Breaking News

මින්නේරිය අලි ජාවාරම වැටලීමට ගිය වනජීවී නිලධාරීන්ට හමුදා නිලධාරියෙකුගෙන් තර්ජන

වනජීවී සංරක්ෂණ නිලධාරීන්ට සිය රාජකාරි කටයුතුවලදී ඕනෑම පුද්ගලයෙකු, වාහනයක්, හෝ පරිශ්‍රයක් පරික්ෂා කිරීමට බලය හිමිවන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි. වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමට කිසිදු පාර්ශවකයට අයිතියක් නොමැති බවද ඔහු පවසා ඇත.

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කොටසක නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ඇල්ලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යුද හමුදා වාහන දෙකක් නැවැත්වීමට උත්සාහ කිරීමත් සමග ඇති වූ පහරදීමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ හමුදා නිලධාරියාට අද (28) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හබරණ පොලිසියේ උසස් නිලධාරීයෙක් ප්‍රකාශ කළේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් මෙන්ම යුද හමුදාව පාර්ශ්වයෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි.

අලි පැටවුන් ඇල්ලීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා තිබූ කුප්‍රකට පුද්ගලයෙකු මින්නේරිය වනෝද්‍යානය අසල ස්ථානයක රැඳී සිටින බවත්, ඔහු සමග කණ්ඩායමක් වනෝද්‍යානය තුළට නිතර යන-එන බවටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් වනෝද්‍යානයෙන් පිටවීමට ඇති ස්ථාන රැසක මුර කපොලු ඇති කර, පරීක්ෂා කිරීම කර තිබේ.

මේ අවස්ථාවේදී වනෝද්‍යානයේ සිට පැමිණි වාහන දෙකක් මුර කපොලුවල නතර කිරීමේ සංඥා නොතකා වේගයෙන් ධාවනය කර ඇති බවත්, එම වාහන දෙක අනුරාධපුරයේ පිහිටි යුද හමුදාවේ 21 වැනි බලසේනා මූලස්ථානය වෙත ගොස් ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් යුද හමුදාවේ අංක සහිත මේ වාහන දෙක පසුපස හඹාගොස් ඇති අතර, ඔවුන් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් නොලැබීම නිසා බලසේනා මූලස්ථානය වෙත ඇතුළු නොවී ආපසු පැමිණ ඇත.

ඉන්පසු යුද හමුදාවේ වාහන කිහිපයක් අදාළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් පසුපස පැමිණ ඇති අතර, හබරණ ප්‍රදේශයේදී ඔවුන් අතර වාදයක් ඇති වී තිබේ. එහිදී යුද හමුදාවේ නිලධාරියෙකු විසින් වනජීවී නිලධාරියෙකුට පහර දීමක් සිදු කර, තර්ජනය කර ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පැවසුවේ අනුරාධපුර 21 වැනි බලසේනා මූලස්ථානයේ ප්‍රධානී මේජර් ජෙනරාල් මොහාන් රත්නායක හබරණ දෙස සිට අනුරාධපුරය දෙසට යමින් සිටියදී, වාහන දෙකක් පසුපසින් පැමිණ ඇති බවයි. මේජර් ජෙනරාල්වරයාගේ මෝටර් රථය සහ ආරක්ෂක රථය හමුදා කඳවුර තුළට ඇතුළු කිරීමෙන් පසු, පසුපසින් පැමිණි පිරිස අදාළ වාහනයේ අලි පැටවෙකු සිටින බවට කඳවුරු ගේට්ටුවේ සිටි හමුදා සෙබළුන්ට පවසා නික්ම ගොස් ඇති බවත්, තමන්ගේ කීර්තිනාමයට මෙසේ හානි කිරීම සම්බන්ධයෙන් මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත් බ්‍රිගේඩියර්වරයා සඳහන් කර ඇත. එහිදී කිසිදු පහරදීමක් සිදු වී නැතැයි ද ඔහු පවසා ඇත.

leave a reply