Breaking News

විදුලි බිල ගෙවන්න පාසල් ඉස්සරහා පිං කැටයක් තියන්න වෙයි – ඒකාබද්ධ ගුරුසේවා සංගමය

විදුලි බිල 66%න් වැඩිවූ බව පට්ටපල් බොරුවක් බවත් විදුලි බිල සියයට 200 ගණනකින් වැඩිවී ඇති බවත් ඒකාබද්ධ ගුරුසේවා සංගමය පවසයි. මෙම තත්ත්වය හමුවේ පාසල්වල විදුලි බිල ගෙවීම සම්බන්ධව විශාල ගැටළුවක් මතුවන බව එම සංගමය විසින් ඊයේ(19) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙන්වා දෙනු ලැබුණි. එසේම පාසල්වල විදුලි බිල ගෙවීමට ආණ්ඩුව ලබාදෙන්නේ රු 1500ක මුදලක් පමණක් බැවින් පිං කැටයක් හරහා මුදල් එකතු කර විදුලි බිල ගෙවන්නද යන ප්‍රශ්නය මතුවන බව ඒකාබද්ධ ගුරුසේව සංගමය පෙන්වා දෙනු ලැබීය.

එම සංගමය වැඩිදුරටත් පැවසුවේ,

“දරුවන්ට පාසල් එවනවද නැද්ද කියලා ඉන්න දෙමව්පියන්ට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙන්නේ. ඒ වගේම පාසල් පද්ධතියට බලපාන විදිහ ගැන ගැටළුවක් තියෙනවා. මෙච්චර කල් පාසල් තිබුනේ සුබසාධනයක් ලබන ආයතන විදිහට. නමුත් පසුගිය කාලයේ සිට පාසල් ව්‍යාපාරික පන්තියට දැම්මා. මතුගම ප්‍රදේශයේ තියෙන කුඩා පාසලක විදුලි බිල වැඩිවෙන්න කලින් 14000යි තිබුනේ. ඒක පහුගිය කාලෙ 24000ක් වුණා. මේ පාර ඒක 34000ට වැඩිවෙලා තියෙනවා. රුපියල් 14000 අමාරුවෙන් ගෙවපු ඉස්කෝලවලට දැන් 34000ක් ගෙවන්න වෙලා තියෙනවා. සමහර ඉස්කෝල ගත්තම ස්මාර්ට් පන්ති කාමර, විද්‍යාගාර, පුස්තකාල, පරිගණක විද්‍යාගාර තියෙනවා. මේ සියලු ස්ථාන විදුලිය අවශ්‍ය වෙන තැන්. මේවට ගෙවන්නේ කොහොමද? අඩුවෙන් මේවට අවශ්‍ය විදුලි බිල් ගෙවන්නේ නැත්තම් වහන්නයි වෙන්නේ. ආණ්ඩුවෙන් පාසලක් සඳහා විදුලි බිල ගෙවීමට දෙන්නේ රුපියල් 1500යි. නගරේ පාසලක විදුලි බිල ලක්ෂ ගණනක් වෙනවා. ඒත් 1500යි දෙන්නේ. ජනප්‍රිය පාසල් කොහොම හරි ගෙව්වා කියලා හිතමු. නමුත් ජනප්‍රිය නොවන ග්‍රාමීය පාසල් මේවා ගෙවන්නේ කොහොමද?

දෙමව්පියන්ගෙන් ගන්න පහසුකම් ගාස්තුවලට මේ විදුලි බිල, ජල බිල, දුරකථන බිල එකතු වෙමින් තියෙනවා. දැන් මේක වැඩි වෙනවා. දෙමව්පියන්ට මේක දරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඉස්කෝලවලට සිද්ධවෙනවා ඉස්කෝලේ ඉස්සරහ පිං කැටයක් තියලා ආධාර එකතු කරන්න වෙනවා.එහෙම නැත්තම් පරණ විදිහට කළු ලෑල්ලයි හුණු කූරයි තියාගෙන උගන්න වෙනවා. විදුලිය නැතුව ඉස්කෝල දුවන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ජනාධිපතිවරයාගෙන් ඇමතිවරයාගෙන් අහන්න තියෙන්නේ අපි පිං කට ලෑස්ති කරගන්නද කියලා තමයි.

leave a reply