විගණන, උපදේශන, මුල්‍ය, අවධානම් කළමනාකරණය සහ බදු උපදේශනය සිදු කරන අන්තර්ජාතික ආයතනයක් වන ඩෙලොයිට් (Deloitte) සමාඟම ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ රැකියා සහ සේවා සම්බන්ධතා දෙපාර්තමේන්තුවට කරපු වංචාවක් පිලිබඳ ගිය අවුරුද්දේ ලෝක ප්‍රසිද්ධියට පත් වුනා. ඩොලර් $440,000 අයකරමින් ඔවුන් සැපයු වාර්තාව කෘතීම බුද්ධිය (AI) යොදා ගනිමින් නැති දේවල් මවා පාමින්, දත්ත වැරදි ලෙස නිර්වචනය කරමින් සහ උත්තර අනුමාන කරමින් සකසා ඇති බවටයි වාර්තා වුනේ.
ඩෙලොයිට් සමාඟමට මනුෂ්‍ය බුද්ධිය පිලිබඳ ගැටළුවක් ඇති බවට ඔස්ට්‍රේලියාවේ කම්කරු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුමන්ත්‍රී වරයෙක් චෝදනා කළා.
මහබැංකුව NDB මුල්‍ය වංචාව පිලිබඳ හොයන්න ඒ ඩෙලොයිට් සමාඟමේ ඉන්දියානු ශාකාවට ලබා දෙන්න යන බවයි මේ ලංකාදීප ප්‍රවෘත්තිය. ඒ සඳහා ගාස්තු වශයෙන් කොපමණ ගෙවනවාද කියා සඳහන් කර නැහැ.
ලංකාවේ බැංකු සහ මුල්‍ය අංශය නියාමනය කරන නියාමකයා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. හැබැයි ක්ෂුද්‍ර මුල්‍ය, ලීසිං … ආදී සේවා ආශ්‍රිතව සිදුවෙන මුල්‍ය අපරාද සහ පාරිභෝගිකයින්ට සිදුවෙන හිංසා මෙන්ම ලංකාවේ නිරන්තරයෙන් සිදුවන මුල්‍ය අපරාද පිලිබඳ මහ බැංකුව රඟ පාන්නේ නින්දේ පසුවන්නේකුගේ චරිතය. ඇත්තෙන්ම නින්දේ පසු වන්නෙකුට වඩා, හොර නින්දක පසුවෙන්නේකුගේ චරිතය. සැබවින්ම නිදන්නෙකු අවදි කිරීමට හැකි වුනත්, බොරුවට නිදන්නා කොච්චර උත්සහ කලත් නින්දේම සිටියි. මහ බැංකු ස්වාධීන වීම පිලිබඳ පනත තවත් මේ බොරුවට නිදාගෙන සිටින ආයතනයට රුකුල් දී තිබෙනවා.
පසුගිය දා පැවත්වුනු පාර්ලිමේන්තු මහජන මුදල් පිලිබඳ කාරක සභාව තුල අක්‍රීය ණය පිලිබඳ චතුරංග අබේසිංහ, මහ බැංකු අධිපති සහ අනෙකුත් නිලධාරීන් අතර සිදුවූ සාකච්චාවෙන් මහ බැංකුව කොතරම් ආර්ථික විරෝධී ආයතනයක් බවට පත්වී ඇත්දැයි පෙනෙනවා.
අගමැති හරිනි අමරසුරිය සමඟ අපි ක්‍ෂුද්‍ර මුල්‍ය අර්බුදය පිලිබඳ සිදුකල සාකච්චාවේදී ඇයගෙන් විමසුවා මහබැංකුවේ ලියාපදිංචි විනාශකාරී ක්‍ෂුද්‍රමුල්‍ය සමාඟම් සම්බන්ධව නියාමන කටයුතු කිරීමට මහ බැංකුව අසමර්ථ වීම පිලිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්දැයි විමසුවා. ඒකට සැලකිය යුතු උත්තරයක් ලැබුනේ නැහැ.
ක්‍ෂුද්‍රමුල්‍ය අර්බුදය, NDB වංචාව වගේම රාජ්‍ය ණය ගෙවීම් හැකර්ලාගේ අතට යෑම මේ සියල්ලට ශ්‍රී ලංකා මහබැංකුවේ වගකීමක් තිබෙනවා. ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින්ට ජීවිත, දේපල නැති වීම වගේම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස තිබී පුද්ගලික බැංකුවක් වූ NDB බැංකුවේ සිදුවූ දැවැන්ත මුල්‍ය වංචාව වගේම හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත්වෙච්ච ඩොලර් ලක්ෂ 25 සොරකම එකිනෙකාට සම්බන්ධයි. මේ සියලු සිදුවීම් වක්‍රාකාරව ලංකාවේ ජීවත් වෙන ආර්ථික වශයෙන් ආන්තික වූ ජන කොට්ටාශ වලට තදින් බලපානවා.
ඒ වගේම මහ බැංකුව වගේ කේන්ද්‍රීය මුල්‍ය ආයතනයක් පිලිබඳ ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නැති එකත් ලොකු ප්‍රශ්නයක්. මහ බැංකුව ස්වාධීන වූ පමණින් රාජ්‍යයට මහ බැංකුව පිලිබඳ ප්‍රතිපත්තියක්, දැක්මක් නැති වෙන්න බැහැ.
වගකීමක් නැති මහ බැංකුව තම නොහැකියාව, වගකීම් විරහිතභාවය නිසා සිදුවූ අපරාද පිලිබඳ සෙවීම අර්බුද හරහා ධනය උපයන උපදේශකයින්ට outsource කලාට ප්‍රශ්නේ විසඳන්නේ නැහැ.
ආණ්ඩුව දැන්වත් සබන් පෙන වලින් මිදිලා තමන්ගේ වැඩකටයුතු හරියට කරන්න ජනතාවාදී ප්‍රතිපත්ත්ති සහ උපක්‍රම සකස් කරන්න ඕන.
ආණ්ඩුව රකින අයත් හෝදන එක ඇර තමන්ට ලංකාවේ ජනතාව වෙනුවෙන් කරන්න තියෙන සැබෑ වගකීම ඉටු කරන්න ඕන. එතකොට ආණ්ඩුව රැකෙයි.
ආචාර්ය අමාලි වෙදගෙදර






