ලංකාවේ විදෙස් ණය ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් තමන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
පෙනෙන්නට තිබෙන්නේ සෑම කෙනෙක්ම සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා හැර මේ සම්බන්ධ වගකීම බාර නොගන්නා බවයි. මහ බැංකුව අවසානයේ කරමින් සිටින්නේ පෞද්ගලික බැංකු ඇතුළු සියලු බැංකු වෙනුවෙන් පෙනී සිටීම පමණක් බව කෝප් කමිටු රැස්වීම් බැලීමේදී පෙනී යයි. නන්දලාල් වීරසිංහ යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කියනවාටත් වඩා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනා නිලධාරියෙකි. අවසානයේ පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවට මේ ‘කට්ට’ තනියම කන්න සිදුවෙනු ඇති බවයි.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මුදල් සොරාගැනීම සම්බන්ධව පහත සටහන සිය facebook ගිණුමේ සටහන් කර තිබුණි.
”IMF වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමා, එහි කටයුතු මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්‍යාලයට පැවරීම පිළිබඳ නිල නිවේදනය නිකුත් කර ඇත්තේ 2025 දෙසැම්බර් 31 වැනිදාය. ඩොලර් මිලියන 2.5ක මුදල් වැරදි ගිණුමකට බැර කිරීම හරහා රාජ්‍ය මුදල් අස්ථානගතවීම ආරම්භවූයේ එම දිනයට පෙරද? මේ මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති වගකීම කුමක්ද? IMF විසින් නියම කරනු ලබන ප්‍රතිපත්‍ති පොලී අනුපාත නිවේදනය කිරීමට මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම හැර ඉතිරි සියලු වගකීම් වලින් මහ බැංකුව බැහැර කරමින් යන එහි අධිපතිවරයා මේ ගැන කියන්නේ කුමක්ද?
මෙම නිශ්චිත ගනුදෙනුව මුදල් අමාත්‍යංශය විසින් සිදුකළද මහ බැංකුවේ වගකීම අවසන් නොවේ. රටෙන් පිටතට යන සියලු විදේශ විනිමය අධීක්ෂණය හා නියාමනය පිළිබඳ වගකිම ඇත්තේ මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවටය. විදේශගතව අධ්‍යාපනය ලබන සිය දරුවෙකුට දෙමව්පියන් යවන සොච්චම නැවත නැවතත් පරීක්ෂා කරන මහ බැංකුවට මෙතරම් විශාල මුදලක් යවන ගිණුම සත්‍යාපනය කර ගැනීම මග හැරුණේ කෙසේද? හාල් මැස්සන් දෙස අන්වීක්ෂ සවි කරගෙන බලාසිටින මහ බැංකුවට මේ ආකාරයට තවත් තෝරුමෝරු නොපෙනී ගොස් තිබේද?”






