ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමූහ සුසානය වූ ‘චෙම්මනි’හි තෙවැනි අදියරේ කැනීම් කටයුතු හත් මසකට පසු යළිත් ආරම්භ කර තිබේ.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ ඉදිරි කැනීම් සහ විමර්ශන කරගෙන යාම සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දෙසීය දහයක මුදලක් ලැබීමත් සමග සුසානයේ කැනීම් කටයුතු 2026 අප්‍රේල් 27 වැනි සදුදා පෙරවරුවේ යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ඉදිරියේ ආරම්භ වී ඇත.
සමූහ සුසානයේ තවත් මාස දෙකක කාලයක් කැනීම් කටයුතු සදහා පසුගිය වසරේ ඉල්ලා තිබු රුපියල් මිලියන 19 ක මුදල අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දී තිබුනත් ප්‍රදේශයේ ඒ වන විට පැවැති වැසි තත්වය හමුවේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වු අතර 2025 වසර අවසන් වීම හේතුවෙන් එම මුදල් 2026 වසර මුලදී ආපසු හරවා යවන්නට සිදුව තිබුනි.
ඒ අනුව තවත් දින පනස් හයක කාලයක් කැනීම් කටයුතු සදහා අවශ්‍ය මුදල් ඇස්තමේන්තුවක් 2026 පෙබරවාරි 09 දා යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි යළිත් වරක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු කුඩා දරුවන්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් ද වෙයි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය සම්බන්ධ නඩු විභාගය 2026 අප්‍රේල් 7 වැනිදා විභාගයට ගැනීමෙන් අනතුරුව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ රනිතා ඥාණරාජා මාධ්‍යවේදීන් හමුවේ හෙළි කර තිබුනේ එම සමුහ මිනි වල නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ඇතුළු විදේශීය දුත මණ්ඩල ප්‍රධානීන් පිරිසකට යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර්ගේ අනුමැතිය ලැබුණු බවයි.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ දුත මණ්ඩලයට අමතරව ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියා තානාපති සේවා චෙම්මනි සමූහ මිනීවල නිරීක්ෂණයට අවසර ඉල්ලා තිබුණි.
ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.






