් තිස්සේ කතාබහ කරන අදහස් මතම යැපෙන, ඒ් අදහස්ම ප්‍රතිනිෂ්පාදනය කරන, ඒ අදහස්ම පුනරුක්ත කරන ස්වභාවයක් තමයි පෙනෙන්නෙ. අර “හෝද හෝද මඩේ දානව” කියන අතිපරණ අතිසරල රූපකයෙන්ම අපිටත් දමා ගැසිය හැකි විචාර තමයි කියවන්න ලැබෙන බහුතරයක් කියවිලි. ලියවිලි. පරණ අදහස්ම අලුත් හඬවල්වලින් අලුත් අලුත් අවකාශවල කියන එක අපේ සාහිත්‍ය කියවීම්වල මට දැනෙන ප්‍රධාන දුර්වලතාවක්.
“විශ්ව විද්‍යාලය යනු කුමක්ද?” නමින්ම පොත් පළ වෙන ඒ් පොත ගැන තැන තැන බිණෙන මොහොතක, විවිධ පිටරටවල ප්‍රකට විශ්වවිද්‍යාලවලින් ආචාර්ය උපාධි අරගත් ශාස්ත්‍රවන්තයො එළිබහිනව පෙනෙන පසුබිමක, “ආචාර්ය” උපාධිවල විවිධ අගයන් සහ අගතීන් ගැන විවිධ වෘත්තාන්ත මැවෙන පසුබිමක ඒ සියල්ලටම “හොරෙන්” මෙන් “අපේ සාහිත්‍ය කියවීම” සිදුවන පොදු “පාඨන පථය” දෙස ඇස් ඇරගෙන බලන් ඉද්දි නිතර හිතෙන එකක් තමයි ඇයි මේ එකම දේවල් අලුතින්ම කියනව වගේ ආයෙ ආයෙම කියවෙන ඇර වෙන මුකුත් නොකියවෙන්නෙ කියන අදහස. අපි කතාකරන – කියවන අදහස් මීට පෙර කියා-ලියා ඇති නිසාම ඒවා යළි සංවාදයට ගත යුතු නැති – පරණ – යල් පිනූ අදහස් බවක් නෙමෙයි මම කියන්න උත්සාහ කරන්නෙ.
දැන් මේ ෆේස්බුක් තිරය පහළට යනකොට අපිට කියවන්න ලැබෙන සාහිත්‍ය කෘතියක් ගැන එන කියවීමක් නියැඳියක් විදිහට අරගෙන බලන්න. ගොඩක් වෙලාවට අපිට කියවන්න ලැබෙන්නෙ මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, සිරි ගුනසිංහ, ඒ.වී. සුරවීර, ගුණදාස අමරසේකර, සුචරිත ගම්ලත්, ලියනගේ අමරකීර්ති වගේ කාගෙ හරි දැනටමත් වඩාත් සංවිධිත ලෙස ග්‍රන්ථ ප්‍රමාණයේ සාහිත්‍ය කියවීම්වල පැනෙන අදහස්වලම පුනරුක්ති, අලුතින්ම කියනව ස්වරයෙන්, ස්වරූපයෙන් කියවෙන බව. ඔය නම් වැල තව දිග එකක් බව ඇත්ත. අඩු තරමෙ (පියදාස) සිරිසේනියානු අදහස් ප්‍රතිරචනය කෙරෙන සටහන් ‘අලුත්ම සාහිත විචාර’ සේ ඇගයෙන අවස්ථා හොයාගන්න වුණත් දීර්ඝ ෆේස්බුක් පිහිනුම් සංග්‍රාමයක් අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ.
මේ කියන්නෙ ෆේස්බුක් ලියන හැමෝම ලියන හැමදේම “ගන්නම දෙයක් නෑ” වගේ අතිසරල අදහසක් නෙමෙයි. ගතානුගතිකත්වය “නව විචාරය” සේ පැනෙන සැටි ගැන ආපහු බැලීමක්. අර මාර්ටින් වික්‍රමසිංහගේ සිට නම් ඇති අය කියා-ලියා ඇති දේවල් ඒ් අය කියා-ලියා ඇති නිසාම නැවත ඒ අදහස් අලුත් පොත් ගැන කියන එකේ අර්ථයක් නෑ හෝ ඒ අදහස් නැවත භාවිතයට ගැනීමේ සාහිත්යික හෝ දේශපාලනික වටිනාකමක්-අර්ථයක් නෑ කියලත් නෙමෙයි මගෙ ඇඟවුම. ඒ් අදහස් සහ සාහිත්‍ය කියවීම් සමකාලීන සාහිත්‍ය නිර්මාණ කියවීම පිණිස භාවිත කරන ආකාරයේ නම් විශාල අර්බුදක් මට පෙනෙනව. අපි ඒ අදහස් ලියන්න – කියවන්න වැය කරන ශ්‍රමයට පවා නිගා කරන බවක් වෙලාවකට මට හිතෙනව. ඒ අදහස් පිළිබඳවම වන නොමේරූ පුනරුක්තිමය කියවීම් අර මුල් රචකයන්ගෙ අදහස්වලටත් නැති ඇගයීමක් එක්ක ඉස්මතු වෙන අවස්ථා තියෙනව පෙනෙනව. අඩු තරමින් අර කාලයක් තිස්සේ අපේ සාහිත්‍ය නිර්මාණ ගැන, ඒ්වා පිළිබඳ විවිධ තලවල පැනෙන න්‍යායික සංකථන ගැන යළි පරීක්ෂාවක් – නැවත කියවීමක් – නව න්‍යායික පර්යාලෝක වෙත විවෘත වීමක් තබා අපි අතේ ඇති කෘතිය ගැන මීට පෙර සිංහල භාෂාවෙන්ම ලියා ඇති කියවා ඇති අය – මෙවැනි අදහස් කියා-ලියා ඇති බවක් හෝ මේ සමකාලීන ෆෙස්බුක් විචාරවලින් මගහැරෙනව. අපි නිකමට දළ නිදර්ශනයකට යමු.
අපි හිතමු අපි අලුතින්ම ආ කෙටිකතාවක් හෝ නවකතාවක් කියවා ඒ ගැන පොඩි සටහනක් ලියනව කියල. ඒකෙදි අපිට කියවන්න සිද්ධ වෙනව -මැජික් යථාර්ථවාදය- ගැන. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, මායා යථාර්ථවාදය, ආශ්චර්යාත්මක යථාර්ථවාදය හරි වෙන නමකින් හරි හැඳින්වෙන සංකල්පය. දැන් අපේ අතේ ඇති පොතේ මතු වෙන “සාහිත්‍ය කලාත්මකත්වය” පරීක්ෂා කරන්න අර මැජික් රියලිස්ම් පිළිබඳ කියන ගොඩක් විචාරක නෝනාවරු හෝ මහත්වරු ලෝක සාහිත්‍ය ගැනත් ඉඟි කරමින් මේ සංකල්ප අලුතින්ම හඳුන්වා දෙනව වගේ ඉදිරිපත් කරනව. මේ ඉදිරිපත්කිරීම්වල ඇති න්‍යායික දෝෂ හෝ කරුණුමය පරස්පරතා – ඌනතා පසෙකින් තියල බැලුවත් අපේ භාෂාවෙන්ම මීට පෙර මීට වඩා ලස්සනට සහ අර්ථවත් ලෙස පරීක්ෂා කරල බලල තියෙන අදහස් ඇයි අපි මේ අලුතින්ම කියනව වගේ මතුපිට කියවීමක යෙදෙන්නෙ කියල මට හිතෙනව. පරණ කවිම අලුත් තාලවලින් කියවමින් කරන දරු නැළවිල්ලක්ද සාහිත්‍ය විචාරය? මැජික් යථාර්ථවාදය ගැන නිතර බොහෝදෙනෙක් ලියනව මට දකින්න ලැබිල තියෙනව. ඒත් ඒ බොහෝ අය සාහිත්‍ය න්‍යාය සහ භාවිතය පිළිබඳ ප්‍රාමාණික සිංහල කෘතියක් වන මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියූ “අමුතු කතාව” නමැති පොතේ -මැජික් යථාර්ථවාදය- ගැන සනිදාර්ශනාත්මකව පරීක්ෂා කරන අදහස් පිළිබඳව කිසිම ඉවක් බවක් නැතුව එහෙ මෙහෙ වනනව පෙනෙනව. මහාචාර්ය අමරකීර්තිගෙ “අමුතු කතාව” ගැන මම නිතර කියන හේතුව තමයි සාහිත්යික යථාර්ථවාදය පිළිබඳ සිංහලෙන් ලියැවී ඇති මේ ප්‍රාමාණික ග්‍රන්ථයේ “පාඨකයා, පාඨනය සහ ප්‍රබන්ධ කතාවෙහි යාථාර්ථය” ගැන පොහොසත් කියවීම සහ සිංහල ප්‍රබන්ධ කලාව වෙත ඔහු යෝජනා කරන නව අමුතු කතාව. යම් භාෂාවක සාහිත්‍යය පිළිබඳ ලියැවී ඇති සාරමය අදහස් අඩංගු කෘති ගැන කිසිම පරීක්ෂාවක් නැති කෙනෙක් සාහිත්‍ය විචාරකයෙක් වෙන්නෙ කොහොමද? අනික එහෙම පූර්වජ සාහිත්යික පඨිත කියවීම් පිළිබඳ අනවධානයෙන් “මාර විචාර අදහස්” ලියන අයගෙන් සාහිත්‍ය පාඨනය වෙත තිළිණ කෙරෙන්නෙ නපුරක්. මහාචාර්ය කුලතිලක කුමාරසිංහ වගේ කෙනෙක් සිංහල කෙටිකතාව ගැන පොත් විස්සක විතර ලියා ඇති දේවල් ඒ අදහස් වෙත කිසිම අදහස්මය නවීකාරකත්වයක් යෝජනා නොකර ඒ් කෘතිවල අදහස්ම ප්‍රතිරාවය කරන විචාරකයො කොච්චර නම් අපි අතරෙ ඉන්නවද? සාහිත්‍ය න්‍යාය පිළිබඳ මුල් කෘති නොකියවන අය අතරින් දීප්තිමත් විචාරක අදහස් පළ වෙතැයි සිතිය හැකිද?
ඔය “මම සාහිත්‍ය විචාරකයෙක් නෙමෙයි” “මට සාහිත්‍ය විචාරය පිළිබඳ කිසිම පුහුණුවක් නම් නෑ” “මම හුදු රසිකයෙක් විතරයි” කියාගෙනම සාහිත්‍ය කෘති පිළිබඳ ලියන අය, එහෙම කියන ගමන්ම නිෂ්පාදනය කරන්නෙ සාහිත්‍ය පිළිබඳ හරිම අධිකාරිවාදී – ආධිපත්යික අදහස්. “මෙහෙම හිටියට මට සාහිත්‍ය ගැන මේ සමාජයට හඳුන්වල දෙන්න අලුත් අදහස් හුඟක් තියෙනව. මෙන්න ඒ් අදහස්.” තමන් විචාරකයන් නෙමෙයි කියමින් පොත් ගැන සටහන් ලියන හුඟක් අයගෙ ඇඟවුම් ඔවැනියි.
විචාරකයො විදිහට මතු වෙන අය දැනටමත් අපේ සාහිත්‍ය පාඨනය තුළ කතාබහට ලක් වෙන න්‍යායික සංකල්ප, සාහිත්‍ය නිර්මාණ පිළිබඳ නිර්ණායක, දෘෂ්ටිවාද යළි සාකච්ඡාවට ගැනීම වරදක් නෙමෙයි. ඒවා ඇසුරින් තමයි අවශ්‍යයෙන්ම අලුත් කතාබහක් ඇති වෙන්නෙත්. මට අලුත් අය ලියන හුඟක් අයගෙ ඒ්වා කියවද්දි හිතෙන දෙයක් තමයි ඒ අය අපේ සාහිත්‍යය තුළම දැනටමත් කියා-ලියා ඇති අදහස් කියවා නැති බව පෙනෙන එක. අනික තමන්ගෙ හිතලු සාහිත්‍ය පිළිබඳ පරාමිතීන් සේ අධිකාරීත්වයට නැංවීම. පැරණි අදහස් තවත් තියුණු ලෙස වටහාගනිමින් – අධිකාරිවාදී සාහිත්යික අදහස් යළි පරීක්ෂා කරමින් – නව අදහස් අභ්‍යාස කිරීම සාහිත්‍ය විචාරයට අයිතියි. ඒත් මේ අර්ථයෙන් ෆේස්බුක් එකේ ලියන නව විචාරකයො අපට ඉන්නවද? (අවුරුද්දකට දෙකකට විශිෂ්ට සාහිත්‍ය කියවීම් ඇතුළත් පොතක් දෙකක් එළිදැක්වෙන බවත් ඉඳහිට තැනක දෙතැනක දීප්තිමත් විචාරත්මක අදහසක් දෙකක් මතු වෙන බව නම් ඇත්ත බව නැවත මතක් කරන්න ඔ්නෙ.) ඉතිං කෙනෙකුට ඔ්නෙ නම් කියන්න පුළුවන් මේ අපි සංවාදයට ගත් කාරණය ගැනම විශ්වවිද්‍යාල පර්යේෂණයක් කළත් එහි අවසාන නිගමනයත් ඔය වරහන් ඇතුළෙ තියෙනව වගේ එකක් තමයි. සාහිත්‍ය සමාජය අතීතයෙ ඉඳලම හැමදාම ඔහොමයි කියල.
නමුත් ඒ අතරෙත් මට නම් හිතෙන්නෙ එකම අදහස් – අලුතින්ම කියනව වගේ කාලයක් තිස්සෙ අධිකාරිවාදී ලෙස කියන එක සාහිත්‍ය විචාරය බවට පත්වෙලා තිබීම ප්‍රශ්න කළ යුතුයි කියලයි. අපේ සාහිත්‍ය පාඨනය සංවර්ධනය නොවීමේ එක් ප්‍රධාන ගැටලුවක් විදිහට මට පෙනෙන්නෙ ගොඩක් අය නොකියවමින් කරන මේ කියවීම. නිර්ප්‍රභූ-ප්‍රභූ භේදයක් නෑ ඔය අලුතින්ම ලියන්න පටන්ගන්න නව යෞවනයෙකුගෙ විචාරාත්මක අදහසක් අරගෙන බැලුවත් සමහරවිට අහිංසකයි වගේ පෙනෙන ප්‍රකාශයක පවා පැනෙන්නෙ හරිම අධිකාරිවාදී සම්මත සාහිත්යික අදහස් තමයි.
ෆේස්බුක් ලියන කාර්යය මගෙන් සෑහෙන තරම් දුරස් වෙලා තිබ්බත් මට මේ අදහස කියන්න කාලයක් තිස්සෙ වුවමනා වෙලා තිබ්බ එකක්.
ප.ලි. මම කියන මේ අදහස වාක්‍යය තුනහතරකිනුත් කියන්න පුළුවන් බවත් ඇත්ත. නමුත් මේ පොදු ප්‍රවාහය ගැන ටිකක් විස්තෘත විදිහට ලිව්වෙ මමත් චෝදනාවට ලක් වෙන බව දන්න නිසා මෙහෙම දෙයක් කිව්වම. මේ වගේ අදහසක් කියද්දි මේකෙ ඉඟි කරන “විචාර මාදිලියෙ” උදාහරණයක් දෙකක් විමසමින් කරන්න පුළුවන් නම් හොඳයි තමයි. නමුත් එහෙම නිශ්චිත උදාහරණයක් අරගන්න එකේ අදාළ රචකයා මං එක්ක තරහ වෙනවට වඩා වෙන අනතුරක් තියෙනව. ඒ උදාහරණය සහ ඒ පුදගලයා වෙත මගේ මේ සටහනේ අදහස ලඝු කෙරෙනව. නැත්තම් ඉතිං මේ කාරණය වඩාත් පැහැදිලි කරන්න වෙනම පොතක පරිච්ඡේදක්වත් වෙන් කරන්න ඕනෙ. කොහොමවුණත් මට මෙතනදි කියන්න ඕනේ වුණේ අපේ සාහිත්‍ය පාඨනය ගැන පොදු තත්තවයක් ගැන මගේ නිරීක්ෂණය තමයි ඔය. ටිකක් සංයුක්තව මේක කියාගන්න බැරිවීම ගැන සමාවෙන්න.