Breaking News

පරිවර්තන සාහිත්‍යයේ අනාගත ඛේදවාචකය

ජයසිරි අලවත්ත

‘‘ලොව පුරා භාෂා හතළිහකට පමණ පරිවර්තනය වී ඇති මෙම කෘතියේ පිටපත් මිලියණ ගණනක් අලෙවි වී තිබේ.’’
මේ වර්තමාන පරිවර්තන සාහිත්‍යය කෘති සම්බන්ධයෙන් මුහුණු පොතේ සහ පොත් පිළිබඳ මුද්රිත මාධ්ය හැඳින්වීම්වල ද නිතර දක්නට ලැබෙන ප්‍රකාශයකි . මෙසේ ප්‍රකාශ  කළ පමණින් ම අදාළ කෘතිය පාඨක මනස වර්ධනය කරන්නට හෝ පාඨක ප්‍රජවට  උසස් රසාස්වාදයක් ලබා දෙන්නට සමත් වී ඇති ද යන්න ගැටලු සහගත ය.

මෙම ලිපියේ මුඛ්ය අරමුණ වන්නේ තාච්චි පහක් සහිත ආප්ප නිෂ්පාදනය කළ හැකි යන්ත්‍රයකින්  ආප්ප නිෂ්පාදනය කරනවාටත් වඩා ඉක්මනින් වෙළඳපොළට නිකුත්වන පරිවර්තන සාහිත්‍යය කෘති කෙතරම් දුරට ‘‘උසස් පරිවර්තන කෘති’’ බවට පත්වී ඇති ද යන්න සොයා බැලීමට පාඨක ප්‍රජවගේ අවධානය යොමු කිරීම ය.

දැනට වසර පහ හයක පමණ සිට සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර  පොත් ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් ප්‍රකාශයට  පත්කෙරෙන පොත් ප්‍රමාණය  දස දහසකට අධික ය. ඒ අතුරෙන් විවිධ රටවල ප්‍රකාශිත කෘතිවල සිංහල පරිවර්තන අවම වශයෙන් දහසක් පමණ නිකුත්වේ. නමුත් ඒ කෘති අතුරෙන්: කියවා රස විඳිය හැකි, යම් ඥානනයක් ලැබිය හැකි, පාඨක මනස පැවති ස්ථානයෙන් උසස් ස්ථානයකට ඔසවා තබන හෝ දිගු කාලයක් සාකච්ඡා කළ හැකි කෘති කෙතරම් ප්‍රමාණයක් ප්‍රකාශයට පත්වන්නේ ද?

Online ව්‍යසනය
විශේෂයෙන් ම Online ක්‍රමය  හරහා සාහිත්‍ය  කෘති අලෙවි කිරීමේ ප්‍රවණතාව වර්ධනය වනවාත් සමඟ  ම යට කී අනතුර තව තවත් වර්ධනය වී ඇති බව දක්නට ඇත. ලිපිය ආරම්භයේ උපුටා දැක්වූ ප්‍රකාශය දුටු පමණින් අදාළ කෘතිය පිළිබඳ පෙර විමසුමක් නොකර ම කෘතිය ඇනවුම් කරන පාඨක ප්‍රජාව බහුල ය. ඒ ඔවුන්ගේ වරදක් පමණක් ලෙස සැලකිය නොහැකි ය. මන්ද ලංකාවේ වෙසෙන බහුතර පාඨක  ප්‍රජාව  ද්විභාෂික දැනුමෙන් සන්නද්ධ වූ අය නොවෙති. නමුත් ‘‘පරිවර්තන’’ කියු සැණින් කුමක්දෝ ආකර්ෂණශීලිත්වයකින් බැඳෙන මේ පාඨක ප්‍රජාවෝ එම කෘති ඇනවුම් කරන්නට පෙලඹෙති. නමුත් එම කෘති බහුතරයක්: හොල්මන් කතා (Horror stories), රහස් පරීක්ෂක කතා (Detective stories), මිනී මැරුම් කතා (Murder stories), ත්‍රශය ජනක කතා (Horror stories), අභිරහස් කතා (Mystery stories) පුරාණ රජ කතා (Ancient King Stories) ඇදහිය නොහැකි සිද්ධි සහිත කතා (Stories with incredible events) සහ ෆැන්ටසි කතා (Fantasy stories) යනාදියෙන් සමන්විත ය.

මෙවන් ප්‍රකාශන අතර ලෝක සාහිත්‍ය ක්ෂේත්‍රයේ සාධනීය ලෙස සාකච්ඡාවට බඳුන් වූ කෘති කිහිපයක් ද (සියයක් එකසිය පනහක් පමණ) වෙළඳපොළට නිකුත් කෙරේ. නමුදු නුපුහුණු පාඨක ප්‍රජාවෝ වඩ වඩාත් ආසක්ත වන්නේ දෙවනුව කී සාහිත්ය කෘති වෙත නොව පළමුව කී සාහිත්‍ය කෘති වෙත ය. එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ සමස්ත ලෝකය දෙස අවධානය යොමු කළ ද බොහෝ: කියවන්නෝ, නරඹන්නෝ මතු නොව සවන් දෙන්නෝ ද කිසියම් කලා නිර්මාණයක් තුළින් බලාපොරොත්තු වන්නේ තමන් ජීවත්වන ලෝකයේ අසන්නට, දකින්නට නොලැබෙන සිද්ධි ඇසීමට හෝ දැකීමට ය. මෙය එක්තරා ආකාරයක වින්දනීය පරාසයකි. නමුදු එකී වින්දනීය පරාසය පුරවා ලූ පමණින් සැබෑ සාහිත්ය පාඨක ප්‍ර  ජාවක් බිහිවේ ද යන්න ගැටලු සහගත ය.

පොත් ප්‍රකාශනය කූට ව්‍යාපාරයක් ලෙස
ලෝකයේ විවිධාකාර කූට ව්‍යාපාර පැවතිය ද පොත් ප්‍රකාශනය කූට ව්‍යාපාරයක් බවට පත්වීම කනගාටුවට කරුණකි. එහි දී යට සඳහන් කළ ආකාරයට කිසිදු රසභාවයකින් තොර පොත් ප්‍රකාශයට පත්කෙරෙනවා මෙන් ම පරිවර්තකයා හෝ පරිවර්තිකාවගේ බුද්ධිමය ශ්‍රම  සූරා කෑම ද බරපතළ ලෙස සිදු කෙරේ. නමුත් මෙම ලිපියේ මුඛ්ය අරමුණ එය නොවන බැවින් යළි පරිවර්තන සාහිත්ය මුහුණ පා තිබෙන අභාග්ය්සම්පන්න තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමු.
සිංහල භාෂාවට  වර්තනය වී ඇති විදෙස් කෘති අතර සෝවියට් රුසියන් සාහිත්‍ය  ප්‍රමුඛස්ථානයක් උසුලන බව නොරහසකි. එම සාහිත්‍ ප්‍රවණාතව කෙරෙහි මෙරට පාඨක ප්‍රජාව දැක්වූ උනන්දුව ද කිසිදු ආකාරයකින් අපතේ නොගියේ ය. ඒ, අදාළ සාහිත්‍ය   යනු ජීවිතය සමත්වන්නට බෙහෙවින් උපස්තම්භක වූ සාහිත්ය ප්‍රවණතාවක් වූ බැවිනි. සෝවියට් දේශයේම ප්‍රකාශන ලෙස මෙරටට සෝවියට් සාහිත්යභ කෘති පැමිණිමට පෙර යුගයේ දී වුව ද ලොකයේ විවිධ රටවල ප්‍රකාශයට පත්කෙරුණු සාහිත්‍ කෘතිවල සිංහල පරිවර්තන මෙරට පරිවර්තනය කෙරුණි. එම යුගයේ පරිවර්තන වුව ද අපිට අපේ ජීවිතය කියවා ගන්ට, සකසා ගන්නට සහ වටහා ගන්නට බොහෝ සෙයින් උපකාරි විය. ඒ පරිවර්තකයන්ගේ කෘති මොනවාද යන්න ඉදිරිපත්කිරීමට ඉඩ-කඩ මඳ බැවින් දළ වශයෙන් ඔවුන්ගේ නම් කිහිපයක් හෝ සිහිපත් කළ යුතු ය.

එකී නම් අතර: රූ.පෙ. විජේසිංහ, දයාරත්න ගුරුසිංහ, ජී. එස්. බී. සේනානායක, ආරියදාස සෝමතිලක, පුන්යකාන්ති විජේනායක, කේ. ජී. කරුණාතිලක, ඊ. එම්. ආර්. ඊරියගොල්ල, ජී. ඩබ්ලියු. නන්දසේන, එළිසෙබෙත් බෝපෙආරච්චි, ඒ.පී. ගුණරත්න, ඌරාපොළ හේමාලෝක හිමි, ආනන්ද කුමාර, පියදාස නිශ්ශංක, රන්ජන් ප්‍රේමතිලක හපුආරච්චි, ගාමිණී විජේතුංග සහ රෙජී වීරමන් යනාදි අය කැපී පෙනේ. මේ අය අතුරෙන් ඇතැමෙක් පරිවර්තනය කර ඇත්තේ කෘතියක් හෝ දෙකක් විය හැකි ය. එහෙත් එම කෘතිය හෝ දෙක වුව ද මෙරට පරිවර්තන සාහිත්යහ පාඨක ප්‍රජාවගේ මන දොළ ඉහළින් ම සපුරා ලූ බව අතිශයෝක්තියක් නොවේ.

70, 80, 90 සහ එයින් මෙපිට මේ දක්වා වූ පරිවර්තන සාහිත්ය ප්රවණතාව දෙස අවධානය යොමු කළහොත්: විමලදාස සමරසිංහ, දයා ගුණතිලක, සුගතපාල ද සිල්වා, සිරිල් සී පෙරේරා, ගුණතිලක මැටියගනේ, අභය හේවාවසම්, ප්‍රේමචන්ද්‍ර  අල්විස්, ආනන්ද සෙල්ලහේවා, උපාලි රත්නායක, මාලිනී ගෝවින්න, චන්ද්‍ර  ශ්‍රී  රණසිංහ, ගාමිණී වියන්ගොඩ, චින්තා ලක්ෂ්මී සිංහආරච්චි, අනුල ද සිල්වා, ටී. අන්ද්රාදි, පී. බී. ජයසේකර, චූලානන්ද සමරනායක, ආනන්ද අමරසිරි, රානි සේනාරත්න රාජපක්ෂ, නීලක කදුරුගමුව, අනුර කේ. එදිරිසූරිය, පසන් කොඩිකාර සහ කේ. කේ. සමන් කුමාර යනාදි ලේඛක ලේඛිකාවන්ගේ පරිවර්තන ද හුදෙක් යට සඳහන් කළ කෘති වර්ග අභිභ වූ පරිවර්තන කෘති බව එම කෘති පරිශීලනය කළ බොහෝ දෙනෙක් පිළිගනු ඇත.

මේ අතුරෙන් ද ගාමිණී වියන්ගොඩ, චුලානන්ද සමරනායක, ආනන්ද සෙල්ලහේවා, ආනන්ද අමරසිරි මාලිනී ගෝවින්න සහ අනුල ද සිල්වා මේ වන විටත් සිය පරිවර්තනකටයුතුවල නිරතවන අතර ඔවුන් කිසිවකු රැල්ලට ගසාගෙන යන, ජනප්‍රියත්වය  පමණක් මූලික කරගත් පරිවර්තන කටයුතුවල නිරත නොවන බව ඔවුන්ගේ නවතම පරිවර්තන කෘති පරිශීලනය කිරීමේ දී අවබෝධ කරගත හැකි ය. එහෙත් මැතක සිට වැසි සමයේ හුඹස්වලින් මෙරු එළියට ඉගිලෙන සේ බිහිවන පරිවර්තන කෘති තව දුරටත් පාඨක ප්‍රජාවගේ මනස වර්ධනය කරන බවක් දක්නට නොලැබේ. එම කෘති තුළින් සිදුවන්නේ පාඨකයා හුදෙක් මනඃකල්පිත ලෝකවල අතරමං කිරීම සහ තාවකාලික ෆැන්ටසි ලෝකයක් මවා පෑම පමණි.

නූතන පාඨක ප්‍රජාව
මෙහි වඩාත් බරපතළ තත්ත්වය වන්නේ නූතන පාඨක ප්‍රජාව ද එම කෘති කෙරෙහි දැඩි ආසක්තභාවයක් දැක්වීම ය. එයින් සිදුවන බරපතළ හානිය නම් මෙතෙක් පැවති ‘‘පරිවර්තන සාහිත්ය’’ ලකුණ වෙනුවට වෙනත් ලකුණක් ආදේශ වීම ය. එය වර්තමානයට වඩා අනාගතයට කරන බලපෑම ඊටත් වඩා භයානක ය. මන්ද එබඳු කෘති වැඩි අලෙවි ප්‍රවණතාවක් දක්වන විට පරිවර්තන සාහිත්ය තුළින් උසස් මෙහෙයක් ඉටු කළ හැකි නව පරපුරේ පරිවර්තක පරිවර්තකාවෝ ද මෙම රැල්ල පසුපස හඹා යාම ය. මේ වන විටත් නව පරපුරේ ඇතැම් පරිවර්තක පරිවර්තකාවෝ එකී රැල්ලට හසුව ගසාගෙන යන බවක් දක්නට තිබේ. එම රැල්ලට ඔවුන් පටලවා ගන්නා නුතන ප්රකාශක රැල්ලක් ද බිහිවි තිබෙන බව මෙහි දී වෙසෙසින් සඳහන් කළ යුතු ය. වසර ගණනාවක් පුරා මෙරට ප්රකකාශන ක්ෂේත්රයේ රැඳී සිටින ආයතන තවමත් එම රැල්ලට හසු නොවී සිටීම පිළිබඳ උසස් පාඨක ප්‍රජාව සතුටට පත්විය යුතු අතර ඔවුන්ට එකී පාඨක ප්රජාවගේ ගෞරවාදරය ද හිමි විය යුතු ය. නමුත් මෑතක බිහිවූ ඇතැම් ප්‍රකාශන ආයතන මගින් ප්‍රකාශයට පත්කෙරෙන බහුතරයක් පරිවර්තන යට සඳහන් කළ ආකාරයේ අවර ගනයේ පරිවර්තන බව කනගාටුවෙන් වුව ද පැවසිය යුතු ය.

ලාබ ද ලැබිය යුතු ය
පොත් ප්‍රකාශන ව්යාපාරය මතු නොව ඕනෑම ව්යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ලාබ ලැබිය යුතු බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. නමුත් හුදෙක් ලාබය උදෙසා ම පාඨක ප්‍රජාවගේ මනස විකෘති කරන, හුදෙක් පාඨකයා සිහින ලෝකවල අතරමං කරන, සහ විස්මය ජනක කතා පැවසීම යනු සාහිත්‍යයේ  ප්‍රගමනය උදෙසා කෙරෙන කටයුත්තක් නොවන බව අදාළ ප්‍රකාශකයෝ සහ පරිවර්තක පරිවර්තකාවෝ වටහාගත යුතු ය. ඔවුන් විසින් විනාශ කරනු ලබන්නේ අනාගත සාහිත රසකාමින්ගේ ලෝකය යි.

මේ ඇතැම් ප්‍රකාශන ආයතන විසින් ජාත්යන්තර පොත් ප්‍රදර්ශනය ආසන්නයේ මුද්‍රණය  කරනු ලබන්නේ පිටපත් 250ක ප්ර මාණයකි. කෘතිය නිකුත් වන්නට පෙර සිට ම ආකර්ෂණීය දැන්වීම් කිහිපයක් සකසා, එය මුහුණු පොත හරහා බෙදාහරී. එපමණක් නොව කතුවරයා හෝ කතුවරිය කෘතිය සංස්කරණ ආකාරය, අත්සන් කරන ආකාරය සහ අදාළ කෘතියේ පළමු කතුවරයා හෝ කතුවරිය සම්බන්ධ කරගත හැකි නම් ඔවුන් ද සම්බන්ධ කරගෙන ඔවුන් විසින් කරනු ලබන ප්‍ර කාශ ද මුහුණු පොත හරහා බෙදා හැරේ. එහෙත් අවසන සිවන්නේ කන්දක් විලිලා මී පැටියකු වැදුවා බඳු කටයුත්තකි.

උසස් ගනයේ කෘතියක සිංහල පරිවර්තනයක් වෙනුවෙන් යට සඳහන් කළ ආකාරයේ ප්‍රචාරාත්මක වැඩ පිළිවෙළක් දියත් කරන්නේ නම් එය සාධාරණීකරණය කළ හැකි ය. එබඳු ප්‍රකාශන ආයතන නැතුවා නොවේ. නමුත් ඒ එක් අතක ඇඟිලි ගණනටත් අඩු ප්‍රමාණයකි. එම ආයතන වසර කිහිපයක සිට ම උසස් පරිවර්තන කෘති පාඨක ප්‍රජාව වෙත මුදාහළ ආයතන ය. ඔවුන් මෙතෙක් අවරගනයේ පරිවර්තන කෘති පාඨක සමාජය වෙත මුදා හැර නොමැති අතර අනාගතයේ ද එසේ නොකරන බව පැහැදිලි ය.

සාහිත්‍ය පරිවර්යතනයක් යනු 
අනෙක් පසින් ගත් විට මෙම නව ප්‍රවණතාව සහිත පරිවර්තක පරිවර්තකාවෝ සහ ප්‍රකාශන ආයතන පවත්වාගෙන යන්නෝ සාහිත්ය ය පරිවර්තනයක මුඛ්ය අරමුණ කුමක් ද යන්න පිළිබඳව පවා නිසි අවබෝධයක් නොමැති පිරිසකි. පළමුවෙන් ම කිසිවකු විසින් පරිවර්තනය කරනු ලබන භාෂාව පිළිබඳව මෙන්ම තමන් විසින් පරිවර්තනය කරනු ලබන භාෂාව පිළිබඳව ද පරිවර්තකයා සතුව පෘථුල දැනුමක් තිබිය යුතු ම ය. විශේෂයෙන් ම ඉංග්රීිසි භාෂාවේ වචනවලින් සුසැදි වාක්‍යක්  සිංහල බසට පෙරළිය හැකි වූ පමණින් ම එම පරිවර්තනය හොඳ පරිවර්තනයක් ලෙස සැලකිය නොහැකි ය. එමෙන් ම අදාළ වාක්‍ය  තුළ අන්තර්ගත වදන් වෙනුවට භාවිත කළ හැකි හොඳ ම හෝ විදග්ධ ම සිංහල වදන් භාවිත කළ පමණින් ද අදාළ පරිවර්තනය උසස් පරිවර්තනයක් ලෙස සැලකිය නොහැකි ය. තව ද වාක්යයෙන් වාක්ය ඒ ආකාරයට ම සිංහලට පරිවර්තනය කළ පමණින් ද එය උසස් සාහිත්යණ කෘතියක් විය නොහැකි ය. පරිවර්තකයා හෝ පරිවර්තකාව ද ස්වතන්ත්ර නිර්මාණ කෞෂල්ය යෙන් හෙබි පුද්ගලයෙකු වන්නේ නම් යට කී දුර්වලතා බෙහෙවින් මගහැරගත හැකි ය. නමුත් මෑතක ප්රකාශයට පත්ව ඇති බොහෝ පරිවර්තන කෘතිවල යට කී දුර්වලතා දක්නට තිබේ. එබඳු දුර්වලතා පැවතීම සිංහල භාෂාවෙන් පමණක් කියවන පාඨක ප්‍රජාව වෙත කෙරෙන අසාධාරණයකි.

Google තාක්ෂණය
පරිවර්තන කාර්යය යනු පහසු කටයුත්තක් නොවන බව සැබැවි. තත්ත්වය එසේ වුව ද මේ වන විට වෙළඳපොළට නිකුත්වන පරිවර්තන කෘති ප්‍රමාණය දෙස අවධානය යොමු කිරීමේ දී එය ඉතා පහසු කටයුත්තක් ලෙස හැඟේ. එය එසේ වන්නට ද හේතු සාධක පවතී. එනම් වර්තමානයේ පවතින Google තාක්ෂණය යි. මේ ඇතැම් පරිවර්තකයෝ සහ පරිවර්තකාවෝ ඉංග්රිසි කෘති සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ දී Google තාක්ෂණය යොදාගන්නා බව  ඇතැම් ප්‍රකාශන ආයතනවල සේවක සේවිකාවෝ ම පවසති. මේ වන විට ඇතැම් පරිවර්තක පරිවර්තකාවෝ වසරකට පරිවර්තන කෘති දෙක තුනකටත් වඩා වෙළඳපොළට නිකුත් කරති. එබඳු තත්ත්වයක් මත යට සඳහන් කළ Google තාක්ෂණය භාවිත නොකරන්නේ යැයි විශ්වාසය තැබිය නොහැකි ය.

මම පුද්ගලිකව දන්නා පරිදි මේ වන විට විදෙස් සාහිත්‍ය  කෘති පනහකට ආසන්න ප්‍රමාණයක් සිංහල භාෂාවට පෙරළා ඇති කෘතහස්ත පරිවර්තකයකු වන ආනන්ද අමරසිරි කිසිදු දිනෙක ඉංග්‍රීසි වදනක හෝ වෙනත් භාෂාවක වදනක අරුත සොයාගැනීම සදහා Google තාක්ෂණය භාවිත කරන්නකු නොවේ. ඔහු කිසියම් කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කරගෙන යාමේ දී නොදන්නා හෝ දුර්ලභ වදනක් හමුවුවහොත් ඔහු එම කෘතියේ පරිවර්තන කාර්ය එතැනින් මඳකට නවතයි. යළි මාස කිහිපයකට පසු හෝ හෙතෙම සිය පරිවර්තන කාර්ය අරඹන්නේ අදාළ වදනේ අරුත නිවැරැදිව පැහැදිලි කරගැනීමෙන් අනතුරුව ය. ඇතැම් විට ඒ වෙනුවෙන් ඔහු ලබාගන්නා දුරකතන ඇමතුම් ප්‍රමාණය මෙතෙකැයි කිව නොහැකි තරම් ය; සම්මුඛ වීමට යන භාෂා ප්‍රවීණයෝ මෙතෙකැයි කිව නොහැකි ය; භාවිත කරන ශබ්ද කෝෂ ප්‍රමාණය ද අති විශාල ය. කුමන තත්ත්වයක් යටතේ වුව ද අදාළ වදන නිසි අයුරින් පහදා නොගෙන ඔහු එම කෘතියේ පරිවර්තන කටයුතු යළි ආරම්භ නොකරන්නට වග බලාගන්නේ ය. ඒ ඔහු දැඩි වගකීමක් සහිතව කටයුතු කරන පරිවර්තකයකු බැවිනි. නමුත් මැතක සිට විශාල වශයෙන් බිහිවෙන පරිවර්තන කෘති පරිවර්තනය කරන පුද්ගලයෝ එවන් වගකීමක් සහිත පුද්ගලයෝ නොවන බව පැහැදිලි ය; එකී කෘති ද පරිවර්තනය කිරීමට තරම් නොවන කෘති බව ද පැහැදිලි ය. එහෙත් දිගින් දිගට ම මෙම ක්‍රියාදාමය සිදුවෙමින් පවතී. එකී කෘති ප්‍රකාශයට පත්කරන්නෝ ද, පරිවර්තනය කරන්නෝ ද සිය වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන බවක් දක්නට නැත. පාඨක ප්‍රජාවෝ ද හුදෙක් ෆැන්ටසි ලෝකයක අතරමං වන බවක් දක්නට ඇත. මෙය අනාගත පරිවර්තන සාහිත්ය කෙරෙහි බලපවත්නා බරපතළ ව්යසනයකි. ඒ සම්බන්ධයෙන් වග කිව යුත්තෝ වන්නේ ද පරිවර්තක පරිවර්තකාවෝ, ප්‍රකාශන ආයතන සහ පාඨක ප්‍රජාව ය. එහෙයින් කිසියම් කෘතියක් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට පෙර, පරිවර්තනය කළ කෘතියක් ප්‍රකාශයට පත්කිරීමට පෙර සහ එබඳු කෘතියක් මිලදි ගැනීමට පෙර ද අදාළ පාර්ශ්වයෝ වඩ වඩාත් ප්‍රවේසම්කාරි ලෙස මෙන් ම වගකීමක් සහිතව කටයුතු කරන ලෙස ආයාචනා කර සිටිමි. ඒ අන් කිසිවක් නිසා නොව ඔබ රවටන්නේ ඔබගේ ම අනාගත පරම්පරාව වන බැවිනි.

ජයසිරි අලවත්ත

leave a reply