දෙවැනි ලෝක යුද්ධය නිමවී දැන් වසර 75කට අධික කාලයක් ගෙවීගොසිනි. වර්තමාන පෝලන්ත භූමියේ පිහිටුවා තිබූ ස්ටුට්හොෆ් (Stutthof) නම් අවසන් වරට මුදාගත් නාසි දේශපාලන සිරකඳවුර වසාදමා ද දැන් සියවස් තුන්කාලකට වැඩි ය.
එහෙත් නාසි වධ කඳවුරුවල සිදුවූ ඝාතන හා වදබන්ධන කන්දරාව සමස්ත මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද දැවැන්ත අපරාධයක් ලෙස ද, මුළුමහත් ලෝක ඉතිහාසය මත ම වැකි කිසිදා සෝදාහල නොහැකි කළු පැල්ලමක් ලෙස ද, අදටත් ශේෂ වූවකි. මේ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් නීත්‍යානුකූල යුක්තිය ඉටුකිරීම, අපරාධකරුවන් හඹාගොස් නඩුදැමීම හා දඬුවම් පැමිණවීම 75 වසරකට පසු, අදටත් අවසන් වී නැත.
ඊට අදාළ අලුත්ම පුවත් දෙකක් ජර්මනියෙන් වාර්තා වූයේ පසුගිය සතියේ ය. ඒ නාසි වධ කඳවුරු දෙකක් තුළ සිදුකළ පිළිවෙලින් 3,518 හා 10,000ක් වූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වයස 100 සපිරූ පුද්ගලයකුටත්, වයස 95ක් වූ කාන්තාවකටත් එරෙහිව නඩු පවරන බවට ජර්මන් අභිචෝදකයන් පසුගිය පෙබරවාරි 9 වැනිදා සහ 5වැනිදා නිවේදනය කිරීම යි.
දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ බර්ලිනයට නුදුරු සැක්සන්හවුසන් නම් ගාල් කඳවුරේ, නාසි පක්ෂයේ පැරාමිලිටරි අංශය වන SS හමුදාවේ සාමාජිකයෙක් ලෙස1942 – 45 අතර කාලය තුළ රාජකාරි කළ බවට මේ සියක් වස් වියැති පුද්ගලයාට චෝදනා එල්ලවී තිබේ. ඔහුට එරෙහිව එම කඳවුරේ සිදුවූ ඝාතන 3,518ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නියමිත ය.
ජර්මානු පෞද්ගලිකත්ව නීතිය අනුව මේ පුද්ගලයාගේ නම තවම හෙළිකර නොමැත. වයස අවුරුදු 100ක් වුව ද, ඔහු නඩුවිභාගය සඳහා පෙනීසිටීමට තරම් සෞඛ්‍ය සම්පන්න බව තීරණය කැරී තිබේ.
95 හැවිරිදි චූදිත කාන්තාව වර්තමානයේ පෝලන්තයට අයත් ගර්ඩෑන්ස්ක් (Gdańsk – අතීත නාමය ඩැන්සිග්) නගරයට ආසන්නව පැවැති ස්ටුට්හොෆ් (Stutthof) නම් කඳවුරේ ලේකම්වරියක වශයෙන් සේවය කර ඇත. අභිචෝදකයන් විසින් ඇගේ නම හෙළිකර නැතත් ජනමාධ්‍ය විසින් ඇය දැනට හැම්බර්ග් නගරයේ වැඩිහිටි නිවාසයක වෙසෙන ඉර්ම්ගාර්ඩ් එෆ් ලෙස හඳුනාගෙන ඇත. 1943 – 45 කාලය අතර කඳවුරේ අණදෙන නිලධාරියාගේ ලඝුලේඛිකාව හා ලේකම්වරිය වශයෙන් සේවය කරමින් යුදෙව් හා පෝලන්ත සිරකරුවන් ද, සෝවියට් යුද සිරකරුවන් ද ක්‍රමාණුකූලව ඝාතනයකිරීමට ආධාර උපකාර කර ඇතැයි ඇයට එරෙහි පැමිණිල්ල නිවේදනය කර සිටී. එහි සිදුවී ඇති ඝාතන ප්‍රමාණය 10,000කට අධික ය.
ඇය රාජකාරි කළ කඳවුරේ ඇතැම් වින්දිතයන් දිවි ගලවාගෙන ඇති බැවින්, ඒ දිවිගලවාගත්තවුන්ට අදාළ සිදුවීම්, ඝාතනයට තැත්කිරීම් ලෙස අධිකරණමය වශයෙන් සැලකීමට සිදුවන බව අභිචෝදකයෝ පවසති. අමෙරිකා එක්සත් ජනපදයේ හා ඊශ්‍රායලයේ දැනට ජීවත්වන සාක්ෂිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට බඳුන් කිරීම ඇතුළු සිද්ධියට අදාළ විමර්ශන ‘ඉතා සවිස්තරාත්මකව’ සිදුවූ බව පැමිණිල්ල ප්‍රකාශ කර තිබේ. කඳවුරේ මෙම චූදිත කාන්තාව සතුව පැවැති රාජකාරි විෂය පථය තක්සේරු කිරීම ඉතිහාසඥයන්ට පැවරී ඇති අතර, නඩුවට අදාළ ප්‍රධාන ප්‍රස්තුතය වන්නේ ඝාතනවලට අදාළව ඇය සතුව තිබූ ‘ස්ථිර වගකීම’ කුමක්ද යන්න බව ද දැනගන්නට ඇත.
මෙම ඝාතන සිදුවන කාලය වන විට ඇය බාලවයස්කාරියක ව සිට ඇති බැවින්, ඇය මුහුණදෙනු ඇත්තේ බාලවස්කාරයන්ට වෙන්වූ අධිකරණයකට ය. මෑතකාලීනව කාන්තාවකට එරෙහිව මෙවැනි නඩු පැවරීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය යි.
මේ නඩු කටයුතු දෙකම, ජර්මනියේ මෑතකාලීන නීතිමය පූර්වාදර්ශ මත මුළුමනින් පාහේ රඳාපවතී. ඒ පූර්වාදර්ශවලින් තහවුරු කැරුණේ කිසියම් නාසි කඳවුරක ක්‍රියාකාරීත්වයට හා පැවතීමට උපකාර කළ ඕනෑම පුද්ගලයකුට විරුද්ධව, එම කඳවුරේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන්, එම ඝාතනවලට ආධාර උපකාර කළාය යන පදනමින් නඩු පැවරිය හැකි බව ය.
මෙම නීතිමය පූර්වාදර්ශය ස්ථාපිත වූයේ යුද සමයේ ජර්මනිය විසින් අල්ලාගන්නා ලද පෝලන්ත භූමියේ පිහිටුවා තිබූ සොබිබෝර් ඝාතන කඳවුරේ ආරක්ෂකයකු ලෙස රාජකාරි කළ ජෝන් ඩෙම්යාන්යුක් නැමැත්තාට එරෙහිව එම කඳවුරේ ඝාතනවලට එරෙහිව 2011 දී නඩුපැවරීමෙනි. එතැන් පටන් නාසි ඝාතනවලට ඍජුව සම්බන්ධ වූ බවට සාක්ෂි නැතත්, අදාළ ඝාතන සිදුවු කඳවුරුවල යාන්ත්‍රණය පවත්වාගෙන යාමට උපකාර කිරීම යන පදනම මත දැනට ජීවතුන් අතර සිටින්නන්ට එරෙහිව, ඔවුන් වරදකරුවන් කරමින් ජර්මන් අධිකරණ තීන්දු ගණනාවක් ලබාදී තිබේ.
එතෙක් පැවැති නීතියට අනුව චූදිතයකුට දඬුවම් පැමිණවීමට නම් අභිචෝදකයන් විසින් එම චූදිතයා අදළ නිශ්චිත ඝාතනයකට හෝ ඝානතන කිහිපයකට පෞද්ගලිකවම සහභාගී වූ බවට අධිකරණය ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය විය. එය බොහෝ විට ඉටුකළ නොහැකි අනිවාර්යතාවක් බවට පත්වී තිබිණි. එහෙත් 2011 පටන් ස්ථාපිත වූ මෙම නව නීතිමය පූර්වාදර්ශය වඩා පහසුවෙන් එම අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සලසා දෙයි.
අපරාධවලින් වසර 75කටත් අධික කාලයක් ගතවී තිබියදීත්, චූදිතයන් ජීවිතයේ අවසන් කාලය ගතකරමින් සිටියදීත් ඔවුන්ට එරෙහිව මෙතරම් කරදර වී විමර්ශන සිදුකර, සාක්ෂි සොය සොයා, අධිකරණ ක්‍රියාමාර්ග හමුවට පමුණුවන්නේ මන්දැයි කෙනකුට සිතෙන්නට පිළිවන. විශේෂයෙන් ම උතුරේ ද දකුණේ ද සිදුවූ පැහැදිළි සාක්ෂි සහිත යුද අපරාධ හා අනෙකුත් අපරාධ කන්දක් මත වගේ වගක් නැතිවව වාඩිලාගෙන සිටින අප වැනි සමාජයකට මෙය මහා පුදුමයක් වන්නට ඇති ඉඩ වැඩි ය.
එහෙත් ශිෂ්ට සම්පන්න ලෝකයට සිතන්නට සිදුව ඇත්තේ ඊට වඩා වෙනස් විදියකට ය.
එක් අතකට මේ අපරාධවලට මුහුණ පෑ නමුත් දිවි ගලවාගැනීමට සමත්වූ හෝ තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම දෑසින් දුටුවෝ අදටත් ජීවතුන් අතර වෙති. ඔවුන්ට තමන්ට ම සිදුවූ හෝ සිය සමීපතමයන්ට, දන්නා අඳුනන්නන්ට හෝ එසේත් නැතිනම් තමන් නොදන්නා, නාඳුනන, නමුත් සිය දෑස් ඉදිරිපිට අපරාධවලට මුහුණපෑවුන්ට යුක්තිය සහතිකවීම අවශ්‍ය ය.
එසේම, මනුෂ්‍යත්වයට නොසරිලන කුරිරුකම් හා සැහැසිකම්වලට ගොදුරු වූ, මනුෂ්‍යන්ට තරම් නොවන සැලකුම් ලැබූ පිරිසකගෙන් පැවත එන්නෝ අදටත් ඒ අපරාධ ගැන කම්පාවෙමින් පසුවෙති. ඔවුන්ට කවදා හෝ යුක්තියක් ඉටුවීම අත්‍යාවශ්‍යය යන්න, ශිෂ්ට සමාජයක් කල්පනා කරන විදිය ය.
අනෙක් අතට පොදු ශිෂ්ටාචාරමය අරුතින් ගත් කල මෙබඳු අපරාධ වූ කලී සමස්ත මනුෂ්‍යත්වයට හා මානව වර්ගයාට එරෙහි සාපරාධී අපරාධ ය. ඒවා හැකි උපරිමයෙන් විමර්ශනය කර එළිදරව් කිරීමත්, වැරදිකරුවන්ට එරෙහිව නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් හුදෙක් සිද්ධිවලට සාධාරණයක් ඉටුකිරීමක් පමණක් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉටුවිය යුතු අනිවාර්ය යුතුකමක් හා වගකීමකි. අනාගතයේ එබඳු සැහැසිකම්, අපරාධ හා කෘරත්වයන් සිදු නොවීමට නම්, අපරාධ කොට නීතියේ ඇසින් සැඟවී සිටිය නොහැකිය යන කාරණය තහවුරු කිරීමට නම්, එබඳු කෘරත්වයන්ට එරෙහිව කවදා හෝ නිසි දඬුවම් ලැබෙන බවට වගබලාගැනීම ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය සමාජයකට අතිශය වැදගත් ය.
මනුෂ්‍ය සමාජයක් ශ්‍රේෂ්ඨ හා ශිෂ්ටසම්පන්න වන්නේ අතීත පම්පෝරිවලින් හෝ අපරාධ වසා එලන රණවිරු – දේශප්‍රේමී සළුපිළි වලින් නොවේ. සමස්ත ඉතිහාස කැන්වසය මත ඇති කළු පැල්ලම්වලට ද හැකි උපරිමයෙන් යුක්තිය ඉටුකරන අතර ම, ඒ යුක්තිය ඉටුකිරීම වර්තමානයට හා අනාගතයට අත්හල නොහැකි පාඩමක් බවට පත්කිරීමට වෙරදැරීමෙනි. මනුෂ්‍යත්වයට නිගාදෙන අපරාධ පිටුදැකීමේ මූලික කොන්දේසියක් වන්නේ එබඳු වූ අතීත අපරාධ යුක්තිය හමුවට පැමිණවීම මිස ඒවා සඟවාගැනීම, නැතිනම් දේශප්‍රේමී අයිසින්වලින් වසාදැමීම නොවේ.
(AFP හා AP වාර්තා ඇසුරෙනි.)https://www.facebook.com/sanath.balasooriya.7